පුරේජාත විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා කුසල් සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම කුශලනාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව ය, මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා හෘදය වස්තුව ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ වස්තු පුරේජාත ශක්තිය ලැබේ.
අකුසලෙන අකුසලයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ කර්‍තෘපාඨයෙන් ලැබෙත්. හේතුපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම අකුසල චිත්තයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව ය, මරණාසන්න අකුශල ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව ය යන මොවුන් ගේ වස්තුපුරේජාත ශක්තිය ලැබේ.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත විපාක දෙතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විපාක සිත් දෙතිස ය ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය පුරේජාත නිස්සය අනුව දන්නේ ය.
පුරේජාත විභඞ්ගය නිමි.
විශේෂ කරුණු
මෙහි “වත්‍ථුං පුරේජාත පච්චයා” යි වස්තු පුරේජාතය පමණක් දේශිත ය, ආරම්මණ පුරේජාතය අදේශිත ය, එයට හේතුව පඤ්චවිඥාන ධාතූන්ට පඤ්චාරම්මණය පුරේජාත ප්‍රත්‍යය වන්නාක් මෙන් අතීතානාගතය ද අරමුණු කරන මනෝවිඥාන ධාතුවට නියමයෙන් ආරම්මණපුරේජාතප්‍රත්‍යය නොලැබීමය. “ආරම්මණං පන නියමතො පුරේජාත පච්චයභාවං න ලබ්භති. රූපායතනාදීනි හි චක්ඛුවිඤ්ඤාණාදීනං යෙව පුරේජාත පච්චයතං සාධෙන්ති, මනෝවිඤ්ඤාණධාතුයා පන අතීතානාගතානි පි ආරම්මණාහොන්ති යෙව තස්මා ඉධ න ගහිතං” යනු අටුවා යි.
පශ්චාජ්ජාත ප්‍රත්‍යය මේ විභඞ්ගවාරයෙහි වදාරා නැත. එයට හේතුව එය ජනකප්‍රත්‍යයක් නොවීම ය, “පච්ඡාජාතො කුසලාකුසලානං පච්චයො න හොති අබ්‍යාකතස්සා පි උපත්‍ථම්භකො ව, න ජනකො. තස්මා උප්පජ්ජති පච්ඡාජාත පච්චයා ති එවං න වත්තබ්බා” පශ්චාජාත වශයෙන් නාම ධර්‍මයන් ප්‍රත්‍යය වන්නේ උපන් රූප ධර්‍මයනට ය. එබැවින් “කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති පච්ඡාජාත පච්චයා” යි නො වදාළ හැකි ය.