21-22-23-24. අස්ති නාස්ති විගතා විගත ප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

“චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං අත්‍ථි පච්චයෙන පච්චයො” යනාදියෙහි, පදාර්‍ථ උක්තානුසාරයෙන් දත හැකිය. “චත්තාරො ඛන්‍ධා අරූපිනො” යනාදීන් සහජාත වශයෙන් අස්ති ප්‍රත්‍යය ප්‍රකාශිත ය. “චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා” යනාදියෙන් පුරේජාත වශයෙන් අස්ති ප්‍රත්‍යය ප්‍රකාශිත ය. “යං රූපං නිස්සාය, මනොධාතු ච මනො විඤ්ඤාණ ධාතු ච වත්තන්ති” යනාදියෙන් සහජාත පුරේජාත වශයෙන් අස්ති ප්‍රත්‍යය දැක්විණ. පශ්චාජ්ජාත ආහාර ඉන්‍ද්‍රිය වශයෙන් ද අස්ති ප්‍රත්‍යය ලැබෙන නමුත් ඒවා මෙහි වදාරා නැත්තේ මෙය සාවශේෂ දේශනයක් බැවිනි. “පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රිය වසෙනා පි අත්‍ථිපච්චයො ලබ්භති, ඉධ පන සාවසෙස වසෙන දෙසනා කතා”ති යනු අටුවා යි.

නාස්තිප්‍රත්‍යය නිර්‍දෙශයෙහි පදාර්‍ථ.

සමනන්තර නිරුද්ධා, අන්‍ය චිත්තොත්පාදයකින් අතරක් නො වී තමන් ගේ උත්පත්තියට ළඟින් ම නිරුද්ධ වූ: චිත්ත චෙතසිකා, චිත්ත චෛතසික වූ: ධම්මා, අර්‍හන්තච්‍යුතිවර්ජිත එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන නාමස්කන්‍ධයෝ: පටුප්පන්නානං, වර්‍තමාන වූ: චිත්ත චෙතසිකානං, චිත්ත චෛතසික වූ: ධම්මානං, අර්‍හන්තච්‍යුතිය සහිත වූ එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන ධර්‍මයන්ට: නත්‍ථි පච්චයෙන පච්චයො.

එහි කර්‍තෘපාඨයෙන් අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍ව පූර්‍ව චිත්ත චෛතසිකයන් ද, සම්ප්‍රදාන පාඨයෙන් අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම චිත්ත චෛතසිකයන් ද, කරණපාඨයෙන් සුදුසු පරිදි එක් වර ලැබෙන නත්‍ථි, අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, කම්ම, විගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් අස්තිසඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද දැක්වූ සේක.

විගත ප්‍රත්‍යය නාස්ති ප්‍රත්‍යය අනුව විස්තර කරනු. අවිගත ප්‍රත්‍ය අස්ති ප්‍රත්‍යය අනුව විස්තර කරනු.

ප්‍රත්‍යය නිර්‍දෙශ වර්‍ණනාව නිමි.