12. ආසේවන ප්‍රත්‍යය

star_outline

යම්කිසි වස්තුවක කලින් ගල්වා තිබෙන සායම එය මතුයෙහි නැවත ගල්වන ඒ වර්‍ගයේ සායමට පැහැපත් වීමට උපකාර වන්නාක් මෙන් අනතුරු ව උපදනා තමා ගේ ජාතියේ සිත තමා ගේ කුශලාදි ස්වභාවය ගෙන, වඩා බලවත් වීමට උපකාර වන සිත ආසේවන ප්‍රත්‍යය ය. තමා ගේ ස්වභාවය අනන්තර චිත්තයට දෙන බව හා අනන්තර චිත්තයට තමා ගේ ස්වභාවය ගන්වන බව ආසේවන ශක්තිය ය. තමා ගේ ස්වභාවය අනන්තර චිත්තට ගැන්වීමේ ශක්තිය ඇත්තේ ද අතීත චිත්තයේ ස්වභාවය ගෙන, වඩා බලවත් වීමේ ශක්තිය ඇත්තේ ද උත්සාහයෙන් යුක්ත වන බලවත් චිත්තයන්ට ය. ඔව්හු නම් ජවන චිත්තයෝ ය. අජවන චිත්තයෝ දුබලයෝ ය. ඔව්හු තමා ගේ ස්වභාවය අනන්තර චිත්තයනට ගැන්වීමට සමත් නොවෙති. අතීත චිත්තයේ ස්වභාවය ගැනීමට ද සමත් නො වෙති. ලෝකෝත්තර ඵලචිත්තයෝ ජවනයන් වුව ද විපාක බැවින් ආසේවන ප්‍රත්‍යය නො වෙති. විපාක චිත්තයන් ගේ බලවත් බව හෝ දුබල බව කර්‍මානුරූපව සිදුවන්නකි. එ බැවින් ඔව්හු තමා ගේ ස්වභාවය අපර චිත්තයට ගන්වන්නාහු ද පූර්‍ව චිත්තයේ ස්වභාවය ගන්නාහු ද නො වෙති. එ බැවින් එකිනෙකට අනතුරු ව උපදනා භවාඞ්ග චිත්තයේ ආසේවන ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න භාවයට නොපැමිණෙති. සමහර වීථිවලදී ආවර්‍ජන චිත්තය ව්‍යවස්ථාපන කෘත්‍යයෙන් කීප වාරයක් උපදී. එහෙත් එය දුබල වූ අජවන චිත්තයක් වන බැවින් ආසේවන ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න භාවයට නො පැමිණේ.

“කුශලාකුශලවිපාක ක්‍රියා යන සතර ජාතියට අයත් චිත්තයන් ගෙන් විපාක චිත්තයේ ආසේවන ප්‍රත්‍යය නො වෙති. ඉතිරි ජාති තුනට අයත් චිත්තයන් ගෙන් ද එක් ජාතියක සිතක් අන් ජාතියක සිතකට ආසේවන ප්‍රත්‍යය නො වේ. එක ම ජාතියේ සිත්වලින් ද එක් වේදනාවකින් යුක්ත සිත ඒ වේදනාවෙන් යුක්ත සිතට ම මිස අන් වේදනාවකින් යුක්ත සිතකට ආසේවන ප්‍රත්‍යය නො වේ. කාමාවචර ය, රූපාවචර ය, අරූපාවචර ය, ලෝකෝත්තර ය යන භූමිභේදය ආසේවන ප්‍රත්‍යය නොලැබීමට කරුණක් නො වේ. ආරම්මණ භේදය ද ආසේවන ප්‍රත්‍යය නො ලැබීමට කරුණක් නො වේ. කාමාවචර චිත්තය රූපාවචරාරූපාවචර ලෝකෝත්තර චිත්තයන්ට ද සමහර තැනක ආසේවන ප්‍රත්‍යය වේ. සංස්කාරයන් අරමුණු කරන අනුලෝම චිත්තය නිර්‍වාණය අරමුණු කරන ගෝත්‍රභූ චිත්තයට ආසේවන ප්‍රත්‍යය වේ.

ත්‍රිරාශියෙහි අනියමින් කියැවෙන ආසේවන ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් ගේ ක්‍රමය මෙසේ ය. කාමාවචර කුශල චිත්තය තමාට අනතුරු ව උපදනා වූ වේදනා වශයෙන් අභින්න වූ කාමාවචර කුශලයට ආසේවන ප්‍රත්‍යය වේ. එහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයෝ වේදනා වශයෙන් තමන් හා සමාන වූ රූපාවචරාරූපාවචර ලෝකෝත්තර කුශල චිත්තයන්ට ද ප්‍රත්‍යය වෙති. රූපාවචර කුශලයෝ තමන් හා සමාන අරූපාවචර කුශලයන්ටද ආසේවන ප්‍රත්‍යය වෙති. ලෝකෝත්තර කුශල චිත්තයකට අනතුරු ව ලෝකෝත්තර කුශල චිත්තයක් නූපදනා බැවින් ඔව්හු කිසිවකට ආසේවන ප්‍රත්‍යය නො වෙති. අකුසල චිත්තයෝ වේදනාදී වශයෙන් තමන් හා සමාන වූ අකුශල චිත්තයන්ට ම ආසේවන ප්‍රත්‍යය වෙති. කාමාවචර ක්‍රියා චිත්තයෝ වේදනාදි වශයෙන් තමන් හා සමාන වූ කාමාවචර ක්‍රියා චිත්තයන්ට ප්‍රත්‍යය වෙති. එහි ඥාන සම්ප්‍රයුක්ත චිත්තයෝ වේදනා වශයෙන් තමන් හා සමාන වූ රූපාවචරාරූපාවචර ක්‍රියා චිත්තයන්ට ද ආසේවන ප්‍රත්‍යය වෙති. රූපාවචර ක්‍රියා චිත්තයෝ තමන් හා සමාන වූ රූපාවචර ක්‍රියා චිත්තයන්ට ආසේවන ප්‍රත්‍යය වෙති. අරූපාවචර ක්‍රියා චිත්තයෝ තමන් හා සමාන අරූපාවචර ක්‍රියා චිත්තයනට ප්‍රත්‍යය වෙති. කුශලාදීන් අතුරෙන් ආසේවන ප්‍රත්‍යය ලැබූ චිත්තයෝ නො ලැබූ චිත්තයන්ට වඩා බලවත් වෙති.

ආ පුනප්පුනං සෙවතී ති ආසෙවනං කර්‍තෘ සාධන විග්‍රහ යි. ආ පූර්‍ව සි සෙවායං යන ධාතුව කෙරෙන් යු ප්‍රත්‍යය ව වෘද්ධිව වකාරා ගම ව ආසෙවන ක්‍රියා වේ. ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය නැවත නැවත සේවනය කරන්නේ ආසේවන නමි. ආපුනප්පුනං සෙවිතබ්බන්ති ආසෙවනං කර්‍මසාධන විග්‍රහ යි. ප්‍රත්‍යයෝත්පන්නයා විසින් නැවත නැවත සේවනය කරනු ලබන්නේ ආසේවන නමි. ආසේවන ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න දෙක ඒකක්‍ෂණයෙහි නො ලැබෙන බැවින් ඒ ධර්‍මයන් ගේ ඒකාන්තයෙන් අන්‍යෝන්‍ය සේවනයක් නැත. එහෙත් අපරචිත්තය පූර්‍වචිත්තයා ගේ ස්වභාවය ඒකාන්තයෙන් ම ගෙන උපදනා බැවින් ඒ ප්‍රත්‍යප්‍රත්‍යයෝත්පන්නයන් ගේ අන්‍යෝන්‍ය සේවනයක් ඇතුවාක් වැනි වේ. එ බැවින් ඒ ප්‍රත්‍යයට ආසේවන යන නාමය දී තිබේ.