පට්ඨාන මහා පකරණ පාලිය කියවා එයින් ප්‍රයෝජනයක් ලබනු තබා එහි සැටිවත් කිසිවකුට තේරුම් ගත නොහැකිය. පාලි භාෂාව දතහොත් බුදු දහම දත හැකිය. යන හැඟීමක් බොහෝ දෙනෙකුට ඇතත් එය මුළාවෙකි. පාලිය කොතෙක් දතුවකුට වුවද පාලි දැනීමේ බලයෙන් මේ ප්‍රකරණය තේරුම් ගත නො හැකිය. කොතෙක් පාලි දතුවකු විසින් වුව ද පට්ඨාන පකරණය තේරුම් ගනු කැමති නම් අභිධර්‍මය දතුවකුගෙන් උගත යුතුමය. සන්නයක් නැති කල්හි එය ගුරුවරයකුගෙන් ඉගෙනීමද අපහසු ය. ඒ බව දත් අපෙන් අභිධර්‍මය උගත් කාන්තාවක් ඇතුළු බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.
පට්ඨාන පකරණය ඉතා ගැඹුරු ඉතා විශාල ග්‍රන්ථයක් වුව ද එහි වචන ඇත්තේ සුළු ගණනෙකි, එබැවින් පට්ඨානය ගැන දැනුම නැති පාලි භාෂාව දත් කෙනකුට වැඩි අපහසුවක් නැතිව පට්ඨාන පාලියට පදයෙන් පදය අර්‍ථ දෙන සන්නයක් නම් සැපයිය හැකිය. එය සිංහලට ද පෙරලිය හැකි ය, එහෙත් එබඳු සන්නයකින් හෝ පරිවර්‍තනයකින් සිදුවන අර්‍ථයක් නම් නැත. එබඳු සන්නයකින් හෝ පරිවර්‍තනයකින් පට්ඨානය ඉගෙනගන්නකුට ලැබිය හැකි අල්පමාත්‍ර ප්‍රයෝජනයකුදු නැත. පට්ඨානපකරණයට සන්නයක් සැපයිය යුත්තේ ඒ ප්‍රකරණය උගත යුතු ක්‍රමයට ය. පට්ඨානයට සැපයිය යුතු සන්නය කෙබඳු විය යුතු ද යනු මේ සන්නය කියවීමෙන් තේරුම් ගත හැකි වනු ඇත. මේ ප්‍රකරණය ශිෂ්‍යයනට උගත හැකි වන පරිදි උගතයුතු ක්‍රමය දැක්වෙන සන්නයක් එයට සැපයීම නම් ඉතා දුෂ්කර කරුණෙකි. අනික් පොත්වලට සන්න සපයන්නාක් මෙන් අටුවා ටීකා ආශ්‍රයෙන් මෙය නො කළ හැකි ය. අතීතයේ පටන් පැවතෙන පට්ඨානපකරණය උගැන්වීමේ ක්‍රමයක් ඇත්තේ ය. අප රටේ ඒවා ලියා තැබූ පොත් අද කොතැනකවත් දක්නට නැත. සතුරු උවදුරුවලින් අප රටේ කලින් කල ඇතිවුණු ශාසන විනාශවලදී අප රටේ තුබූ ඒ පොත් නැතිවී යන්නට ඇත. බුරුමයේ වනාහි අභිධර්‍මය උගැන්වීමේ පෞරාණික ක්‍රමය හා පොත පත ද අදත් පවතී. අපට මේ පට්ඨාන සන්නය සැපයිය හැකිවූයේ බුරුමයේ අදත් ඒ උගැන්වීම් ක්‍රමය පවත්නා නිසා ය, මෙය අප විසින් සපයන ලද්දේ බුරුම පට්ඨාන සන්නය හා පට්ඨානය පිළිබඳවූ තවත් බුරුම පොත් ඇසුරු කිරීමෙනි. මෙහි ඇත්තේ අප විසින් අමුතුවෙන් උපදවන ලද්දක් නොව පෙර පටන් ආචාර්‍ය්‍ය පරම්පරාවෙන් පැවත ආ උගැන්වීම් ක්‍රමය ය.