20. විප්‍රයුක්ත ප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

පදාර්‍ථ:

රූපිනො, රූපී වූ: ධම්මා, ෂට් වස්තු සඞ්ඛ්‍යාත ධර්‍මයෝ: අරූපිනං, අරූපි වූ: ධම්මානං, අරූපවිපාක වර්ජිත සප්ත විඥාන ධාතූන්ට: විප්පයුත්ත පච්චයෙන, සහජාත විප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත ශක්තියෙන්: පච්චයො. අරූපිනො, අරූපි වූ: ධම්මා, අරූපි විපාක වර්ජිත සිත් පස් අසූව ය චෛතසික දෙපනස ය යන නාමස්කන්‍ධයෝ: රූපීනං ධම්මානං, චතුසමුට්ඨානික රූපයන්ට: විප්පයුත්ත පච්චයෙන, සහජාත විප්‍රයුක්ත පශ්චාජ්ජාත විප්‍රයුක්ත ශක්තියෙන්, පච්චයො.

අභිධෙයාර්‍ථ:

සහජාත විප්‍රයුක්තය වේ නම් “රූපිනො ධම්මා” යන කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධිචිත්තය හා උපදනා හෘදය වස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මයද, “අරූපීනං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණ පාඨයෙන් එක් වර ලැබෙන විප්පයුත්ත, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- දැක්වූ සේක.

පුරේජාත විප්‍රයුක්තය වේ නම්, “රූපිනො ධම්මා” යන කර්‍තෘ පාඨයෙන් ෂට් වස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය ද, සම්ප්‍රදාන පාඨයෙන් අරූප විපාක වර්ජිත සප්තවිඥානධාතූන් වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණ පාඨයෙන් අරූප විපාක වර්ජිත සප්තවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන ෂට් වස්තූහු වෙත් නම්, විප්පයුත්ත, නිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් -පෙ- වීම ද, මනොද්වාරාවර්ජන මරණාසන්න ජවන තදාරම්මණයන්ට ප්‍රත්‍යය වන චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපන් හෘදය වස්තුව වූ වස්ත්‍වාරම්මණය වේ නම් ආරම්මණ ශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, ගරුකොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදය වස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණය වේ නම් ආරම්මණ, අධිපති, උපනිස්සය යන ශක්ති තුන සහිත වූ ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් -පෙ- වීමද දැක්වූ සේක.

සහජාත විප්‍රයුක්තය වේ නම්, “අරූපිනො ධම්මා” යන කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනාවූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්හත්තච්‍යුති වර්ජිත සිත් පන් සැත්තෑව ය, චෛතසික දෙපනස ය යන අර්‍හන්ත ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. “රූපීනං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණ පාඨයෙන් සුදුසු පරිදි ලැබෙන විප්පයුත්ත, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් -පෙ- දැක්වූ සේක.

පශ්චාජ්ජාත විප්‍රයුක්තය වේ නම්, “අරූපිනො ධම්මා” යන කර්‍තෘ පාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණෙන ඒකජ ද්විජ තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූප විපාක වර්ජිත ප්‍රථම භවාඞ්ගාදි පශ්චිම පශ්චිම සිත් පස් අසූව ය චෛතසික දෙපනසය යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණෙන ඒකජ ද්විජ තිජ චතුජ කායයන් වූ ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණ පාඨයෙන් විප්පයුත්ත, පච්ඡාජාත, අත්‍ථි, අවිගත යන ශක්ති සතර අතුරෙන් විප්‍රයුක්ත ශක්තියෙන් උපකාර වීම දැක්වූ සේක.

විශේෂ කරුණු:

“රූපායතනාදයො පන ආරම්මණධම්මා කිඤ්චාපි විප්පයුත්තධම්මා විප්පයුත්තපච්චයා පන න හොන්ති, කිං කාරණා? සම්පයොගාසඞ්කාය අභාවතො, අරූපිනො හි ඛන්‍ධා චක්ඛාදි වත්‍ථුනං අබ්භන්තරතො නික්ඛමන්තා විය උප්පජ්ජන්ති, තත්‍ථ ආසඞ්කා හොති, එතෙ එතෙහි සම්පයුත්තා උදාහු විප්පයුත්තා ති, ආරම්මණධම්මා පන වත්‍ථුනිස්සයෙන උප්පජ්මානානං ආරම්මණ මත්තා හොන්තී ති නත්‍ථි තෙසු සම්පයොගාසඞ්කා. ඉති සම්පයොගාසඞ්කාය අභාවතො න තෙ විප්පයුත්ත පච්චයා. හදයවත්‍ථු ආදිසු එව පනා යං විප්පයුත්ත පච්චයතා වෙදිතබ්බා” යනු අටුවා යි.