කුසලෙන කුසලයෙහි හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුශලචිත්තක්‍ෂණයන් ගෙන් එක එකක ඇති විතක්ක විචාර පීති ඒකග්ගතා වේදනා යන ධ්‍යානාඞ්ග ධර්‍මයන්ගේ ධ්‍යාන ශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතය හා කුසලෙන කුසලාබ්‍යාකතය ද සහජාතය මෙන් දන්නේ ය. හේතුපාඨාභිධෙය වශයෙන් ධ්‍යානාඞ්ගධර්‍මයන් ගේ ධ්‍යාන ශක්තිය ගන්නේ ය. අකුසලෙන අකුසලය ද සහජාතය මෙනි. හේතුපාඨයෙන් අකුශලචිත්තක්‍ෂණයන්හි ඇති ධ්‍යානාඞ්ග ධර්‍ම පසෙහි ධ්‍යානශක්තිය ගන්නේ ය. අකුසලෙන අබ්‍යාකතය අකුසලෙන අකුසලාබ්‍යාකතය ද වුක්තානුසාරයෙන් දත යුතු. හේතුපාඨයෙන් ධ්‍යානාඞ්ගධර්‍ම පස ගන්නේ ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ද්විපඤ්චවිඥානයෙන් අන්‍ය වූ විපාක සිත් සවිස්ස ය, ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විපාකසිත් සවිස්ස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය. ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග ධර්‍ම පසෙහි ධ්‍යාන ශක්තිය ලැබේ.
ප්‍රතිසන්‍ධිකාලයෙහි අභිධෙය සහජාතය අනුව ගන්නේ ය. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත්රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිචිත්තක්‍ෂණ එකුන් විස්සෙහි ඇති ධ්‍යානාඞ්ග ධර්‍මයන් ගේ ධ්‍යානශක්තිය ලැබේ.
ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජමහාරූපයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා සුදුසු පරිදි උපදනා කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාකක්‍රියා එක් එක් චිත්තක්‍ෂණයක අති ධ්‍යානාඞ්ගධර්‍මයන් ගේ ධ්‍යානශක්තිය ලැබේ.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙක සහජාතයෙහි මෙන් දත යුතු. හේතුපාඨයෙන් ධ්‍යානාඞ්ග ධර්‍මයන්ගේ ධ්‍යානශක්තිය ගන්නේ ය.
ධ්‍යාන ප්‍රත්‍යය විභඞ්ගය නිමි.