3. අධිපතිප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

ආරම්මණප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව අධිපතිප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. නිර්දිශිතව්‍ය නිදර්‍ශනාකාර විභාගය පෙර පරිදි සෑම තන්හි ම කරනු. මතු ප්‍රත්‍යයන්හි එය නොදක්වනු ලැබේ.

පදාර්‍ථ:

අධිපතිපච්චයොති, අධිපතිපච්චයො යන උද්දෙශයා ගේ නිර්‍දෙශය මෙසේ ය: ඡන්‍දාධිපති, ඡන්‍දසඞ්ඛ්‍යාත අධිපති ධර්‍මය තෙමේ ඡන්‍දසම්පයුත්තකානං, ඡන්‍දය හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානඤ්ච, සාධිපතිජවන දෙපනස ය, ඡන්‍දවිචිකිත්සා වර්ජිත චෛතසික පනස ය යන මේ ධර්‍මයන්ට ද; තංසමුට්ඨානානං, ඒ ඡන්‍දය හා ඡන්‍දසම්ප්‍රයුක්ත ධර්‍මයන් උත්පත්ති හේතුකොට ඇත්තා වූ; රූපානඤ්ච, සාධිපතිචිත්තජරූපයන්ට ද; අධිපතිපච්චයෙන, සහජාතාධිපති ශක්තියෙන්; පච්චයො, උපකාරක වේ.

චිත්තාධිපති, චිත්තාධිපතිය; චිත්තසම්පයුත්තකානං, චිත්තය හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානං, විචිකිත්සාවෙන් අන්‍ය චෛතසිකයන් එක්පනස් දෙනාහට ද; තංසමුට්ඨානානං, ඒ චිත්තාධිපතිය හා චිත්තාධිපති සම්ප්‍රයුක්ත ධර්‍මයන් උත්පත්ති හේතු කොට ඇත්තා වූ; රූපානඤ්ච, සාධිපතිචිත්තජ රූපයන්ට ද; අධිපති පච්චයෙන පච්චයො.

විරියාධිපති, වීර්‍ය්‍යාධිපතිය; විරියසම්පයුත්තකානං, වීර්‍ය්‍යය හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානං, සාධිපතිජවනදෙපනස ය, වීර්‍ය්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික පනස ය යන ධර්‍මයන් හට ද; තංසමුට්ඨානානං, ඒ වීර්‍ය්‍යාධිපතිය හා වීර්‍ය්‍යාධිපතිසම්ප්‍රයුක්තධර්‍මයන් උත්පත්ති හේතු කොට ඇත්තා වූ; රූපානඤ්ච, සාධිපතිචිත්තජ රූපයන්ට ද; අධිපතිපච්චයෙන පච්චයො.

වීමංසාධිපති, වීමංසාධිපතිය; වීමංසසම්පයුත්තකානං, වීමංසාධිපතිය හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානං, ත්‍රිහේතුක සාධිපතිජවන සූතිස ය, වීමංසයෙන් අන්‍ය වූ චෛතසික සත්තිස ය යන මොවුන්ට ද; තංසමුට්ඨානානං, ඒ වීමංසය ද වීමංසය හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද උත්පත්ති හේතු කොට ඇත්තා වූ; රූපානං ච, සාධිපතිචිත්තජ රූපයන්ට ද; අධිපතිපච්චයෙන පච්චයො.

යංයං ධම්මං, යම්යම් ආරම්මණ ධර්‍මයක්; ගරුං කත්‍වා, ගරු කොට; යෙයෙ ධම්මා, යම් යම් ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මකෙනෙක්; උප්පජ්ජන්ති. උපදිත් ද; චිත්තචෙතසිකා, චිත්තචෛතසික වූ; ධම්මා, ධර්‍මයෝ වෙත් ද; තෙතෙ ධම්මා, ඒ ඒ ෂඩාරම්මණ ප්‍රත්‍යය ධර්‍මයෝ; තෙසං තෙසං ධම්මානං, ඒ ඒ ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන්හට; අධිපති පච්චයෙන, ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන්; පච්චයො, උපකාරක වේ.

අභිධෙයාර්‍ථ:

ඒ පාඨයන් අතුරෙන් අධිපතිපච්චයො ති යන පාඨායෙන් නිර්දිශිතව්‍යය දැක්වූ සේක. ඡන්‍දාධිපති -පෙ- පච්චයො යන පාඨයෙන් නිදර්‍ශනාකාරය දැක්වූ සේක.

නිදර්‍ශනාකාර පාඨයෙහි ඡන්‍දාධිපති යන කර්‍තෘපාඨයෙන් සාධිපති ජවන දෙපනසෙහි ඇති ඡන්‍දාධිපති ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක.

ඡන්‍දසම්පයුත්තකානං -පෙ- රූපානං යන සම්ප්‍රදානපාඨයෙන් සාධිපතිජවන දෙපනස ය, ඡන්‍ද විචිකිත්සා වර්ජිත චෛතසික පනස ය, සාධිපතිචිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම සමූහය දැක්වූ සේක.

අධිපතිපච්චයෙන යන කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබිය හැකි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් අධිපති සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් ප්‍රත්‍යවීම දැක්වූ සේක.

නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඡන්‍දාධිපතිය වේ නම්, අධිපති, සහජාත, නිස්සය. අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් අධිපති සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ඡන්‍දාපතිය වේ නම් අඤ්ඤමඤ්ඤ සම්පයුක්ත යන ශක්ති දෙක ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සතෙන් අධිපතිසඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාරවීම ද,

සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඡන්‍දාධිපති වේ නම් විප්‍රයුක්තශක්තිය ද සමග සයක් වූ ප්‍රත්‍යය ශක්තීන් ගෙන් අධිපති ශක්ති සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද (මේ අවිපාක ඝටනා තුන ය.)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි ඇති ඡන්‍දාධිපති වේ නම්, අධිපති, සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන සයක් වූ ශක්තීන් අතුරෙන් අධිපති ශක්ති සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍ය්‍ය වන ඵසිත් සතරෙහි වූ ඡන්‍දාධිපතිය වේ නම්, අන්‍යෝන්‍යසම්ප්‍රයුක්ත ශක්ති දෙක ද සහිත වූ අටක් වූ ප්‍රත්‍යය ශක්තීන්ගෙන් අධිපති ශක්ති සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද,

සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වූ ඡන්‍දාධිපතිය වේ නම්, විප්‍රයුක්තශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සතෙන් අධිපතිශක්ති සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද “අධිපතිපච්චයෙන” යන කරණපාඨයෙන් දැක්වූ සේක.

(මේ සවිපාක ඝටනා තුන ය.)

චිත්තාධිපති යන කර්‍තෘපාඨයෙන් දෙපනස් සාධිපතිජවනය වූ චිත්තාධිපතිය දැක්වූ සේක.

චිත්තසම්පයුත්තකානං -පෙ- රූපානං යන සම්ප්‍රදාන පාඨයෙන් විචිකිත්සා වර්ජිත චෛතසික එක්පනස ය සාධිපති චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.

අධිපතිපච්චයෙන යන කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබිය හැකි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ‍්, නිස්සය, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන එකොළොස් ප්‍රත්‍යය ශක්තීන් අතුරෙන් -පෙ- දැක්වූ සේක.

නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය වේ නම්, අධිපති, සහජාත, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් -පෙ- උපකාර වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන චිත්තාධිපතිය වේ නම්, අන්‍යෝන්‍ය සම්ප්‍රයුක්ත ශක්ති දෙක ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් -පෙ- වීම ද,

සාධිපතිචිත්තජරූපයන්ට පමණක් ප්‍රත්‍යය වන චිත්තාධිපතිය වේ නම්, විප්‍රයුක්තශක්තිය ද සහිත වූ අටක් වූ ප්‍රත්‍යශක්තීන් ගෙන් -පෙ- වීම ද, (මේ අවිපාක ඝටනා තුන ය)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්ත සඞ්ඛ්‍යාත චිත්තාධිපතිය වේ නම් අධිපති, සහජාත, නිස්සය, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් -පෙ- වීම ද,

සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්ත සඞ්ඛ්‍යාත චිත්තාධිපතිය වේ නම් විප්‍රයුක්ත ශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති නවයෙන් අධිපති ප්‍රත්‍යය සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් ප්‍රත්‍යය වීම ද අධිපති පච්චයෙන යන කරණපාඨයෙන් දැක්වූ සේක. (මේ සවිපාක ඝටනා තුන ය.)

“විරියාධිපති” යන කර්‍තෘපාඨයෙන් වීර්‍ය්‍යාධිපති සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.

“විරියසම්පයුත්තකානං -පෙ- රූපානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සාධිපති ජවන දෙපනස ය, වීර්‍ය්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික පනස ය, සාධිපති චිත්තජරූප ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක.

“අධිපතිපච්චයෙන” යන කරණපාඨයෙන් සුදුසු පරිදි එක් වර ලැබිය හැකි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන එකොළොස් ප්‍රත්‍යය ශක්තීන් අතුරෙන් අධිපතිප්‍රත්‍යය සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීම දැක්වූ සේක.

නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතිය වේ නම්, අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් -පෙ- (අවිපාක ඝටනා තුන හා සවිපාක ඝටනා තුන ප්‍රත්‍යයඝටනාවෙහි දැක්වූ පරිදි සම්පූර්‍ණ කොට කියනු.)

“වීමංසාධිපති” යන කර්‍තෘපාඨයෙන් වීමංසාධිපතිය වූ ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.

“වීමංස සම්පයුත්තකානං -පෙ- රූපානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සාධිපති ත්‍රිහේතුක ජවන සූතිස ය, ප්‍රඥා වර්ජිත චෛතසික සත්තිස ය, සාධිපතිචිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක.

“අධිපතිපච්චයෙන” යන කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබිය හැකි අධිපති, හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් අධිපති ප්‍රත්‍යය සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.

නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය වේ නම්, අධිපති, හේතු, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් -පෙ- (අවිපාකඝටනා තුන හා සවිපාක ඝටනා තුන අනු ව විස්තර කරනු.)

“යං යං ධම්මං” යන පාඨයෙන් ගරු කළ යුතු වූ ඉෂ්ටනිෂ්පන්න රූප අටොළොස ය, ද්වේෂමූලද්වය ය, මෝහමූලද්වය ය, දුඃඛසහගත කායවිඥානය ය යන මොවුන් ගෙන් අන්‍ය වූ සිත් සූඅසූවය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය වර්ජිත චෛතසික සත්සාළිස ය, නිර්‍වාණය ය යන ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්‍මය අනියම වශයෙන් දැක්වූ සේක.

“යෙ යෙ ධම්මා” යන පාඨයෙන් ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අට ය, මහාකුසල සිත් අට ය, මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික පන්සාළිස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් අනියමින් දැක්වූ සේක.

“චිත්තචෙතසිකා ධම්මා” යන පාඨයෙන් ගරු කොට අරමුණු කරන්නා වූ ප්‍රත්‍යයෝත්පන්න නාමස්කන්‍ධයන් ස්වරූප වශයෙන් දැක්වූ සේක.

“තෙ තෙ ධම්මා” යන පාඨයෙන් “යං යං ධම්මං” යන පාඨයෙන් අනියමින් දැක්වුණු ගරු කළ යුතු ෂඩාරම්මණ ධර්‍මයන් නියම වශයෙන් දැක්වූ සේක.

“තෙසං තෙසං ධම්මානං” යන සම්ප්‍රදානපාඨයෙන් “යෙ යෙ ධම්මා” යනුවෙන් අනියමින් දැක්වුණු ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් නියම වශයෙන් දැක්වූ සේක.

“අධිපති පච්චයෙන” යන කරණපාඨයෙන් සකලාරම්මණාධිපති ප්‍රත්‍යය වේ නම් අධිපති, ආරම්මණ, උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුන අතුරෙන් -පෙ- ද,

ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ වර්‍තමාන ඉෂ්ටනිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වේ නම් අධිපති, ආරම්මණ, උපනිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- ද,

ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරුකළ යුතු වූ වස්ත්‍වාරම්මණය වේ නම්, අධිපති, ආරම්මණ, නිස්සය, උපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් අධිපති ශක්ති සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද දැක් වූ සේක.

විශේෂ කරුණු:

“හේතු හෙතුසම්පයුත්තකානං” යනාදීන් හේතු සය එක් කොට හේතු ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළාක් මෙන් “අධිපති අධිපති සම්පයුත්තකානං” යනාදීන් අධිපති ධර්‍ම එක් කොට නො වදාරා “ඡන්‍දාධිපති ඡන්‍ද සම්පයුත්තකානං” යනාදීන් අධිපති ධර්‍ම වෙන වෙන ම වදාරන ලදුයේ අධිපතිධර්‍ම සතරම එක්වර ප්‍රත්‍යය නොවන බැවිනි.

“කස්මා? පන යථා හෙතුපච්චය නිද්දෙස හෙතූ හෙතුසම්පයුත්තකානන්ති වුත්තං එව මිධ අධිපති අධිපතිසම්පයුත්තකානන්ති අවත්‍වා ඡන්‍දාධිපති ඡන්‍දසම්පයුත්තකානන්ති ආදිනා නයෙන දෙසනා කතා ති, එකක්ඛණෙ අභාවතො” යනු අටුවායි.