[ශුද්ධ සඞ්ඛ්‍යාවාරය]

star_outline

විභඞ්ගවාරයට අනතුරුව සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එය ද ශුද්ධ සඞ්ඛ්‍යාවාර දුකාදි සඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමුකොට වදාළ සේක. එය ද හේතුප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරාදි වශයෙන් තෙවිසි වැදෑරුම් වේ. එයින් හේතුප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යා වාරය පළමු කොට වදාළ සේක. ඒ මෙසේ ය. සහේතුක සිත් එක් සත්තෑව ය, මෝහමූලද්වයයෙහි මෝහවර්ජිත චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයේා ය සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ඒ ධර්‍මයන් මේ අනුලෝම නයයෙහි නයයට අනුව ද වාරයට අනුව ද ත්‍රිකපදයට අනුව ද කර්‍මකර්‍තෘ වීම අනුව ද “හෙතුයා නව” යි වදාළ සේක. හේතුප්‍රත්‍යයෙහි විසර්ජනා නවයක් ලැබේය යන අර්‍ථ යි.

එහි ‘නව’ යනු කුසලෙන කුසලය ය, කුසලෙන අබ්‍යාකතය ය, කුසලෙන කුසලාබ්‍යාකතය ය, අකුසලෙන අකුසලය ය, අකුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අකුසලාබ්‍යාකතය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන වාර නවය ය.

කුසලෙන කුසලයෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. කුසලං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා, තයො ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා” යි ඉදිරිය යුතුය. මෙසේ පිළිවෙලින් අභිධෙය අවුලා විභඞ්ග උදුරමින් සියල්ල විස්තර කරනු.

හේතුප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරයට අනතුරුව ආරම්මණ ප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණ ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ඒ ධර්‍මයන් මේ අනුලෝම යෙහි නයයට අනුව ද, වාරයට අනුව ද ත්‍රිකපදයට අනුව ද කර්‍මකර්‍තෘවීම අනුව ද “ආරම්මණෙ තීණි” යි වදාළ සේක. එහි “තීණි”, යනු කුසලෙන කුසලය ය, අකුසලෙන අකුසලය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය, කර්‍තෘපදයන් ගේ අභිධෙය අවුලා වීථිවිභඞ්ග දක්වමින් විස්තර කරනු.

ආරම්මණ ප්‍රත්‍යය ශුද්ධසඞ්ඛයාවාරයට අනතුරු ව අධිපති ප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරය වදාළ සේක. අධිපති වන ධර්‍මයෙන් අන්‍ය වූ දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය සාධිපති චිත්තජ රූපයෝ ය යන මොව්හු අධිපති ප්‍රත්‍යයෝත්පන්නයන් වන ධර්‍මයෝ ය. ඒ ධර්‍මයන් මේ අනුලෝමයෙහි නයයට අනුව ද වාරයට අනුව ද තික පදයට අනුව ද කර්‍මකර්‍තෘ වීම අනුව ද “අධිපතියා නව” යි වදාළ සේක. “අධිපතිප්‍රත්‍යයයෙහි විස්සර්ජනාවාර නවයක් වේය” යනු අර්‍ථ යි.

එහි “නව” යනු කුසලෙන කුසලය ය, කුසලෙන අබ්‍යාකතය ය, කුසලෙන කුසලාබ්‍යාකතය ය, අකුසලෙන අකුසලය ය, අකුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අකුසලාබ්‍යාකතය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය. අභිධෙය දක්වමින් විභඞ්ග උදුරනු.

අනන්තර ශුද්ධසඞ්ඛ්‍යා වාරයෙහි සියලු එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනන්තර ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- “අනන්තරෙ තීණි” යි වදාළ සේක. සමනන්තරය ද එසේ ම ය.

සහජාත ශුද්ධසඞ්ඛ්‍යා වාරයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය යන මොවුහු සහජාත ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- “සහජාතෙ නව” යි වදාළ සේක. විස්තර කරනු.

අන්‍යෝන්‍ය ශුද්ධසඞ්ඛ්‍යා වාරයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුවය, හෘදයවස්තුවෙන් ප්‍රත්‍යය ලබන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජාදි මහාභූතයෝ ය යන මොහු අන්‍යොන්‍ය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- “අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාළ සේක.

නිඃශ්‍රය ශුද්ධසඞ්ඛ්‍යාවාරය සහජාතය මෙන් විස්තර කරනු. උපනිඃශ්‍රය ශුද්ධසඞ්ඛ්‍යාවාරය ආරම්මණයෙහි මෙන් විස්තර කරනු. පුරේජාත ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ පුරේජාතප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- පුරෙජාතෙ තීණි” යි වදාළ සේක.

ආසේවන ශුද්ධසඞ්ඛ්‍යා වාරයෙහි ප්‍රථමජවන ඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම එක්පනස් ජවන නාමස්කන්‍ධයෝ ආසේවන ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- “ආසෙවනෙ තීණි” යි වදාළ සේක.

කර්‍ම ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිතසකලප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය යන මොහු කර්‍මප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- “කම්මෙ නව” යි වදාළ සේක.

විපාක ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, විපාක චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොහු විපාක ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- විපාකෙ එකං.

ආහාර ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සකලප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, ආහාරජ රූපයෝ ය යන මොහු ආහාර ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ආහාරෙ නව.

ඉන්‍ද්‍රිය ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, රූප ජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍ව කර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොහු ඉන්‍ද්‍රියප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ඉන්‍ද්‍රියෙ නව.

ධ්‍යාන ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ද්විපඤ්චවිඥානයන් ගෙන් අන්‍ය වූ සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොහු ධ්‍යාන ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ඣානෙ නව.

මාර්‍ග ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සහේතුක සිත් එක්සැත්තෑව ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොහු මාර්‍ගප්‍රත්‍යයෝත්පන්නයෝ ය. මග්ගෙ නව.

සම්පයුත්ත ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝත්පන්නයෝ ය. සම්පයුත්තෙ තීණි.

විප්‍රයුක්ත ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි අරූපචිත්ත වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොව්හු විප්‍රයුක්ත ප්‍රත්‍යයෝත්පන්නයෝ ය, විප්පයුත්තෙ නව.

අස්තිප්‍රත්‍යයේ ශුද්ධ සඞ්ඛ්‍යාවාරය සහජාතයෙහි මෙන් විස්තර කරනු. අත්‍ථියා නව. නාස්තිප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරය ආරම්මණයෙහි සේ විස්තර කරනු. නත්‍ථියා තීණි. විගතශුද්ධවාරය ද ආරම්මණයෙහි මෙන් විස්තර කරනු. විගතෙ තීණි. අවිගත ශුද්ධසඞ්ඛ්‍යාවාරය සහජාතයෙහි මෙන් විස්තර කරනු. අවිගතෙ නව. ශුද්ධ සඞ්ඛ්‍යාවාරය නිමි. හේතුයා නව, ආරම්මණෙ තීණි යනාදි පාලිය ප්‍රගුණ කර ගත යුතුය.