13. කර්‍මප්‍රත්‍යය විභඞ්ගය

star_outline

කර්‍මප්‍රත්‍යයවිභඞ්ගයෙහි කුසලෙනකුසලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුසලචිත්තයන්හි ඇති චේතනා එකුන්විස්ස වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය චේතනා වර්ජිත චෛතසික සත්තිසය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, සම්පයුත්ත, අත්‍ථි අවිගත යන ප්‍රත්‍යශක්ති අට අතුරෙන් කර්‍ම ශක්තිය ලැබේ.

කුසලෙන අබ්‍යාකතයෙහි සහජාත වශයෙන් කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසලචිත්තයෙහි චේතනා එකුන්විස්ස ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසලචිත්තජරූපයෝ ලැබෙත්, කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්තිය සත අතුරෙන් කර්‍මශක්තිය ලැබේ. නානාක්‍ෂණිකකර්‍ම වශයෙන් කර්‍තෘපාඨයෙන් එකුන්තිස් කුශලවිපාකයන්ට හා කෘතත්වාත්රූපයන්ට ප්‍රත්‍යය වන අතීත වූ එක්විසි කුශලචේතනාවෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙ සේ ය. අහේතුකකුශල විපාක මහාවිපාක නාමස්කන්‍ධයන්ට හා කෘතත්වාත්රූපයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝත්කෘෂ්ට මහාකුශල චේතනාව ය, අහේතුකකුශලවිපාක ඥානවිප්‍රයුක්ත මහා විපාකනාමස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝමක ද්විහේතුකෝත්කෘෂ්ට මහාකුශල චේතනා ය, අහේතුක කුශල විපාක නාමස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන ද්විහේතුකෝමක මහා කුසල චේතනාය, ප්‍රථම ධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන ප්‍රථම ධ්‍යාන කුශල චේතනාව ය, -පෙ- පඤ්චමධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යයවන පඤ්චමධ්‍යාන කුශලචේතනාව ය, ආකාසානඤ්චායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසල චේතනාව ය, -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චේතනාව ය, සෝතාපත්තිඵල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන සෝතාපත්තිමග්ග චේතනාව ය, -පෙ- අරහත්තඵල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අරහත්තමග්ගචේතනාව ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ කර්‍තෘපාඨයෙන් ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් එකුන්තිස් කුසලවිපාක නාමස්කන්‍ධයන් හා කතෘත්‍වාත්රූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන කම්ම, උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති දෙකින් නානාක්‍ෂණික කර්‍ම ශක්තිය ලැබේ.

කුසලෙන කුසලාබ්‍යාකතවාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසලචිත්තයන්හි චේතනාව වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධචිත්තජරූප වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් කර්‍මශක්තිය ලැබේ.

අකුසලපද අකුසලපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුසල චේතනාවෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් අකුසල්සිත් දොළොස ය, චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති අට අතුරෙන් කර්‍මශක්තිය ලැබේ.

අකුසලෙන අබ්‍යාකත වාරයෙහි සහජාතකර්‍ම වසයෙන් කර්‍තෘපාඨයෙන් චිත්තජ රූපයන්ට ප්‍රත්‍යයවන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චේතනාවෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් අකුසල චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත නිස්සය කම්ම ආහාර විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් සහජාතකර්‍මශක්තිය ලැබේ. නානාක්‍ෂණිකකර්‍ම වශයෙන් කර්‍තෘපාඨයෙන් අකුසල විපාක නාමස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත්රූපයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුසල චේතනාවෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් අකුශල විපාක නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. කරණ පාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන කර්‍ම උපනිඃශ්‍රය ප්‍රත්‍යය ශක්ති දෙකින් නානාක්‍ෂණික කර්‍ම ශක්තිය ලැබේ.

අකුසලෙන අකුසලාබ්‍යාකතවාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුශල චේතනාවෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් අකුසල් සිත් දොළොසය චේතනා වර්ජිත චෛතසික සවිස්සය චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, අත්‍ථි, අවිගත යන ශක්ති සයෙන් කර්‍ම ශක්තිය ලැබේ.

අබ්‍යාකතපද අබ්‍යාකතපදාවසාන වාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාකසිත් සතිස ය ක්‍රියාසිත් විස්සය යන මොවුන් ගේ චේතනාව වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් විපාකසිත් සතිසය ක්‍රියා සිත් විස්ස ය චේතනා වර්ජිත චෛතසික සත්තිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන සහජාත, නිස්සය, කම්ම, විපාක, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති අට අතුරෙන් කර්‍මශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි චේතනා එකුන්විස්ස ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය, චේතනා වර්ජිත චෛතසික සූතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එකවර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති අතුරෙන් කර්‍මශක්තිය ලැබේ.