ඝටනාවාරය

star_outline
[සාමඤ්ඤ ඝටනා]

සභාගවාරයට අනතුරු ව ඝටනාවාරය වදාළ සේක. එහි සාමඤ්ඤඝටනා ය, සඉන්‍ද්‍රියමග්ගඝටනා ය, සාධිපතිඉන්‍ද්‍රියමග්ග ඝටනා ය යි වාර තුනකි. එයින් සාමඤ්ඤ ඝටනා වාරය පළමු කොට වදාළ සේක. එද අවිපාකඝටනා සවිපාකඝටනා වසයෙන් දෙවැදෑරුම් වේ. එයින් අවිපාකඝටනාවාරය පළමු කොට වදාළ සේක. එ ද සබ්බට්ඨානිකඝටනා, සඅඤ්ඤමඤ්ඤඝටනා අඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනා, සවිප්පයුත්තඝටනා වශයෙන් සිවුවැදෑරුම් වේ.

අවිපාක සාමඤ්ඤඝටනා සතර

(1. සබ්බට්ඨානික ඝටනාව)

එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුකචිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතුධර්‍මයෝ සදෙන හේතු සහජාත නිස්සය අත්‍ථි අවිගත යන ප්‍රත්‍යයෝ පස්දෙන වන්නාහ. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි “හේතු සහජාත නිස්සය අත්‍ථි අවිගත සත්ත” යි වදාරන ලදහ. හේතු සහජාත නිස්සය අත්‍ථි අවිගත යන මේ ප්‍රත්‍යයන් ගැටුණු කල්හි (එක් වූ කල්හි) හේතුප්‍රත්‍යයයෙහි දැක්වූ විභඞ්ග සත ලැබෙත් ය යනු එහි තේරුම ය. විභඞ්ග සත හේතු ප්‍රත්‍යය අනුව විස්තර කරනු.

(2. සඅඤ්ඤමඤ්ඤ ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන හේතූහු සදෙන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගත යන ප්‍රත්‍යයෝ සදෙන වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි “හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි” වදාරන ලදහ. වාරතුන අඤ්ඤමඤ්ඤසභාගයෙහි මෙනි.

(3. සඅඤ්ඤමඤ්ඤසම්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤසම්පයුත්තඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හේතූහු සදෙන හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යයෝ සත්දෙන වෙති. එ බැවින් ඒ ධර්‍ම‍යෝ මේ අනුලෝමයෙහි “හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි” යි වදාරන ලදහ. සම්පයුත්ත සභාගය අනුව විස්තර කරනු.

(4. සවිප්පයුත්ත ඝටනාව)

සවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතූහු සදෙන හේතු සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍ය සය වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි ‘හෙතු සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි” යි වදාරන ලදහ. විප්පයුත්තසභාගය අනුව විස්තර කරනු.

සවිපාක ඝටනා පස

සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාවය, සවිප්පයුත්ත ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව ය යි සවිපාක ඝටනා පසෙකි.

(1. සබ්බට්ඨානික ඝටනාව)

එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූපයෝ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකහේතූහු තිදෙන හේතු සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය සය වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි ‘හෙතු සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං’ යි වදාරන ලදහ. විපාකසභාගය මෙනි.

(2. සඅඤ්ඤමඤ්ඤ ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හෘදය වස්තූන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුන හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය සත වේ. ඒවා මේ අනුලෝමයෙහි “හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ති එකං” යි වදාරන ලදී. එකං යනු අබ්‍යාකතෙන අබ්‍යාකතය ය.

(3. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුන හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය අට වේ. ඒවා ‘හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථිඅවිගතන්ති’ යි වදාරන ලදි.

(4. සවිප්පයුත්ත ඝටනාව)

සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක හේතූහු තිදෙන හේතු සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය සත වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි ‘හෙතු සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං’ යි වදාරන ලදහ.

(5. සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව මෙ සේ ය: හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිහේතූහු තිදෙන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගත යන මේ ප්‍රත්‍යය අට වේ. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි ‘හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” යි. “පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා හේතු වත්‍ථුස්ස -පෙ- අවිගත පච්චයෙන පච්චයො” විභඞ්ගය උදුරනු. සාමාන්‍යඝටනා නවය නිමි.

ස ඉන්‍ද්‍රිය මග්ග ඝටනා

සාමඤ්ඤඝටනාවන්ට අනතුරු ව සඉන්‍ද්‍රිය මග්ග ඝටනා වාරය වදාළ සේක. එ ද අවිපාකඝටනා සවිපාකඝටනා වසයෙන් දෙවැදෑරුම් වේ. එයින් අවිපාකඝටනා වාරය පළමුකොට වදාළ සේක. එහි ද සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාවය, ස විප්පයුත්ත ඝටනාවය යි ඝටනා සතරෙකි.

අවිපාක ඝටනා සතර

(1. සබ්බට්ඨානික ඝටනාව)

එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුකචිත්තජ රූප සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය හේතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය සත වේ. එ බැවින් එය මේ අනුලෝමයෙහි “හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති චත්තාරි” යි වදාරන ලදී. ඉන්‍ද්‍රියසභාගයෙහි මෙන් විස්තර කරනු.

(2. සඅඤ්ඤමඤ්ඤ ඝටනාව)

ස අඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන අමෝහය හේතු සහජාත අඤ්ඤමඤ්ඤනිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගත යන මේ ප්‍රත්‍යය අට වේ. එය මේ අනුලෝමයෙහි “හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති ද්වෙ” යි වදාරන ලදී. කුසලො කුසලස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන දෙවාරය ය.

(3. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: සම්පයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අමෝහය -පෙ- “හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති ද්වෙ.”

(4. සවිප්පයුත්ත ඝටනාව)

සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය. සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය -පෙ- “හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති ද්වෙ” කුසලො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන දෙක ය.

සවිපාක ඝටනා පස

අවිපාක ඝටනාවන්ට අනතුරු ව සවිපාකඝටනා වදාළ සේක. සබ්බට්ඨානිකඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත ඝටනාව ය, සවිප්පයුත්තඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාවය යි සවිපාක ඝටනා පසෙකි.

(1. සබ්බට්ඨානික ඝටනාව)

එහි සබ්බට්ඨානිකඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක අමෝහය -පෙ- හෙතු සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං” අබ්‍යාකතෙන අබ්‍යාකතය ය.

(2. ස අඤ්ඤමඤ්ඤ ඝටනාව)

ස අඤ්ඤමඤ්ඤ ඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන විපාකචිත්තයන්හි අමෝහය -පෙ- “හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං”

(3. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය. සම්පයුත්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන විපාක චිත්තයන්හි අමෝහය -පෙ- “හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(4. සවිප්පයුත්ත ඝටනා)

සවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සහේතුකචිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකාමෝහය -පෙ- ‘හෙතු සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(5. සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤ විප්පයුක්ත ඝටනාව මෙ සේ ය. හෘදයවස්තුව ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි චිත්තසම්ප්‍රයුක්ත අමෝහය -පෙ- ‘හෙතු සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං’ අබ්‍යාකතො අබ්‍යාකතස්ස වාරය ය. කර්‍තෘපාඨයෙන් හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ත්‍රිහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නවයෙහි අමෝහය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් හෘදය වස්තුව ලැබේ. විභඞ්ගය පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා හේතු වත්‍ථුස්ස හෙතුපච්චයෙන පච්චයො, -පෙ- අවිගත පච්චයෙන පච්චයො” යනු යි.

සාධිපති ඉන්‍ද්‍රිය මග්ග ඝටනා

සඉන්‍ද්‍රියමග්ගඝටනාවන්ට අනතුරු ව සාධිපතිඉන්‍ද්‍රිය මග්ග ඝටනා වාරය වදාළ සේක. එ ද අවිපාකඝටනා සවිපාකඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් අවිපාක ඝටනා වාරය පළමු කොට වදාළ සේක. එහි ද සබ්බට්ඨානිකඝටනාව ය සඅඤ්ඤමඤ්ඤඝටනාව ය සවිප්පයුත්තඝටනාවය යි ඝටනා තුනෙකි.

අවිපාක ඝටනා තුන

(1. සබ්බට්ඨානික ඝටනාව)

එහි සබ්බට්ඨානික ඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය -පෙ- “හෙතු අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති චත්තාරි”

(2. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන වීමංශාධිපතිය -පෙ- ‘හෙතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති ද්වෙ.’

(3. සවිප්පයුත්ත ඝටනාව.)

සවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය -පෙ- ‘හෙතු අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති ද්වෙ’

සවිපාකඝටනා තුන

අවිපාක ඝටනාවන්ට අනතුරු ව සවිපාක ඝටනා වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය: සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාවය යි සවිපාක ඝටනා තුනෙකි.

(1. සබ්බට්ඨානික ඝටනාව)

එහි සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵලසතරෙහි වීමංසාධිපතිය -පෙ- ‘හෙතු අධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං.’

(2. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව)

සඅඤ්ඤමඤ්ඤසම්පයුත්ත ඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වීමංසාධිපතිය -පෙ- ‘හෙතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං’

(3. සවිප්පයුත්ත ඝටනාව)

සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය. සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වීමංසාධිපතිය -පෙ- ‘හෙතු අධිපති සහජාත නිස්සය විපාකඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං’ යනු වදාළ සේක. විපාකාබ්‍යාකතා වීමංසා චිත්තසමුට්ඨානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො, -පෙ- අවිගතපච්චයෙන පච්චයො” යි විභඞ්ගය උදුරනු.

හේතුසභාග දසය හා ඝටනා සූවිස්ස නිමි.