පට්ඨාන මහා පකරණ සන්නය
රේරුකානේ චන්දවිමල හිමි
පොත ගැන
පට්ඨාන මහා පකරණ සන්නය
ප්රථම භාගය (තෘතීය මුද්රණය)
මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්යචක්රවර්ති, පණ්ඩිත, ප්රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්යාය ශාසන ශෝභන, ශ්රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්
පෞරාණික වාචනා මාර්ගය අනුව සම්පාදිතයි.
ලේකම්ගේ සටහන්...
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්රිපිටක ශ්රී සද්ධර්මය රැකගැනීම සඳහා මහා සංඝරත්නයෙන් ඉටු වූ කාර්යභාරය අති විශාලය. ත්රිපිටකය සංගායනා කර ක්රමානුකූල කිරීම, භාණක පරම්පරාවලට බෙදී කටපාඩමින් පවත්වා ගැනීම, අටුවා, ටීකා හා වෙනත් පරිවාර ග්රන්ථ සම්පාදනය කිරීම මගින් මුල් බුදුදහමේ නිර්මල මූලික අර්ථ තහවුරු කර තැබීම ඒ අතර ප්රමුඛස්ථානය ගනී. අටමහ කුසල් අතර “ධම්මස්ස ලෙඛනං” යනුවෙන් දැක්වීමෙන් ධර්මය රැකගැනීම පිළිබඳව තිබූ අවධානය පැහැදිලි වේ. ධර්මයේ පැවැත්ම පිළිබඳව ඓතිහාසික වූත්, ධර්මානුකූල වූත් මතවාදයන්ට පිළිතුරු දීමට ද මේ භික්ෂූන් වහන්සේට සිදුවිය.
“අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ” ය යන්න මෙවැනි එක් මතයකි. ගැඹුරු වූත්, දාර්ශනික වූත් අභිධර්ම පිටකය දරන්නන් සමාජයේ ලබා තිබූ සැලකිල්ල පහත හෙළීම හෝ ඊට පහරදීම තුළින් බුදුදහම පිරිහීමට ලක්කිරීම හෝ අරමුණු කරගත් විතණ්ඩවාදීහු බුදුදහම ලක්දිව පිහිටවූ මුල් යුගයේදී මේ අදහස පලකළහ. ක්රිස්තු ධර්මය මෙහි ප්රචලිත කළ යුගයේදී නැවත යුරෝපීය පඬිවරුන් මගින් උගතුන් හරහා මේ අදහස ලක්දිව ප්රකට විය. අභිධර්ම පිටකයේ අභ්යන්තර කරුණු වටහා නොගෙන, අහුලාගත් කරුණු මත, ගැතිව අදහස් පලකිරීමෙන් හා එය කිය යුතු ආකාරය නොසලකා කීමෙන් වන හානිය සුළුපටු නොවේ. ඒ නිසාම අපේ දෑ රැකගැනීමේ අරමුණින් ඇරඹුණු දහම් පාසල් අධ්යාපන ක්රමය, අභිධර්මය ඉගැන්වීම සඳහා තිබූ අපේ පාරම්පරික ක්රමපටිපාටිය බැහැර කර හරය තබා සුඹුල සූරා දක්වන ඉගැන්වීම් රටාවකට පැමිණ ඇති බව පෙනේ. එවැනි අදහස්වලට අභීතව පිළිතුරු දීමේ සම්ප්රදායක් ගොඩනගා ගත්තවුන් අතර, අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ට පසුව අපට දක්නට ලැබෙන ප්රමුඛ නාමයකි; රේරුකානේ චන්දවිමල හිමි නාමය. උන්වහන්සේගේ අදහස් නිසා භාවනා පංති, අභිධර්ම පංති හා එවැනි මධ්යස්ථාන ලක්දිව ප්රචලිත වූ අතර, බොහෝ ගිහි බෞද්ධයෝ ධර්ම - විනය දත් පිරිසක් බවට පත්වූහ.
ශ්රී චන්ද්රරත්න මානවසිංහයන් කියූ පරිදි 2500 බුද්ධ ජයන්තිය අරබයා වැඩි ඝෝෂාවක් නැතිව කළ සාර්ථකම වැඩ පිළිවෙල රේරුකානේ නාහිමියන්ගේ “බුද්ධ ජයන්ති පොත් මාලාව” ය. ලක්දිව බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීමට සමත් වූ ඒ පොත් සම්පාදනයෙන් “අමත දුංදුහිය” වැයූ උන්වහන්සේ බුද්ධ වර්ෂ 2541 ක්වූ ඇසළ පුන් පෝදිනට වසර සීයක් සම්පූර්ණ කරති.
අභිධර්මය රේරුකානේ නාහිමියන්ගේ පදනමයි. බොහෝ දෙනා උන්වහන්සේ හඳුන්වන්නේ ද ‘ආභිධම්මික’ නාමයෙනි. ඒ නිසා බොහෝ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි අවුරුදු 41 කින් මෙපිට ලබාගන්නට නොහැකිව තිබූ, නාහිමියන්ගේ සියුම් නුවණ ප්රකට වන ‘පට්ඨාන මහා ප්රකරණ සන්නය’ මුද්රණය කිරීමට අදහස් කළෙමු.
ඊට වැය වන රුපියල් ලක්ෂ 5 කට වැඩි පිරිවැය දැරීම ගැටලුවක් වුවද, ශ්රී ලංකා ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේත්, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්ය ලක්ෂමන් ජයකොඩි මැතිතුමාගේත්, බුද්ධ ශාසන අරමුදලේ පාලක මණ්ඩලයේත් අවබෝධය නිසා අපට මේ ගැටලුවෙන් නිදහස් වීමට හැකිවිය. පොලී රහිතව සැපයූ මේ මුදල ධර්මයට කළ අතිමහත් පූජාවකි. එය ලබා ගැනීමේදී අනුග්රහය දැක්වූ බුද්ධශාසන අමාත්යාංශයේ හා හොරණ ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලයන්ට කෘතඥ වෙමු.
පට්ඨාන ප්රකරණය මුද්රණය කර තිබුණේ පැරණි අකුරු රටාවට ය. පාලි භාෂාව ලිවීමේ පැරණි රීතියත්, පැරණි සිංහලයේ බැඳි අකුරු රීතියත් ආරක්ෂා කර එසේ ම මෙය මුද්රණය කර තැබීම සුදුසු යයි කල්පනා කළ නිසාත්, නවීන තාක්ෂණයෙන් අපි පැරණි ක්රමය මුද්රණය කළෙමු. ඒ අවශ්යතාව එසේම ඉටු කළ සිකුරු මුද්රණාලයාධිපති කේ.ටී.ඒ. ජයවර්ධන මහතා ඇතුළු කාර්ය්ය මණ්ඩලය විද්වත් ජනයාගේ පැසසුමට ලක්වෙති.
මෙවැනි පොතක සෝදුපත් කියවීම අතිශය දුෂ්කර වූවකි. රසවත් බව නොවැටහීම, කාලය ලබාගැනීමේ හා කියවීමේ අපහසුතාව නිසා එක දිගට මුල් පොත හා සැසඳීමට කෙනකු ලබාගැනීම වඩාත් දුෂ්කර විය. පූජ්ය කිරිඔරුවෝ ධම්මානන්ද හිමි, කුකුල්පනේ සිද්ධාර්ථ හිමි, ශාස්ත්රපති කුසුමා දොඩන්ගොඩ මිය, ඩී.කේ. කාරියප්පෙරුම (උප ලේකම්) මයා, ලලනි ගුණතිලක මෙනවිය, වරින්වර දැක්වූ සහාය අගය කරන අතර, කෙටි කලක් තුළ පොතෙහි වැඩි කොටසක් සැසඳීමට ඉදිරිපත් වූ ගයානි වනිගතුංග මෙනවිය දැක්වූ උනන්දුව හා නිපුනතාව, දහම් පාසල් අධ්යාපනයේ හරය උකහාගැනීමක් ලෙස දකිමි.
අනෙක් පොත් හා සසඳන විට රේරුකානේ නාහිමියන්ගේ පොත් මිල බෙහෙවින් අඩු බව ඔබ දනී. පොතෙහි මිලෙන් ¼ ක් වෙළෙඳ වට්ටම් වශයෙන් අඩු කළ විට මුද්රණ වියදම් හා ප්රවාහන වියදම් ආදිය ඉතිරි මුදලින් ආවරණය වෙයි. ඊළඟ මුද්රණය සඳහා වැඩියෙන් වැය වන මුදල පියවනු ලබන්නේ ධර්මයේ පැවැත්ම පිණිස සැදැහැවතුන් කරන අනුග්රහයෙනි. මේ පොත සඳහා ගත් ණය මුදල පියවීමට එසේ අනුග්රහය දැක්වූ සැදැහැවතුන්ට වහා කෙලෙස් මල දුරුකර නිවනින් සැනසීමට මේ පින හේතු වේවා.
නාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරයේදී උන්වහන්සේගේ පොත් පැවැත්වීම සඳහා සහාය දුන් දැනට අප අතර නැති කීප දෙනකු සිහිපත් කිරීම යුතුකමකි. කිසියම් සංවිධානයක් නැති යුගයේ පොත් රැකගත් පූජ්ය ගොඩිගමුවේ සෝරත හිමි, එකල හා මණ්ඩලය පිහිටවූ පසු (සභාපති වශයෙන්) කටයුතු කළ පූජ්ය හේන්ගොඩ කල්යාණධම්ම හිමි, භාණ්ඩාගාරිකව සිටි වෛද්ය ඒ.ඩී.ටී. ජයවර්ධන මහතා, ගත්කතුවර කරුණාසේන ජයලත් මහතා ඒ අතර වෙති. මේ පොත් පෙල ශාස්ත්රීය පර්යේෂකයන්ට යොමු කරමින් අනුක්රමණිකාවන් ලියූ පරලෝසැපත් හර්බට් පතිරණ ශූරීන්ට නිවන් සුව අත්වේවා. වත්මන් සභාපති කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන් ඇතුළු සාමාජික භවතුන්ගෙන් ලැබෙන සහායත්, හිටපු අමාත්යවරයකු වූ ඉන්ද්රදාස හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබෙන දිරිමත් කිරීමත් ප්රසන්නව මෙහි යෙදීමට අප මෙහෙයවයි.
තෙරුවන් සරණයි!
1997 ජුනි 10 වන දින පොකුණුවිට දී ය.
සී. තනිප්පුලිආරච්චි
ලේකම්, ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය.