පච්චනීය සඞ්ඛ්‍යාවාරය [සන්නය]

star_outline

විභඞ්ගවාරයට අනතුරුව සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එය ශුද්ධසඞ්ඛ්‍යාවාර ද්විකාදිසඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධසඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එය ද න හේතුප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාර නාරම්මණප්‍රත්‍යය ශුද්ධ සඞ්ඛ්‍යාවාරාදි වශයෙන් සිවු වැදෑරුම් වේ. එයින් න හේතු ප්‍රත්‍යය ශුද්ධසඞ්ඛයාවාරය පළමු කොට වදාළ සේක. එහි මෝහමූලද්වයයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු න හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ය. ඒ ධර්‍මයෝ මේ පච්චනීයයෙහි නයයට අනුව ද වාරයට අනුව ද ත්‍රිකපදයට අනුව ද ‘න හෙතුයා ද්වෙ’ යි වදාළ සේක.

පදාර්‍ථ මෙසේ ය. න හෙතුයා, හේතුප්‍රත්‍යයෙන් අන්‍ය ප්‍රත්‍යයන්හි, ද්වෙ, විස්සර්ජනාවාරයෝ දෙදෙනෙක් ලැබෙත්.

එහි ‘ද්වෙ’ යනු අකුසලෙන අකුසලය, අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ය, අකුසලෙන අකුසලයෙහි මෝහමූලද්වය ය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා විචිකිත්සා ඖද්ධත්‍ය සහගත දෙසිතෙහි මෝහය ලැබේ. එබැවින් ඒ ධර්‍මයන්ගේ විභඞ්ගය අකුසලං -පෙ- න හේතුපච්චයා, විචිකිච්ඡා සහගතෙ උද්ධච්ච සහගතෙ ඛන්‍ධෙ පටිච්ච විචිකිච්ඡා සහගතො උද්ධච්චසහගතො මොහො’ යි උදුළ යුතු ය. අබ්‍යාකතෙන අබ්‍යාකතය ද අභිධෙය අවුලා විභඞ්ගය උදුරා විස්තර කරනු.

නාරම්මණ ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ නාරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ය. ඒ ධර්‍මයෝ මේ පච්චනීයයෙහි ‘න ආරම්මණෙ පඤ්ච’ යි වදාරන ලදහ. “පඤ්ච” යනු කුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අබ්‍යාකතය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහුය. අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.

නාධිපති ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන කල්හි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන කල්හි අකුශල අහේතුක්‍රියා මහා කුශල මහාක්‍රියා ලෞකික විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය නිරාධිපති චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු නාධිපතිප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ඒ ධර්‍මයෝ මේ පච්චනීයෙහි “න අධිපතියා නව” යි වදාරන ලදහ. ‘නව’ යනු කුසලෙන කුසලය -පෙ- කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය. විභඞ්ග වාරය අනුව විස්තර කරනු. න අනන්තර න සමනන්තර දෙක ශුද්ධනාරම්මණය අනුව විස්තර කරනු.

න අඤ්ඤමඤ්ඤ ශුද්ධයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූපයෝ ය. හෘදයවස්තුවෙන් අන්‍ය ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු න අඤ්ඤමඤ්ඤ පච්චයුප්පන්නයෝ ය ‘න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච’ ‘පඤ්ච’ යනු කුසලෙන අබ්‍යාකතය අකුසලෙන අබ්‍යාකතය -පෙ- අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහුය. විභඞ්ගවාරය අනුව විස්තර කරනු. උපනිඃශ්‍රයශුද්ධය නාරම්මණ ශුද්ධය මෙනි.

න පුරේජාත ශුද්ධයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහා කුශල මහා ක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝය යන මොවුහු, ‘න පුරෙජාත සත්ත’ විස්තර කරනු.

න පශ්චාජ්ජාත ශුද්ධයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු “න පච්ඡාජාතෙ නව” ‘නව’ යනු කුසලෙන කුසලය -පෙ- අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහුය. විස්තර කරනු.

නාසේවන ශුද්ධයෙහි අකුශල හසිතෝත්පාද මහා කුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවජ්ජන දෙක ය, විපාක සිත් සතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ -පෙ- ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ‘න ආසෙවන නව’ ‘නව’ යනු කුසලෙන කුසලය -පෙ- අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය. විස්තර කරනු.

න කර්‍මශුද්ධයෙහි කුශලාකුශල ක්‍රියා චේතනා ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොවුහු, ‘න කම්මෙ තීණි’ විස්තර කරනු.

නවිපාක ශුද්ධයෙහි කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, කුශලා කුශල ක්‍රියා චිත්තජරූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය යන මොවුහු ‘න විපාකෙ නව’ නවය කුසලෙන කුසලාදිය ය.

න ආහාර ශුද්ධයෙහි බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ, ‘න ආහාරෙ එකං’ එකං අබ්‍යාකතෙන අබ්‍යාකතය ය. විස්තර කරනු.

න ඉන්‍ද්‍රිය ශුද්ධයෙහි බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපජීවිතේන්‍ද්‍රියෝ ය යන මොහු, ‘න ඉන්‍ද්‍රියෙ එකං’ එකං අබ්‍යාකතෙන අබ්‍යාකතයය. විස්තර කරනු.

න ධ්‍යානශුද්ධයෙහි ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ‘ඣානෙ එකං’ විස්තර කරනු.

න මාර්‍ගශුද්ධයෙහි අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, ‘න මග්ගෙ එකං’ විස්තර කරනු. න සම්ප්‍රයුක්තශුද්ධය නාරම්මණ ශුද්ධය මෙනි.

න විප්‍රයුක්තශුද්ධයෙහි අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභ මූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජසෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, න විප්පයුත්තෙ තීණි නොනත්‍ථි නොවිගත දෙක නාරම්මණය මෙනි.

ශුද්ධ සඞ්ඛ්‍යාවාරය නිමි.

අනු මාතෘකා
keyboard_arrow_rightදුකාදි සඞ්ඛ්‍යාවාරයstar_outline