එක් සන්තානයක එක් වරෙක අවකාශ ඇත්තේ චිත්ත ස්පර්‍ශාදී එක් අරූප ධර්‍ම සමූහයකට පමණක් ඉපදීමට ය. අනික් අරූප ධර්‍ම සමූහයකට ඉපදීමට අවකාශ ලැබීමට පළමු උපන් අරූප ධර්‍ම සමූහය අභාවප්‍රාප්ත විය යුතු ය. පළමු උපන් අරූපධර්‍ම සමූහයන් නිරුද්ධ වූ පසු නිරුද්ධ වූ ධර්‍ම සමූහයන් ගේ ස්ථානය ලබා පසු පසු ව උපදනා අරූප ධර්‍ම සමූහයෝ උපදිති. තමන්ගේ ස්ථානය ගෙන අන්‍ය අරූප ධර්‍මයන්ට ඉපදිය හැකිවන පරිදි නිරුද්ධ වූ අරූපධර්‍මයෝ තමතමන්ට අනතුරුව තමන් ගේ තැන ගෙන උපදනා අරූපධර්‍මයනට නාස්ති භාවයෙන් උපකාර වෙති. එසේ උපකාර වන්නා වූ අරූපධර්‍මයෝ නාස්තිප්‍රත්‍යය ය. එය ජනක ප්‍රත්‍යයකි. නාස්තිශක්තිය ය කියා විශේෂ ප්‍රත්‍යය ශක්තියක් නැත. “යාමෙහි දී උපන් සිත සිටීමෙහි දී ද ඇත. හිඳීමෙහි දී ද ඇත. නිදීමෙහි දී ද ඇත. ඊයේ උපන් සිත අදත් ඇත.” යනාදීන් නිරුද්ධ වූ සිත් ද ඇති සැටියට වරදවා ගන්නවුන් ගේ ඒ වැරදි හැඟීම දුරුවනු පිණිස නාස්තිප්‍රත්‍යය වදාරන ලදැ යි ඇතැම් ආචාර්‍ය්‍යයෝ කියති. එය විමසා ගත යුත්තෙකි. නාස්තිප්‍රත්‍යය ධර්‍මයන් ගේ විභාග හා ප්‍රත්‍යය වීමේ ක්‍රමය ද අනන්තර ප්‍රත්‍යයෙහි මෙන් දත යුතු ය.