8. නිඃශ්‍රය ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

නිඃශ්‍රය ප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලය සහජාතය අනු ව විස්තර කරනු. පුරේජාත නිඃශ්‍රයයෙහි හේතුපදයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ පශ්චිම පශ්චිම කුසල් සිත් එක් විස්සට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව ය, මරණාසන්න කුසලජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව ය යන මොවුන් ගේ පුරේජාත නිඃශ්‍රය ශක්තිය ලැබේ. කුසලෙන අබ්‍යාකතය සහජාතය මෙනි. කුසලෙන කුසලාබ්‍යාකතයෙහි ද සහජාත ය අනුව අභිධෙය අවුලනු. හේතුපදාභිධෙය සහජාත නිඃශ්‍රයෙහි සහජාතයෙහි මෙන් අවුලනු. පුරේජාත නිඃශ්‍රයයෙහි හේතු පදයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම කුසල් සිත් එක්විස්සට ප්‍රත්‍යය වන හෘදය වස්තුව ය මරණාසන්න කුසල ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුව ය යන මොවුන් ගේ පුරේජාත නිඃශ්‍රය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

අකුසලෙන අකුසලෙහි සහජාතනිඃශ්‍රය වශයෙන් අභිධෙය සහජාතයෙහි මෙනි. පුරේජාත නිඃශ්‍රය වශයෙන් හේතුපදයේ අභිධෙය මෙසේ ය. පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ පශ්චිම පශ්චිම අකුසල චිත්තයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව හා මරණාසන්න අකුශල ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හෘදය වස්තුව ද යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ පුරේජාත නිඃශ්‍රය ශක්තිය හේතුපදයෙන් ලැබේ. අකුසලෙන අබ්‍යාකතය සහජාතය මෙනි. අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි ද වුක්තානුසාරයෙන් අභිධෙය අවුලනු.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අභිධෙය වුක්තානුසාරයෙන් අවුලනු. හේතුපාඨයේ අභිධෙය සහජාත නිඃශ්‍රයයෙහි සහජාතයෙහි මෙන් අවුලනු. පුරේජාත නිඃශ්‍රය වශයෙන් මෙසේ ය. චක්‍ෂුර්විඥාන ද්වයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක චක්‍ෂුවස්තුව ය, -පෙ- කායවිඥාන ද්වයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක කාය ප්‍රසාදය ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත පශ්චිම පශ්චිම වූ විපාකසිත් දෙවිස්ස ය ක්‍රියා සිත් විස්සය යන මොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව ය මරණාසන්න කාලයෙහි පඤ්චවෝකාර භවාඞ්ග පසළොස ය, ආවර්ජන දෙක ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, ව්‍යවස්ථාපනය ය, මරණාසන්න ජවන පස ය තදාරම්මණ ය චුතිය ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ච්‍යුතියෙන් සතළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව ය යන මොවුන් ගේ පුරේජාත නිඃශ්‍රය ශක්තිය හේතුපදයෙන් ලැබේ. ප්‍රතිසන්‍ධිවාරය හා ශුද්ධරූපවාරය ද සහජාතය අනුව දත යුතු ය. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතවාරය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකත වාරය ද සහජාතය අනුව දත යුතු.

නිඃශ්‍රය ප්‍රත්‍යය විභඞ්ගය නිමි.