1. හේතු ප්‍රත්‍යය

star_outline

යම් කිසිවක ඇතිවීමේ ද පැවතීමේ ද දියුණු වීමේ ද පිරිහීමේ ද විකෘතියට පැමිණීමේ ද විනාශ වීමේ ද කාරණයට ලෝකයෙහි හේතු යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ශාසනයෙහි ද -

“යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ”

-

“නයිදං අත්ත කතං බිම්බං නයිදං පරකතං අඝං

හෙතුප්පටිච්ච සම්භූතං හෙතු භඞ්ගා නිරුජ්ඣති”

යනාදීන් යම් කිසි සිදුවීමක කාරණය පැවසීමට හේතු යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. “අයම්පි ඛො මහාලි හෙතු අයං පච්චයො සත්තානං විසුද්ධියා” යනාදීන් බොහෝ සූත්‍ර ධර්‍මවල හේතු පච්චය යන වචන දෙක ම යම් කිසිවක් සිදුවීමේ කාරණය යන එක ම අර්‍ථය දැක්වීමට යොදා තිබේ.

මේ ප්‍රත්‍යය කථාවෙහි හෙතු යන වචනය යොදා තිබෙන්නේ මූලය යන අර්‍ථය දීම සඳහා ය. පච්චය යන වචනය ද නොයෙක් අර්‍ථවල යෙදේ. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ උපකාරක ධර්‍මය යන අර්‍ථය දීම සඳහා ය. අභිධර්‍ම පිටකයෙහි සැම තැනම හේතු යන වචනය යොදා තිබෙනුයේ මූලය යන අර්‍ථය දීම සඳහා ය. පච්චය යන වචනය යොදා තිබෙන්නේ කාරණාසඞ්ඛ්‍යාත උපකාරක ධර්‍මය දැක්වීම සඳහා ය. හෙතුය පච්චය ය යන වචන දෙක හෙතුපච්චයො කියා සමාස වූ කල්හි මූල භාවයෙන් උපකාරක ධර්‍මය ය යන අර්‍ථය කියවේ. මූල භාවයෙන් අන්‍ය ධර්‍මයන්ට උපකාර වන ධර්‍මය හේතු ප්‍රත්‍යය ය.

ගස්වල මුල් පොළොවෙහි කා වැදී පොළොව තදින් ගන්නා මෙන් එක් අරමුණක් ගෙන එකට බැඳී උපදනා චිත්ත චෛතසික ධර්‍ම පිණ්ඩයන්හි අන්‍ය ධර්‍මයනට වඩා තදින් ආරම්මණය ගන්නා වූ චෛතසිකයෝ සදෙනෙක් ඇත්තාහ. ලෝභය ද්වෙෂය මෝහය අලෝභය අද්වේෂය අමෝහය යනු ඒ ධර්‍මයෝ සදෙන ය. ගස්වල මුල් පොළොව තදින් ගන්නාක් මෙන් ආරම්මණය තදින් ගන්නා ධර්‍මයෝ ය යන අර්‍ථයෙන් ඔවුනට හේතු ය යි කියනු ලැබේ. පොළොවට වැද පොළොව තදින් ගෙන සිටින මුල් ඒ තදින් ගැනීම නිසා පොළොවෙහි නොසැලී පිහිටන්නාක් මෙන් අරමුණක් ගනිමින් උපදනා ධර්‍ම සමූහයක ඒ අරමුණ තදින් ගෙන සිටින්නා වූ ධර්‍මය ඒ ග්‍රහණය නිසා ඒ ආරම්මණයෙහි ස්ථිර ව පිහිට යි. ස්ථිරව පිිහිටි මුල් හා බැඳී සිටීම නිසා පොළොව මතුයෙහි තිබෙන ගස ද පොළොවෙහි ස්ථිර ව පිහිටා සිටින්නාක් මෙන් අරමුණ තදින් ගන්නා ලෝභාදීන් හා මිශ්‍රවන චිත්ත චෛතසිකයෝ ද ඒ ලෝභාදිය නිසා අරමුණෙහි මනාකොට පිහිටති. ලෝභාදියෙහි ඇති අරමුණෙහි නොසැලී පිහිටන ස්වභාවයට හේතු ශක්තිය ය යි කියනු ලැබේ.

සම්ප්‍රයුක්ත ධර්‍මයනට සැලෙන්නට නො දී ආරම්මණයෙහි මනා කොට පිහිටවීමේ උත්සාහයක් හේතුන්හි නැත. එහෙත් හේතූන් නිසා ඔවුනට අනුව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ආරම්මණයෙහි නො සැලී පිහිටති. එ බැවින් හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන් ආරම්මණයෙහි මැනවින් පිහිට වන ධර්‍මයෝය යි කියනු ලැබෙත්. නූපන් හොත් හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයනට අරමුණෙහි නො පිහිටිය හැකි ය. හේතූන්ට අනුව ආරම්මණයෙහි නො සැලී පිහිටීමටත් ඒ ධර්‍මයන් ඉපදිය යුතු ය. හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයෝ හේතූන් අනුව ආරම්මණය ග්‍රහණය කරමින් අරමුණෙහි මනා කොට පිහිටමින් හේතු ධර්‍මයනට අනුකූල වීම් වශයෙන් ඔවුන් හා බැඳී උපදිති. හේතූන් ගේ හේතු ශක්තිය නැත හොත් ඒ අනුකූල ව ඉපදීම සිදු නො වේ. සම්ප්‍රයුක්ත ධර්‍මයන් ඉපද වීමේ උත්සාහයක් හේතූන්හි නැත ද ඔවුන් නිසා සම්ප්‍රයුක්ත ධර්‍මයන් උපදනා බැවින් හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන් ගේ උත්පත්තියට උපකාරක ධර්‍මයෝ යයි කියනු ලැබෙත්. සම්ප්‍රයුක්ත ධර්‍ම සහිත වූ සහේතුක චිත්තය නූපදිත හොත් සහේතුක චිත්තජ රූපයනට හා සහේතුක ප්‍රතිසන්ධි කර්‍මජ රූපයන්ට ද නූපදිය හැකිය. ඒවා උපදින්නේ ද සහේතුක චිත්තය උපදනා නිසා ය. එ බැවින් හේතූහු සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන් ගේ උත්පත්තියට ද උපකාරයෝ ය යි කියනු ලැබෙත්.

ජනක ප්‍රත්‍යයෝ ය, උපස්තම්භක ප්‍රත්‍යයෝ ය, ජනකෝපස්තම්භක ප්‍රත්‍යයෝ ය යි ප්‍රත්‍යය තුන් වර්‍ගයෙකි. යම්කිසි ධර්‍මයක ඉපදීමට උපකාරක ධර්‍මය ජනක ප්‍රත්‍යය ය. පැවැත්මට උපකාරක ධර්‍මය උපස්තම්භක ප්‍රත්‍යය ය. ඉපදීමය පැවැත්මය යන දෙකටම උපකාරක ධර්‍මය ජනකොපස්තම්භක ප්‍රත්‍යය ය. ජනක ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයාගේ උත්පාදයට ප්‍රත්‍යය වේ. උපස්තම්භක ප්‍රත්‍යය ස්ථිතියට ප්‍රත්‍යය වේ. ජනකෝපස්තම්භක ප්‍රත්‍යය උප්පාද ස්ථිති දෙකටම ප්‍රත්‍යය වේ. හේතු ප්‍රත්‍යය ජනකෝපස්තම්භක ප්‍රත්‍යයෙකි. එය ප්‍රත්‍යයෝත්පන්නයා ගේ උත්පාද ස්ථිති දෙකට ම ප්‍රත්‍යය වේ.

හේතු ධර්‍මයන් අන්‍ය ධර්‍මයන්ට වඩා අරමුණ තදින් ගන්නා බව ඉහත කියන ලදි. ඒවායේ ඇති අරමුණ තදින් ගන්නා බව ලෝභ ද්වේෂ දෙක ගැන සිතා බැලීමෙන් තේරුම් ගත හැකි ය. මනුෂ්‍යයන් විසින් ලස්සනය හොඳ ය කියා සලකන ස්ත්‍රීරූපාදි ආරම්මණයන් ගෙන් යම් කිසිවක් දුටු කල්හි එය අරමුණු කොට ලෝභ සහගත සිත් උපදනේ ය. ඒ සිත්වල ලෝභය හා තවත් චෛතසික ද ඇත්තේ ය. එබඳු අවස්ථාවල දී මනුෂ්‍යයෝ “මට ආශාවක් ඇතිවී ය, ආදරයක් ඇතිවී ය යි” කියති. ඒ අරමුණ ගෙන එකවර ඇතිවුණු සිත හා බොහෝ චෛතසිකයන් ගැන නො කියා මිනිසා ආශාව ආදරය ඇති වූ බව පමණක් කියනුයේ ඔහුට ඒ අවස්ථාවේ දී ලෝභය පමණක් ඇති වූ බව දැනෙන නිසා ය. සිත හා අන්‍ය චෛතසිකයන් ඇති වූ බව ඔහුට නො දැනෙන්නේ අරමුණ තදින් ගනිමින් ඇතිවන ලෝභයෙන් ඒවා වැසී යන නිසා ය. හොඳ යයි සලකන අරමුණ තුළට කාවැදෙන්නාක් මෙන් ලෝභය එය තදින් ගනිමින් උපදී. එ බැවින් ලෝභයෙන් සම්ප්‍රයුක්ත ධර්‍මයෝ වැසී යෙත්. ඒ අරමුණ ගනිමින් වරක් ලෝභය ඇති වූ කල්හි එය ගැන නැවත නැවත ද ලෝභය උපදින්නට පටන් ගනී. එය නැවැත්වීමට හෙවත් ප්‍රහාණය කිරීමට දුෂ්කර ය. ලෝභයේ නැවත නැවත ඉපදීම නැවැත්වීමට දුෂ්කර වන්නේ ද එය අරමුණට ඇතුළු වන්නාක් මෙන් නොහොත් ගිලගන්නාක් මෙන් අරමුණ තදින් ගත් බැවිනි.

යම්කිසිවකු ගැන ද්වේෂය ඇති වූ කල්හි ද මනුෂ්‍යයෝ එය හා සම්ප්‍රයුක්ත වශයෙන් ඇති වන්නා වූ සිත හා අන්‍ය චෛතසිකයන් හැර දමා කෝපයක් ඇති වූ බව පමණක් කියති. සිත හා අන්‍ය චෛතසිකයන් එයා හා ඇති වන බව නො දැනෙන්නේ ද්වේෂය ඒ ආරම්මණය ගිල ගන්නාක් මෙන් සිතට ද අන්‍ය චෛතසිකයන්ට ද වඩා තදින් ගන්නා බැවිනි. සිත හා අන්‍ය චෛතසිකයෝ තදින් අරමුණ ගන්නා ද්වේෂයෙන් වැසී යෙති. වරක් ද්වේෂය ඇති වූ කල්හි ඒ ආරම්මණය කෙරෙහි නැවත නැවත ද ද්වේෂය ඇති වන්නට පටන් ගනී. එය නැවැත්වීමට දුෂ්කර ය. එය නැවත නැවත ඇතිවන්නේ ද නැවැත්වීමට දුෂ්කර වන්නේ ද එයින් අරමුණ තදින් ගත් බැවිනි.

සත්ත්‍වයන් විසින් මිහිරිකොට ගෙන ඇලුම් කරන්නා වූ රූපාදි ආරම්මණයෝ අනේකාදීනවයෙන් යුක්තයෝ ය. සතුරෝ ය. මාරයෝ ය. ඒවායේ බිය විය යුතු බවක් මිස ඇලුම් කළ යුතු බවක් නැත්තේ ය. ඇලුම් කළ යුතු බවක් නැත්තා වූ ආරම්මණය ලෝභයට තදින් ගත හැකි වන්නේ එය හා එක් ව පවත්නා වූ මෝහය නිසා ය. මෝහය ආරම්මණයේ සත්‍ය ස්වභාවය වසා ගෙන එය මිහිරක් කොට තදින් ගන්නේ ය. මෝහයාගේ ඒ ගැනීම නො වෙත හොත් ලෝභය ඇති නොවන්නේ ය. ලෝභය අරමුණ තදින් ගන්නේ මෝහය ආරම්මණය මිහිරක් කොට තදින් ගත් පමණට ය. ආරම්මණයන් කෙරෙහි පවත්නා සම්මෝහය ලෙහෙසියෙන් දුරලිය නො හැක්කේ මෝහයා ගේ ගැන්මේ තද බව නිසා ය.

මෝහය ඇතැම් ආරම්මණයන් මිහිරි කොට ගන්නාක් මෙන් ඇතැම් ආරම්මණයන් අමිහිරි කොට පිළිකුල් කොට නපුරු කොට ද ගන්නේ ය. ද්වේෂය ඇතිවන්නේ ඒ අමිහිරි කොට නපුරු කොට ගැනීම අනුව ය. ද්වේෂය ආරම්මණය තදින් ගන්නේ ද එය හා සම්ප්‍රයුක්ත මෝහයෙන් ආරම්මණය අමිහිරි කොට ගත් පමණට ය. ද්වේෂය ලෙහෙසියෙන් දුරලිය නො හෙන්නේ මේ තැනැත්තා නරක ය, සතුරු ය කියා මෝහයෙන් කරන ගැනීමේ තද බව නිසා ය. එය දුරු කළ හොත් එයට අනුව ද්වේෂය ඉබේ ම දුරුවන්නේ ය. ද්වේෂයේ ආරම්මණය තදින් ගන්නා බව එය හා සම්ප්‍රයුක්ත මෝහය අනුව ද, මෝහයේ අරමුණ තදින් ගන්නා බව එය හා සම්ප්‍රයුක්ත ද්වේෂයට අනුව ද සිතා කාරණය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය.

අනිත්‍ය වූ ද දුඃඛ වූ ද අනාත්ම වූ ද අශුභ වූ ද සංස්කාරයන් හි නිත්‍ය වශයෙන් ද සුඛ වශයෙන් ද ආත්ම වශයෙන් ද ශුභ වශයෙන් ද පවත්නා සම්මෝහය සත්ත්‍වයන් කෙරෙහි ලෙහෙසියෙන් දුරු කළ නො හෙන ලෙස පවතී. එය ද මෝහයේ ආරම්මණය තදින් ගැනීම වන බව කිය යුතු ය. අලෝභාදි ධර්‍ම තුනෙහි මූල භාවය ද සිතිය යුතු ය. ලෝභාදි ධර්‍මයන්ගේ හේතු භාවය හෙවත් මූල භාවය ගැන සෑහෙන විස්තරයක් පැරණි පොත්වල සඳහන් වී නැත. හේතූන් පිළිබඳ වූ මේ විස්තරය අප අදහස පරිදි කරන ලද්දකි. එබැවින් එය ගැන වැඩිදුරටත් විමසිය යුතු ය.

ත්‍රිරාශියෙහි හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් වශයෙන් දැක්වෙන ධර්‍ම සියල්ලට ම හේතු සියල්ල ම ප්‍රත්‍යය වන්නේ නොවේ. එ බැවින් එහි විභාගය දත යුතු ය. ඒ ඒ හේතූන් ඒ ඒ ධර්‍මයන්ට ප්‍රත්‍යය වන අයුරු අභිධර්‍මාර්‍ථ සඞ්ග්‍රහයෙහි දැක්වෙන චිත්ත විභාගය අනුව දක්වනු ලැබේ. ඒ මෙසේ ය :-

ලෝභ මූල සිත් අටෙහි ලෝභ මෝහ වශයෙන් හේතු දෙකක් ඇත්තේ ය. ඒ හේතු දෙක ලෝභ මූල චිත්තයට හා හේතූන් ගෙන් අන්‍ය වූ චෛතසිකයන්ට ද චිත්තජරූපයන්ට ද හේතු ශක්තියෙන් උපකාරක වේ. ලෝභමූල සිත්හි ලෝභය එහි ඇති මෝහයට ද මෝහය ලෝභයට ද හේතු ශක්තියෙන් උපකාරක වේ. එ බැවින් ලෝභ මෝහයෝ දෙදෙන හේතු ප්‍රත්‍යය ද වෙති. හේතු ප්‍රත්‍යයෝත්පන්න ද වෙති. සිත හා ලෝභ මෝහයන්ගෙන් අන්‍ය චෛතසික හේතු ප්‍රත්‍යයෝත්පන්නයෝ පමණක් වෙති. චිත්තජ රූපයනට හේතූන් ප්‍රත්‍යය වෙතැයි කී පමණින් චිත්තජ රූපයෝ හේතූන් නිසා ම උපදින්නාහුය යි නො ගත යුතු ය. චිත්තය ම ද චිත්තජ රූප ඉපදවීමට සමත් නොවේ. හේතූහු ම ද චිත්තජ රූප ඉපදවීමට සමත් නො වෙති. චිත්තජරූප උපදවන්නේ එකට උපදනා චිත්ත චෛතසික සියල්ලෙනි. ව්‍යවහාර පහසුව පිණිස සිත ප්‍රධාන කොට ගෙන එසේ උපදනා රූපයන්ට චිත්තජ රූපයෝය යි කියනු ලැබේ. චිත්ත චෛතසික සමූහය ම එක් ව රූප ඉපදවීමෙහි දී ඒ හේතූහු රූපයන්ට හේතු ශක්තියෙන් උපකාර වෙති. එ බැවින් ඒ රූපයෝ ද හේතු ප්‍රත්‍යයෝත්පන්නයන් වශයෙන් කියනු ලැබෙත්. හේතූන් රූපයන්ට උපකාරක වන්නේ චිත්ත චෛතසිකයන්ට සේ ආරම්මණයෙහි නො සැලී සිටීමට නොව ඉපදීමට පමණෙකි.

ද්වේෂමූලික දෙසිතෙහි ද්වේෂ මෝහ වශයෙන් හේතු දෙකකි. ඒවා ප්‍රත්‍යය වන සැටි ලෝභමූලික චිත්තයට අනුව දත යුතු ය.

මෝහමූලික දෙසිතෙහි ඇත්තේ මෝහ හේතුව පමණකි. එය සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වේ. එයට ප්‍රත්‍යය වන තවත් හේතු ධර්‍මයක් ඒ සිත්හි නො වන බැවින් ඒ මෝහය හේතු ප්‍රත්‍යය මුත් හේතු ප්‍රත්‍යයෝත්පන්න නො වේ. ත්‍රිරාශියෙහි මෝහමූල ද්වයෙහි මෝහය හේතු ප්‍රත්‍යයෝත්පන්න භාවයෙන් හැර තිබෙන්නේ එහෙයිනි.

අහේතුක සිත් අටොළොසෙහි එක හේතුවකු දු නැත්තේය. එබැවින් අහේතුක චිත්තචෛතසිකයෝ ද අහේතුක චිත්තජ රූපයෝ ද අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ද හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න භාවයට නො පැමිණෙති. හේතු ප්‍රත්‍යය ලබන්නා වූ චිත්තචෛතසිකයෝ පොළොවට කා වැදුණු මුල් ඇති ගස් සේ ස්ථිර වෙති. බලවත් වෙති. හේතු ප්‍රත්‍යය නො ලබන ධර්‍මයෝ ජල මතුයෙහි වැවෙන දිය පරඬල් සේ දුබලයෝ වෙති.

කාමාවචර කුසල් සිත් අට අතුරෙන් ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරෙහි ආලෝභ අද්වේෂ අමෝහ වශයෙන් හේතු තුනක් ඇත්තේ ය. ඥාන විප්‍රයුක්ත සිත් සතරෙහි අලෝභ අද්වේෂ වශයෙන් හේතු දෙක බැගින් ඇත්තේ ය. ප්‍රත්‍යය වන ආකාරය ලෝභමූලික සිත්වලට කී පරිද්දෙන් සලකා ගත යුතු ය.

මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරෙහි අලෝභ අද්වේෂ අමෝහ වශයෙන් හේතු තුන බැගින් ඇත්තේ ය. ඥානවිප්‍රයුක්ත සිත් සතරෙහි අලෝභ අද්වේෂ වශයෙන් හේතු දෙක බැගින් ඇත්තේ ය. මහා විපාක චිත්තයෝ ප්‍රතිසන්‍ධි කෘත්‍යයෙන් ද භවාඞ්ග කෘත්‍යයෙන් ද ච්‍යුති කෘත්‍යයෙන් ද තදාරම්මණ කෘත්‍යයෙන් ද උපදිති. ප්‍රතිසන්‍ධි කෘත්‍යයෙන් උපදනා මහා විපාක චිත්තයන්හි ඇති හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වෙති. ඒවායින් චිත්තජ රූප නූපදවන බැවින් ප්‍රතිසන්‍ධි චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු චිත්තජ රූපයනට ප්‍රත්‍යය නො වෙති. තදාරම්මණ වශයෙන් හා භවාඞ්ග වශයෙන් ද ශෛක්‍ෂ්‍ය පෘථග්ජන ච්‍යුති වශයෙන් ද පවත්නා වූ මහා විපාක චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වෙති. අර්‍හන්තච්‍යුති චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට පමණක් ප්‍රත්‍යය වෙති.

කර්‍මජ රූපයන්ගේ සිත හා සම්බන්‍ධය ඇත්තේ ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පමණෙකි. ප්‍රතිසන්‍ධි චිත්තය ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන් ගේ බීජය ය. බීජයක් නැති ව අඞ්කුරයක් නො හටගන්නාක් මෙන් ප්‍රතිසන්‍ධි චිත්තය නො පහළ වුව හොත් කර්‍මජ රූපයෝ නූපදිති. ප්‍රතිසන්‍ධි චිත්තය හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ගේ බලවත් සම්බන්‍ධයක් ඇත්තේ ය. එ බැවින් දුබල වූ ද ප්‍රතිසන්‍ධි චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයනට ප්‍රත්‍යය වෙති. ප්‍රතිසන්‍ධියෙන් පසු සිත් උපනත් නූපනත් කර්‍මජ රූපයෝ නො නැවතී ම උපදිති. නිරෝධ සමාපත්තියට සමවන් තැනැත්තන් කෙරෙහි සිත නො මැති කල්හි දු අඩුවක් නැති ව කර්‍මජ රූපයන් උපදනා බව ප්‍රවෘත්ති කර්‍මජ රූපයන් ගේ සිත හා සබඳකමක් නැති බවට ශාක්‍ෂ්‍යයකි. ප්‍රවෘත්ති කර්‍මජ රූපයන් ගේ සිත හා සබඳකමක් නැති බැවින් ප්‍රවෘත්ති කාලයෙහි හේතූහු කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය නො වෙති. ප්‍රතිසන්‍ධි චිත්තය ආගන්තුක බැවින් ද දුබල වස්තුරූපයක් ඇසුරු කොට උපන් බැවින් ද දුබල ය. චිත්තය උත්පාදයේ දී බලවත් ධර්‍මයෙකි. රූපය ස්ථිතියේ දී බලවත් ධර්‍මයකි. ප්‍රතිසන්‍ධි චිත්තයෙන් අන්‍ය වූ සිත් උපදින්නේ ස්ථිතියට පැමිණීමෙන් බලවත් වූ වස්තූන් ඇසුරු කරමිනි. ප්‍රතිසන්‍ධි චිත්තයට ඇසුරු කොට ඉපදීමට කලින් උපන් වස්තුරූපයක් නැති බැවින් තමා සමග ම උපදනා වූ ස්ථිතියට නො පැමිණි දුබල වස්තු රූපය ඇසුරු කොට උපදී. දුබල බැවින් ප්‍රතිසන්‍ධි චිත්තය රූප ඉපදවීමට සමත් නො වේ. එ බැවින් ප්‍රතිසන්‍ධි චිත්ත සම්ප්‍රයුක්ත හේතූන් ගේ චිත්තජ රූපයනට ප්‍රත්‍යය වීමක් නැත.

ඇතැම් ආචාර්‍ය්‍යවරු සකල සත්ත්‍වයන් ගේ ම ච්‍යුති චිත්තය රූප නූපදවන ලෙස පිළිගනිති. බොහෝ ආචාර්‍ය්‍යවරුන් පිළිගන්නේ රහතුන්ගේ ච්‍යුති චිත්තය පමණක් රූප නූපදන ලෙස ය. පැරණියන් පට්ඨාන සන්නය ලියා තිබෙන්නේ ද රහතුන් ගේ ච්‍යුති චිත්තය පමණක් රූප නූපදවන හැටියට දක්වමිනි. අප ද මේ සන්නය පැරණි සන්නයක් අනුව ලියනු ලැබේ. මතු උපදනා සත්ත්‍වයා ගේ ච්‍යුති චිත්තය චිත්තපරම්පරාවේ අන්තිම සිත නොවේ. ච්‍යුතියෙන් පසු රහත්නට නැවන කොතැනක වත් සිතක් නූපදනා බැවින් අර්‍හන්ත ච්‍යුතිය සත්ත්‍වයකු ගේ චිත්ත පරම්පරාවේ අවසාන සිත ය. ඒ අවසාන සිතෙහි යම්කිසි විශේෂයක් තිබිය යුතු බව පිළිගත හැකි ය.

මහා ක්‍රියා චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු ද, මහද්ගත කුශල මහද්ගත ක්‍රියා සම්ප්‍රයුක්ත හේතූහු ද ලෝකෝත්තර චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු ද සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වෙති. ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වෙති. භවාඞ්ග ච්‍යුති කෘත්‍යවත් රූපාවචර විපාක සම්ප්‍රයුක්ත හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වෙති. අරූපාවචර විපාක සම්ප්‍රයුක්ත හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට පමණක් ප්‍රත්‍යය වෙති. මේ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න විභාගය දක්වන ලදුයේ පඤ්චවෝකාර භවයා ගේ වශයෙනි. චතුවෝකාර භූමිය රූප උපදනා තැනක් නො වන බැවින් එහි උපදනා චිත්තයන් හා සම්ප්‍රයුක්ත හේතූන් සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට පමණක් ප්‍රත්‍යය වන බව දත යුතු ය.

හෙතුපච්චයො යනුවෙහි වචනාර්‍ථ මෙසේ ය:- හිනොති පතිට්ඨාති එත්‍ථාති හෙතු මෙහි ඵලය පිහිටා නූයි හේතු නම් වේ. අධිකරණ සාධන විග්‍රහයි. හි ධාතුව කෙරෙන් ආධාරාර්‍ථයෙහි තු ප්‍රත්‍යය වී ඉකාරයට වෘද්ධි ව හේතු යනු සිද්ධයි. ඵල වූ සම්ප්‍රයුක්ත ධර්‍මයන් ගේ ස්ථිරව පිහිටීමට ස්ථාන වන ධර්‍මය හේතුව ය යනු අදහස යි. හිනොති පතිට්ඨාති එතෙනාති හෙතු එය කරණකොට ගෙන ඵලය ස්ථිර ලෙස පිහිටා නුයි හේතු නමි. කරණ සාධන විග්‍රහයි. හි ධාතුව කෙරෙන් කරණාර්‍ථයෙහි තු ප්‍රත්‍යය ව වෘද්ධිව සිද්ධයි. සම්ප්‍රයුක්ත ධර්‍මයන් ගේ ස්ථිරව පිිහිටීමට උපකාර වන ධර්‍මය හේතු නම් වේය යනු අදහසයි. වෘද්ධිය ය, ප්‍රවර්‍තතනය ය, ප්‍රතිෂ්ඨානය ය, හිංසනය ය, නාශනය ය යන හි ධාත්‍වථර්‍ පසෙන් මෙහි හි ධාතුව ප්‍රතිෂ්ඨානාර්‍ථයෙහි වේ.

‘වචනාවයවෙ මූලෙ කථිතො හෙතු කාරණෙ’

යනුවෙන් දැක්වෙන වචනාවයව ය, මූල ය, කාරණය යන හේතු ශබ්දාර්‍ථත්‍රයෙන් මෙහි හේතුශබ්දය මූලාර්‍ථයෙහි වේ. පටිච්ච එතස්මා එතී ති පච්චයො, එයින් ඵලය ඒ නුයි පච්චය නමි. අපාදාන සාධන විග්‍රහයි. පති යන උපසර්‍ගය පූර්‍ව කොට ඇති ඉ ධාතුව කෙරෙන් ණ ප්‍රත්‍යය වී ඉ කාරයට වෘද්ධි වී ආදේශ වී ති කාරයට ච කාරාදේශ හා ද්විත්‍ව ද වීමෙන් පච්චය යනු සිද්ධයි. යම්කිසි ඵලයක් ඇතිවීමට උපකාර වන්නා වූ ඵලය විසින් නො හරනා ලද්දා වූ දෙය පච්චය නම් වේ.

‘ණාදො සද්ධා චීවරාදී හෙත්‍වාධාරෙසු පච්චයො.’

යනුවෙන් දැක්වෙන ණාදිප්‍රත්‍යය ය, විශ්වාසය ය, චීවරාදිය ය, හේතුව ය, ආධාරය ය යන ප්‍රත්‍ය ය ශබ්දාර්‍ථ පස අතුරෙන් මෙහි ප්‍රත්‍යය ශබ්දය හේත්‍වථර්‍යෙහි හෙවත් කාරණාර්‍ථයෙහි වේ. හෙතු ච සො පච්චයො චා ති හෙතුපච්චයො. විශෙෂණොභයපද කර්‍මධාරය සමාස යි. මූලය ද වූ උපකාරක ද වූ ධර්‍මය හේතුපච්චය නම් වේ. හෙතු ය පච්චය ය යන දෙපදය ආධ්‍යහාර කරගතයුතු ධම්ම යන්නට විශේෂණ ය. හෙතු හුත්‍වා පච්චයො හෙතුපච්චයො. සම්භාවනා කර්‍මධාරය සමාසය යි. මූලය වී උපකාරක ධර්‍මය හේතුපච්චය නම් වේ. මූලභාවයෙන් උපකාරක ධර්‍මය හේතුපච්චය නම් වේය යනු අදහසයි.