12. ආසෙවන විභඞ්ගය

star_outline

ආසේවනයෙහි කුසලො කුසලස්ස අකුසලො අකුසලස්ස යන දෙවාරය අනන්තරයෙහි මෙනි. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පශ්චිම පශ්චිම වූ අටොළොස් ක්‍රියාජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවනවර්ජිත පූර්‍වපූර්‍ව අටළොස් ක්‍රියාජවනයන් වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම ක්‍රියාජවන අටළොස වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. නොහොත් හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයජවනයට ප්‍රත්‍යය වන ප්‍රථමජවනය ය, -පෙ- සප්තමජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ඨජවනය ය, මහද්ගතක්‍රියා සෝමනස්ස සිත් සතරට ප්‍රත්‍යය වන ගෝත්‍රභූකෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වය ය, මහද්ගතක්‍රියා උපේක්‍ෂා සහගත සිත් පසට ප්‍රත්‍යය වන ගෝත්‍රභූකෘත්‍යයවත් මහාක්‍රියා තෘතීයද්වය ය, සමාපජ්ජනවීථීන්හි පශ්චිම පශ්චිම මහද්ගතක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍වපූර්‍ව මහද්ගත ක්‍රියාජවනයෝ ය යන ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතක්‍රියා නවය ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන අනන්තර සමනන්තර උපනිස්සය ආසේවන නත්‍ථි විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් ආසේවන ශක්තිවිශේෂය ලැබේ.

ආසේවන විභඞ්ගය නිමි.