ඉතා ගැඹුරු වූද ඉතා විශාල වූද මේ ප්‍රකරණයට එකවරකදීම සර්‍වාකාර පාරිශුද්ධියක් ඇති සන්නයක් නො සැපයිය හැකිය. පට්ඨානයට සන්නයක් සැපයීමේ ඇති දුෂ්කරත්‍වය කෙසේ කීවද පට්ඨානය නොදන්නවුන් හට වැටහෙන්නේ නොවේ. මේ පට්ඨාන පකරණය ලොවුතුරා බුදුවරයන්ගේ නුවණට පමණක් ගැලපෙන සෙස්සනට අවිෂය ග්‍රන්ථයකි. එහි ඇත්තේ නුවණ මඳ අප වැනි අයට හිසරදය ඇති කරන විද්‍යාවකි. මේ සන්නයෙහි ඇති සෑම වචනයක් ම සෑම කරුණක් ම තවත් කරුණු සිය ගණනකට තුඩු දෙන තවත් කරුණු සිය ගණනක් හා සම්බන්ධය ඇති ඒවා ය. එබැවින් මේ සන්නය ලිවීමේදී සෑම වචනයක්ම සෑම කරුණක් ම ලියන්නට සිදුවූයේ තවත් සිය ගණන් කරුණු දෙස බලාගෙන ඒවාටද විරුද්ධ නොවන පරිදිය., නිරතුරුවම සිහියෙන් යුක්තවිය නොහෙන බැවින් එසේ කිරීමේදී තැනින් තැන යම් යම් අඩුපාඩු හා වැරදිත් ඇතිවිය හැකි ය. මෙය සම්පූර්‍ණයෙන් ශුද්ධත්‍වයට පැමිණීමට නම් නැවත නැවත පරීක්‍ෂා කොට කීපවාරයක් සංස්කරණය කළ යුතු ය. එහෙත් මේ විශාල ග්‍රන්ථය නැවත නැවත කීපවාරයක් කියවා පරීක්‍ෂා කිරීමට අපට කලක් නැත. සෝමාවතී මුණසිංහ මැතිනිය විසින් පළමුවෙනි වරට මුද්‍රණය කරවූ පට්ඨාන සන්නය අප විසින් ලියන ලද මුල් කොපිය ය. සංස්කරණය සඳහා එය නැවත පරීක්‍ෂා කිරීමට අවස්ථාවක් අපට නො ලැබිණි. පළමුවර පොත මුද්‍රණය කරවූ අප ශිෂ්‍යාවක් වූ සෝමාවතී මුණසිංහ මැතිනිය ඒ පොත නැවත නැවත පරීක්‍ෂා කර බලා සංස්කරණය කළ යුතු තැන් අපට සලකුණු කරදෙන ලදි. ඒ තැන් අප විසින් පරීක්‍ෂාකර සංස්කරණය කරන ලදි. එබැවින් මේ ද්විතීය මුද්‍රණය ප්‍රථම මුද්‍රණයට වඩා ශුද්ධ බව කිය යුතු ය. මේ පොත පළමුවෙන් මුද්‍රණය කරවීමේදී ඒ සඳහා ගෙන්වා තුබූ කරදාසි අවසන් වී යාම නිසා එයට ඇතුළත් කරන්නට නුපුළුවන් වී ඉතිරිව තුබූ කොටසක් ද මේ දෙවන මුද්‍රණයට ඇතුළත් කර ඇත්තේය. එබැවින් මේ පොත පළමු මුද්‍රණය කරවූ පොතට පිටු 84 කින් වැඩි බව ද සැලකිය යුතු ය.
මේ ග්‍රන්ථය දෙවන වරට මෙසේ මුද්‍රණය කරවන ලදුයේ කොළඹ මෙට්ලන්ඩ් ක්‍රෙන්සට් මාවතේ පෙනන්ලොජි නමැති මන්දිරයෙහි වෙසෙමින් සිය ධනයෙන් බොහෝ ලෝසසුන් වැඩ කරන සැදැහැවත් බෞද්ධ කාන්තාවක් වූ සෝමාවතී හේවාවිතාරණ මැතිනිය විසිනි. ඇය විසින් මෙය මුද්‍රණය කරවන ලදුයේ ඇගේ පියාණන් වු නිධනප්‍රාප්ත සද්ගුණවත් දොන්. තියදෝරිස් වික්‍රමසිංහ ගුණතිලක හල්ලල රාලහාමිට හා ආදරණීය මෑණියන් වූ පරලෝ සැපත් ඇනා දිමිටි මනම්පේරි මැතිනියට ද ආදරණීය සහෝදරයකු වූ ඇඩ්වින් වික්‍රමසිංහ ගුණතිලක මහතාට ද සිය ධනයෙන් ත්‍රිපිටක මුද්‍රණයක් පිහිටවීම් ආදියෙන් බොහෝ ලෝ සසුන් වැඩ කොට ස්වර්‍ගප්‍රාප්ත ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතාට ද මේ පින අනුමෝදන් කරවනු පිණිස මේ අගනා දහම් පොත මුද්‍රණය කරවීමේ කුසලයෙන් සෝමාවතී හේවාවිතාරණ මැතිණිය හා පරලෝ සැපත් එතුමියගේ ඤාතීහු බුද්ධාදි මහෝත්තමයන් විසින් පැමිණ වදාළ පරමසුන්දර සර්‍වකාලික ලෝකෝත්තර නිර්‍වාණයට පැමිණෙත්වා.
මෙම මුද්‍රණයේදී අභිධර්‍මාචාර්‍ය්‍ය බේන්දළුවේ ධීරානන්‍ද ස්ථවිරයන් විසින් ශෝධ්‍යපත්‍රාවලෝකනය කරදීමෙන් මේ සත්කෘත්‍යයට සහාය වූ බව ද මතක් කරමු.
චිරං තිට්ඨතු සද්ධම්මො
මීට, ශාසනස්ථිතිකාමි
රේරුකානේ චන්දවිමල මහාස්ථවිර
2499/1955 දෙසැම්බර් මස 9 වෙනි දින
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදීය.