ආරම්මණ විභඞ්ගය

star_outline

හේතුප්‍රත්‍යය පදවාරයෙහි අබ්‍යාකතපදාවසානවාර කුශලපදාවසානවාර අකුශලපදාවසානවාර වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් අබ්‍යාකතපදාවසානවාරය පළමු කොට වදාළ සේක. එහි ද ප්‍රවෘත්තිවාර ප්‍රතිසන්‍ධිවාර වස්තුරූපවාර වශයෙන් වාරතුනක් ඇත්තේ ය. එයින් ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි දෙවාරයෙහි අභිධෙය පටිච්ච වාරයෙහි මෙනි. “චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං” යනාදිය වස්තුරූපවාරය ය. වස්තුරූපවාරයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘ පාඨයෙන් අතීත භවාංගය හා උපන් මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චක්‍ෂුර්විඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය -පෙ- අතීතභවාඞ්ගය හා උපදනා මධයමායුෂ්ක කායවස්තුව පුරෙජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා කායවිඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව හා මරණාසන්න කාලයෙහි චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ද පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත විපාකසිත් දෙවිස්ස ය ක්‍රියා සිත් විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්.

කුසලපදාවසානවාරයෙහි (වත්‍ථුං පච්චයා කුසලා ඛන්‍ධා) කර්‍තෘපාඨයේ අභිධෙය හේතුවිභඞ්ගයෙහි මෙනි. අකුසලපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා අකුසල්සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.

කුසලාබ්‍යාකතපදවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද උපදනා කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.

අකුශලාබ්‍යාකතපද වාරයෙහි අභිධෙය කුශලපදවාරය අනුව ගන්නේ ය. කුසපදයෙහි එක්වාරයක් ද අකුසලපදයෙහි එක් වාරයක් ද අබ්‍යාකතපදයෙහි තුන්වාරයක් ද කුශලාබ්‍යාකත පදයෙහි එක්වාරයක් ද අකුශලාබ්‍යාකතපදයෙහි එක්වාරයක් ද වීමෙන් ආරම්මණ ප්‍රත්‍යය විභඞ්ගයෙහි වාර සතක් වේ. ආරම්මණ විභඞ්ගවාරය නිමි.