10. පුරේජාත ප්‍රත්‍යය

star_outline

තමන් කලින් හටගෙන පසුව හටගන්නා මල්පලවලට උපකාර වන ගස් සේ කලින් හටගෙන පසුව හටගන්නා අරූප ධර්‍මයනට උපකාර වන ධර්‍මය පුරේජාත ප්‍රත්‍යය ය. පුරේජාත ප්‍රත්‍යය වන්නෝ රූප ධර්‍මයෝ ය. ප්‍රත්‍යයෝත්පන්න වන්නෝ අරූප ධර්‍මයෝ ය. මෙය පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රත්‍යයක් සේ පෙනෙන නමුත් ආචාර්‍ය්‍ය මත භේද ඇති තේරුම් ගැනීමට දුෂ්කර ප්‍රත්‍යයෙකි. පුරේජාත ප්‍රත්‍යය වන රූප ධර්‍මයෝ ඇතැම් චිත්ත චෛතසිකයනට ආරම්මණ වශයෙන් ප්‍රත්‍යය වෙති. ඒ රූප ධර්‍මයන් ගෙන් කොටසක් වූ ෂට්වස්තූහු අරූප ධර්‍මයන්ට වස්තු වශයෙන් ප්‍රත්‍යය වෙති.

පඤ්චාරම්මණය පඤ්චවිඤ්ඤාණ වීථීන්ට හා නිෂ්පන්නරූප අටළොස ඇතැම් මනෝද්වාර වීථීන්ට ද ප්‍රත්‍යය වන්නේ ආරම්මණ ශක්තියෙන් ය, ෂට්වස්තූන් සප්ත විඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන්නේ නිඃශ්‍රය ශක්තියෙන් ය, පුරේජාත භාවයෙන් වෙනස් කොට කියන ආරම්මණයන් හා වස්තූහු ම පුරේජාත ප්‍රත්‍යය ය, පුරේජාත ශක්තිය ය කියා ආරම්මණ නිඃශ්‍රය ශක්තීන්ගෙන් අන්‍ය වූ විශේෂ ශක්තියක් නැත ය යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි.

චක්‍ෂුද්වාර වීථියෙහි චක්‍ෂුර්විඥානය උපදිනුයේ ඉපද චිත්තක්‍ෂණ ගණනක් ඉක්ම ගිය චක්‍ෂුර්‍වස්තුවක් ආශ්‍රය කොට ය. එය උපදිනුයේ කලින් ඒ වස්තු රූපයෙහි රූපාරම්මණය ගැටීම නිසා ය. රූපාරම්මණය එහි ගැටීම චක්‍ෂුර්විඥානය ඉපදීමේ ප්‍රාරම්භය ය. ඒ ගැටීම නුවුව හොත් චක්‍ෂුර්විඥානයක් නූපදනේ ය. ඒ ගැටීම සිදු වීමට ද චක්‍ෂුර්‍වස්තුව චක්‍ෂුර්විඥානයට කලින් ඉපද තිබිය යුතු ය. එ බැවින් චක්‍ෂුර්‍වස්තුව ගේ කලින් ඉපද තිබීම චක්‍ෂුර්විඥානය ඇති වීමට එක් හේතුවකි. ඒ චක්‍ෂුර්‍වස්තුවෙහි කලින් හට ගෙන තිබෙන බව පුරේජාත ප්‍රත්‍යය භාවය ය. චක්‍ෂුර්විඥානයට එය නිඃශ්‍රය වීම පසු ව චක්‍ෂුර්විඥානය උපදනා අවස්ථාවෙහි සිදුවන්නක් ය. එ බැවින් එහි පුරේජාත ප්‍රත්‍යය භාවය අනෙකක් ය. නිඃශ්‍රය ප්‍රත්‍යය භාවය අනෙකක් ය. යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි. ආරම්මණ භාවයේ හා පුරේජාත භාවයේ නානත්‍වය ද වස්තුවට කී නයින් තේරුම් ගත යුතු ය. මෙය ගැඹුරු කරුණෙකි.

පුරේජාත ප්‍රත්‍යය වන්නෝ වර්‍තමාන නිෂ්පන්නරූපයෝ ය. අතීත රූපයෝ පුරේජාත වූවාහු ද ඒවා අරමුණු කොට උපදනා චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් හා උපනිඃශ්‍රය ශක්තියෙන් ප්‍රත්‍යය වනු මිස පුරේජාත ශක්තියෙන් ප්‍රත්‍යය නො වෙති. ආරම්මණ ශක්තියෙන් වෙනස් වූ පුරේජාත ශක්තියක් තිබෙන බවට මෙය ද වැදගත් ශාක්‍ෂ්‍යයෙකි. මෙය ද ගැඹුරු කරුණෙකි. අතීත රූපයන් පුරේජාතයන් වී පුරේජාත ප්‍රත්‍යය නො වීමේ හේතුව අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු ය. එය පුරේජාත ශක්තිය ගැන ඉහත දැක් වූ කරුණු අනුව සිතා තේරුම් ගත යුත්තකි.

ත්‍රිරාශියෙහි අප්‍රමාණ චෛතසිකයන් ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෝත්පන්න භාවයෙන් බැහැර කර තිබෙන්නේ සත්ත්‍ව ප්‍රඥප්තිය විෂයෙහි පවත්නා ඒ චෛතසිකයන් රූපයන් අරමුණු කොට උපදනා සිත් හා නො යෙදෙන බැවිනි. පුරේජාත ප්‍රත්‍යය වන අටළොස් රූපයන් අතුරෙන් වස්තුරූප සය ප්‍රත්‍යය වන සැටි වස්තුපුරේජාත වස්ත්‍වාරම්මණ පුරේජාත ප්‍රත්‍යයන් ගැන කී කරුණු අනුව තේරුම් ගත යුතු ය. අටළොස් වැදෑරුම් වර්‍තමාන රූපයන් ආරම්මණ පුරේජාත වශයෙන් ප්‍රත්‍යය වන්නේ මෙසේ ය. අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් අනාත්ම වශයෙන් සම්මිර්‍ශනය කිරීම් ආදියෙහි ඒවා අරමුණු කොට උපදනා කාමාවචර කුශල ක්‍රියා චිත්තයන්ට ද ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වේ. රූප දක්නා වූ ද ශබ්ද ශ්‍රවණය කරන්නා වූ ද කුශල ක්‍රියා වශයෙන් පවත්නා වූ අභිඥාදෙසිතට ද රූප ශබ්දයෝ ආරම්මණ පුරේජාත භාවයෙන් ප්‍රත්‍යය වෙති. චක්‍ෂුරාදිය හොඳය කියා ආස්වාදනය කරන්නා වූ ද චක්‍ෂුරාදීන් කෙරෙහි රාගය උපදවන්නා වූ ද චක්‍ෂුරාදීන් විෂයෙහි දෘෂ්ටි උපදවන්නා වූ ද දොම්නස් උපදවන්නා වූ ද විචිකිත්සා ඇති කරන්නා වූ ද ඖද්ධත්‍යය ඇති කරන්නා වූ ද තැනැත්තන් ගේ වශයෙන් චක්‍ෂුරාදීහු අකුශල සිත් දොළොසට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වෙති. රූප දර්‍ශනාදි වශයෙන් ඇති වන්නා වූ පඤ්චවිඤ්ඤාණ වීථීන්ට අයත් සිත්වලට ද රූපාදිය ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය වන සැටි විස්තර වශයෙන් සිතා සොයාගත යුතු ය.

වචනාර්‍ථ මෙසේ ය:- අජනී ති ජාතො. ජන ධාතුව කෙරෙන් ත ප්‍රත්‍ය ව නකාරය ලොප්ව ජාත කියා වේ. එයින් කියැවෙන්නේ උපන් ධර්‍මය ය. පච්චයුප්පන්නතො පුබ්බෙ ජාතො ති පුරේජාතො. එයට අලුප්ත සමාස ය යි ද ‘පුරෙ’ යන නිපාතය පූර්‍ව වූ සමාස ය යි ද කිය හැකි ය. ප්‍රත්‍යයෝත්පන්නයට පූර්‍වයෙහි හටගත් ධර්‍මය එයින් වාච්‍ය වේ.