3. අධිපති විභඞ්ග වාරය

star_outline

ආරම්මණප්‍රත්‍යය විභඞ්ගවාරයට අනතුරු ව අධිපතිප්‍රත්‍යය විභඞ්ගවාරය වදාළ සේක. එහිද කුශලපද අකුශලපද අබ්‍යාකතපදයන්ගේ වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් කුශලපද වාරය පළමුකොට වදාළ සේක. එද කුශලපදාවසානවාරාදි වශයෙන් සිවුවැදෑරුම් වේ. එයින් කුශලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. කුසලො ධම්මො කුසලස්ස -පෙ- කුසලාධිපති සම්පයුත්තකානං ඛන්‍ධානං අධිපති පච්චයෙන පච්චයො” යනු යි.

පදාර්‍ථ:

කුසලොධම්මො කුසලස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො, ආරම්මණාධිපති, ආරම්මණාධිපතිය ය: සහජාතාධිපතිය යයි: (අධිපතිප්‍රත්‍යය දෙවැදෑරුම් වේ.) ආරම්මණාධිපති, එයින් ආරම්මණාධිපතිය: (මෙසේ ය) දානං දත්‍වා, දන් දී හෙවත් දානචේතනාව උපදවා: සෙස්ස සුගම ය.

ආරම්මණාධිපතිය වේ නම් එහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අර්‍හන්මාර්‍ග වර්ජිත ගරු කළ යුතු වූ කුසල් සිත් විස්ස ය චෛතසික අටතිසය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙසේ ය:- ගරු කොට අරමුණු කරන්නා වූ මහාකුශල ඥානවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ලෞකික කුසල් සතොළොස ය, ගරු කොට අරමුණු කරන මහාකුශල ඥානසම්ප්‍රයුක්ත චිත්තයන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස ය චෛතසික අටතිස ය යන මොවුහු කර්‍තෘපාඨයෙන් ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ගරු කර අරමුණු කරන මහාකුසල් සිත් අට හා විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිස ද ලැබේ. කරණපාඨයෙන් එක්වර ලැබිය හැකි ආරම්මණාධිපති, ආරම්මණ, ආරම්මණූපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ.

“දානං දත්‍වා තංගරුං කත්‍වා පච්චවෙක්ඛන්ති” යන අනුවාදපාලියෙහි “දානං දත්‍වා” යනුවෙන් ගැනෙන දාන චේතනාව ප්‍රධාන කාමාවචර කුශලය එය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුශලචිත්තයට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය වන ආකාරය ආරම්මණප්‍රත්‍යයෙහි කී පරිදි ය.

“සීලංසමාදියිත්‍වා තං ගරුං කත්‍වා පච්චවෙක්ඛන්ති” යන අනුවාද පාලියෙහි “සීලං සමාදියිත්‍වා” යනුවෙන් ගැනෙන පඤ්චාඞ්ගශීල දශාඞ්ගසීල චේතනා ප්‍රධාන කාමාවචර කුශලය එය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුශලයට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ආරම්මණවිභඞ්ගය මෙන් විස්තර කරනු. (මහද්ගත කුශලය තමා මහත්බවට පැමිණ සිටින බැවින් අනෙකක් ගරු කොට අරමුණු නො කරයි. “අත්තනො මහග්ගතතාය ගරුං න කරොති” යනු අටුවා යි.

සහජාතාධිපතිය වේ නම් කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුසල් තෙළෙස ය චෛතසික අටතිස ය යන මොවුන් ගේ එක් එක් චිත්තයක ඇති අධිපති තුන හා සතර අතුරෙන් එක එකක් වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අධිපති වන ධර්‍මය හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාතාධිපති ශක්තිය ලැබෙ.්

කුසලපදාවසාන වාරයට අනතුරුව අකුසල පදාවසාන වාරය වදාළ සේක. “කුසලො ධම්මො අකුසලස්ස -පෙ- දිට්ඨිඋප්පජ්ජති” යනු යි. පදාර්‍ථ සුගම ය. කුශලධර්‍මය අකුශලධර්‍මයට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ආහාරපානාදි දානවස්තූන් දී පරිත්‍යාගචේතනා ප්‍රධාන කාමාවචර කුශලය ගරු කොට ආස්වාදනය කරන කල්හි ඒ කුශලය ගරු කොට ආස්වාදනය කරන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරට ද, සතුටුවන කල්හි සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලොභමූල සෝමනස්සසහගත සිත් සතරට ද වරදවා ගන්නා කල්හි ලෝභමූල දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතරට ද මෙ සේ අවසානය වන තෙක් විස්තර කරනු. කර්‍තෘපාඨයෙන් ලෞකික කුසල් සතොළොස වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අට ලැබේ. කරණපාඨයෙන් ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණශක්තිය ලැබේ. ආරම්මණ ප්‍රත්‍යය අනු ව විස්තර කරනු.

අකුසලපදාවසාන වාරයට අනතුරු ව අබ්‍යාකතපදාවසාන වාරය වදාළ සේක. “කුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ- පච්චයො” යනු යි. අදහස මෙසේ ය. කුශලධර්‍මය අබ්‍යාකතධර්‍මයට අධිපතිශක්තියෙන් ප්‍රත්‍යය වේ. අර්‍හත් පුද්ගලයා අර්‍හන්මාර්‍ගයෙන් නැගිට එය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ දී අර්‍හන්මාර්‍ගය, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඥානසම්ප්‍රයුක්ත මහාක්‍රියා සිත් සතරට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ. පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා කුසල් අටෙහි හා සැම කල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශලයන්හි ද ඇති අධිපති ධර්‍මයෝ සාධිපති චිත්තජරූපයන්ට අධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වෙති. මෙ සේ කුසල ය අබ්‍යාකතයට අධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

ආරම්මණාධිපතිය වේ නම් එහි කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිසය යන මොවුහු ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්ස ය යන ශක්ති තුනෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ. අරහා මග්ගා වුට්ඨහිත්‍වා යනාදි අනුවාදපාලිය අර්‍හන්මාර්‍ගය ගරු කොට අරමුණු කරන වීථිය දක්වමින් විස්තර කරනු.

සහජාතාධිපතියෙහි “කුසලාධිපති” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා කුසල් අටෙහි හා මහද්ගත ලෝකෝත්තරකුශලයන්හි ද ඇති අධිපති ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් චිත්තජරූපයෝ ලැබෙත්.

(මහාක්‍රියා ඥානවිප්‍රයුක්තචිත්තයෝ ලෝකෝත්තර ධර්‍මයන් අරමුණු කිරීමට නො සමත් බැවින් ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න භාවයෙන් නො ගන්නා ලදි. රහතුන් ලෞකික ධර්‍මයන් ගරු නො කරන බැවින් ලෞකිකධර්‍මයන් ගේ වශයෙන් ද ඒවා ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. ද්වේෂමූලචිත්තය කිසිවක් ගරු නො කරන බැවින් ද මෝහමූලචිත්තය සම්මෝහය නිසා කිසිවක් ගරු කොට නො ගන්නා බැවින් ද ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති.)

“කුසලො කුසලාබ්‍යාකතස්ස” යන්නෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අටෙහි ද මහද්ගත කුසල් නවයෙහි ද මාර්‍ගසිත් සතරෙහි ද ඇති අධිපතිධර්‍ම තුන හා සතර අතුරෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අධිපති වන ධර්‍මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. අනුවාදය විස්තර කරනු.

කුසලපදවාරයට අනතුරු ව අකුසලපදවාරය වදාළ සේක. එහි ද අකුශලපදාවසානවාරාදි වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් අකුසලපදාවසානවාරය පළමු කොට වදාළ සේක. “අකුසලො ධම්මො -පෙ- පච්චයො” යනු යි. පදාර්‍ථ සුගමය. එහි අදහස මෙසේ ය:- අකුශලධර්‍මය අකුශලධර්‍මයට අධිපති ශක්තියෙන් ප්‍රත්‍යවේ. රාග ප්‍රධාන ලෝභමූලචිත්තය ගරු කොට ආස්වාදනය කරන කල්හි ඒ ලෝභමූල චිත්තය ගරු කොට ආස්වාදනය කරන්නා වූ ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරට ද, සතුටුවන කල්හි සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරට ද ගරු කොට ඇලුම් කරන කල්හි රාග ප්‍රධාන ලෝභමූල සිත් අටට ද, වරදවා ගන්නා කල්හි දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතරට ද, ආරම්මණාධිපතිශක්තියෙන් ප්‍රත්‍යය වේ. සහජාතාධිපතිය මෙ සේ ය:- අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල චිත්තයන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අධිපති ධර්‍ම තුන අතුරෙන් එක එකක් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

ආරම්මණාධිපතියෙහි ‘අකුසලො’ යන කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූලසිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ලෝභමූල සිත් අට වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අට ය චෛතසික දෙවිස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ. ‘රාගං ගරුං කත්‍වා අස්සාදෙති’ යනාදිය ආරම්මණයෙහි කළ විස්තරය අනුව වීථි දක්වා විස්තර කරනු.

සහජාතාධිපතියෙහි ‘අකුසලො’ යන කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ලෝභමූල සිත් අට ය. ද්වේෂමූල සිත් දෙක ය, විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන මොවුන්ගේ එක් එක් චිත්තක්‍ෂණයක ලැබෙන අධිපති ධර්‍ම තුනෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අධිපතිවන ධර්‍මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තිය ලැබේ. අනුවාදය විස්තර කරනු.

“අකුසලො අබ්‍යාකතස්ස” යනාදි වාරයෙහි කර්‍තෘපාඨයෙන් සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන මොවුන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අධිපතිධර්‍ම තුනෙන් එක් එක් ධර්‍මයක් වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සාධිපතිචිත්තජ රූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාතාධිපති ශක්තිය ලැබේ. අනුවාදය විස්තර කරනු.

“අකුසලො අකුසලාබ්‍යාකතස්ස” යනාදිවාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, චෛතසික සවිස්ස ය යන මොවුන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අධිපතිධර්‍ම තුනෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා සාධිපති චිත්තජරූපයන් වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාතාධිපති ශක්තිය ලැබේ. අනුවාදය විස්තර කරනු.

අකුසලපදවාරයට අනතුරු ව අබ්‍යාකතපදවාරය වදාළ සේක. අබ්‍යාකතපදාවසානවාරාදි වශයෙන් එහි වාර තුනකි. එයින් -පෙ- වදාළ සේක. අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස -පෙ- චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො” යනුයි. පදාර්‍ථ සුගම ය. එහි අදහස මෙසේ ය:- අව්‍යාකෘතධර්‍මය අව්‍යාකෘතධර්‍මයට අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. ඒ මෙ සේ ය:- අර්‍හත් පුද්ගලයා අර්හත්ඵලය හා නිර්‍වාණය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ අර්හත් ඵලය හා නිර්වාණය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ද නිර්‍වාණය අර්‍හත්ඵලයට ද ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ. අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා සිත් අට ය නියමයෙන් අධිපති ලැබෙන මහද්ගත ක්‍රියා නවය ය, ඵලසිත් සතර ය යන මොවුන්ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අධිපති ධර්‍ම තුන හා සතර අතුරෙන් එක එකක් වූ අධිපති ධර්‍මය අධිපති වන ධර්‍මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

ආරම්මණාධිපතියෙහි ‘අබ්‍යාකතො’ යන කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත චිත්තයන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු අර්හත්ඵලය හා නිර්‍වාණය ය, ගරු කොට අරමුණු කරන ඵලසිත් සතර ප්‍රත්‍යය වන නිර්‍වාණය ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් මහාක්‍රියාඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ. “අරහා ඵලං පච්චවෙක්ඛති” යනාදිය විස්තර කරනු.

සහජාතාධිපතියෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා අට ය, මහද්ගතක්‍රියා නවය ය, ඵලසිත් සතර ය, චෛතසික අටතිස ය යන මොවුන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා සාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාතාධිපති ශක්තිය ලැබේ. අනුවාදය විස්තර කරනු.

“අබ්‍යාකතො කුසලස්ස” යනාදි වාරයෙහි කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහා කුශල ඥානසම්ප්‍රයුක්ත චිත්තයන්ට ප්‍රත්‍යය වන හෙට්ඨිමඵල තුන හා නිර්‍වාණය ය, මාර්‍ග සිත් සතරට ප්‍රත්‍යය වන නිර්‍වාණය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය මාර්‍ග සිත් සතර ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ. ප්‍රත්‍යවේක්‍ෂා වීථි හා මාර්‍ග වීථි උක්තානුසාරයෙන් දක්වමින් අනුවාදය විස්තර කරනු.

‘අබ්‍යාකතො අකුසලස්ස’ යනාදි වාරයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ඉෂ්ටනිෂ්පන්න රූප අටොළොස ය, දුඃඛසහගත කායවිඥාන වර්ජිත ලෞකික විපාක එක් තිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික පන්තිස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ලෝභමූල සිත් අටය, චෛතසික දෙවිස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ.

“චක්ඛුං ගරුං කත්‍වා අස්සාදෙති” යනාදි අනුවාදපාලියෙහි ‘චක්ඛුං’ යනුවෙන් ගරු කළ යුතු වූ ඉෂ්ට චක්‍ෂුඃ ප්‍රසාදය ද, “ගරුං කත්‍වා අස්සාදෙති’ යනුවෙන් ගරු කොට ආස්වාදනය කරන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතර ද, ‘අභිනන්‍දති’ යනුවෙන් ගරු කොට අරමුණු කරන සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතර ද, ‘රාගො උප්පජ්ජති’ යනුවෙන් ගරුකොට අරමුණු කරන රාගප්‍රධාන ලෝභමූල සිත් අට ද, ‘දිට්ඨි’ යනුවෙන් ගරුකොට අරමුණු කරන දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතර ද ගනිමින් ‘සොතං’ යනාදියේ අර්‍ථය ද ඒ ආකාරයෙන් ම ගනිමින් අනුවාදපාලිය විස්තර කරනු.