14. විපාක ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

විපාකප්‍රත්‍යය විභඞ්ගයෙහි ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් විපාක සිත් සතිස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා විපාකසිත් සතිස ය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් අන්‍යෝන්‍ය වශයෙන් නාමස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන්ගේ විපාක ශක්තිය ලැබේ.

ප්‍රතිසන්‍ධිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව නිසා උපදනා වූ ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. විපාක පච්චයා යන හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ද, ඔවුනොවුන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිසිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන නාමස්කන්‍ධයන් ගේ විපාක ශක්තිය ලැබේ.

ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත පඤ්චවෝකාර විපාක නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා උපන් කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. හේතු පාඨයෙන් චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත විපාක සිත් දෙවිස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් ගේ විපාක ශක්තිය ලැබේ.

විපාකප්‍රත්‍යය විභඞ්ගය නිමි.