2. [ආරම්මණ මිශ්‍රකවාර] සන්නය

star_outline

හේතුමිශ්‍රක වාරයට අනතුරු ව ආරම්මණ මිශ්‍රක වාරය වදාළ සේක. එ ද සභාග ඝටනා වසයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාග වාරය පළමු කොට වදාළ සේක. එ ද ආරම්මණ මූලක අධිපතිසභාගය, නිස්සය සභාගය, උපනිස්සයසභාගය, පුරේජාතසභාගය, විප්පයුත්තසභාගය, අත්‍ථිසභාගය, අවිගතසභාගය යි සත්වැදෑරුම් වේ. එයින් හේතුමූලක අධිපතිසභාගය පළමු කොට වදාළ සේක.

(1) ඒ හේතුමූලක අධිපතිසභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටය මහාකුසල් අට ය මහාක්‍රියාඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ඉෂ්ටනිෂ්පන්නරූප අටළොස ය ද්වේෂමූල මෝහමූල දුඃඛසහගතකාය විඥාන වර්ජිත සිත් සූ අසූව ය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍යය විචිකිත්සා වර්ජිත චෛතසික සත් සාලිස ය නිර්‍වාණය ය යන මේ ධර්‍මයෝ ආරම්මණ ප්‍රත්‍යය ද අධිපති ප්‍රත්‍යය ද වන ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි “ආරම්මණපච්චයා අධිපතියා සත්ත” යි වදාරන ලදහ. සත්ත යනු කුසලො කුසලස්ස යනාදිය ය. ආරම්මණාධිපතිවිභඞ්ගය අනුව විභඞ්ගය උදුරනු.

(2) නිස්සයසභාගයෙහි මනොද්වාරාවජ්ජනය ය, මරණාසන්න ජවනයෝ ය, තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ධර්‍මයෝ ආරම්මණප්‍රත්‍යය ද නිඃශ්‍රයප්‍රත්‍යය ද වෙති. “ආරම්මණ පච්චයා නිස්සයෙ තීණි” තීණි යනු අබ්‍යාකතො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො කුසලස්ස, අබ්‍යාකතො අකුසලස්ස යන මොහු ය. අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන වාරයෙහි කර්‍තෘපාඨයෙන් මනෝද්වාරාවර්ජනය ය, ක්‍රියාමරණාසන්නජවන පසය, තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් මනෝද්වාරාවර්ජනය ය ක්‍රියා මරණාසන්නජවන පස ය තදාරම්මණ එකොළොස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථි විභඞ්ගය “අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො, වත්‍ථු විපාකාබ්‍යාකතානං ඛන්‍ධානං කිරියාබ්‍යාකතානං ඛන්‍ධානං ආරම්මණපච්චයෙන පච්චයො, නිස්සයපච්චයෙන පච්චයො” යි උදුළ යුතුය. අබ්‍යාකතො කුසලස්ස යන වාරයෙහි මරණාසන්නකුශලජවන පසට ප්‍රත්‍යය වන හෘදයවස්තුව ද, අබ්‍යාකතො අකුසලස්ස යන වාරයෙහි මරණාසන්න අකුසලජවනයන්ට ප්‍රත්‍යය වන හෘදයවස්තුව ද ලැබේ.

(3) උපනිස්සයසභාගය අධිපතිසභාගය මෙනි.

(4) පුරේජාතසභාගයෙහි කාමසිත් සිවුපනසට හා අභිඥාදෙසිතට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ධර්මයෝ ආරම්මණ ප්‍රත්‍යය ද වෙති. පුරේජාත ප්‍රත්‍යය ද වෙති. -පෙ- “ආරම්මණපච්චයා පුරෙජාතෙ තීණි” “තීණි” යනු අබ්‍යාකතො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො කුසලස්ස, අබ්‍යාකතො අකුසලස්ස යන මොහු ය. අභිධෙය හා විභඞ්ග ආරම්මණ පුරේජාතයෙහි මෙන් උදුරනු.

(5) විප්පයුත්තසභාගයෙහි මරණාසන්න මනෝද්වාරාවජ්ජන ජවන තදාරම්මණයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මය ආරම්මණප්‍රත්‍යය ද වේ. විප්‍රයුක්තප්‍රත්‍යය ද වේ. “ආරම්මණපච්චයා විප්පයුත්තෙ තීණි” නිඃශ්‍රයසභාගය අනුව විස්තර කරනු.

(6-7) අත්‍ථිසභාග අවිගතසභාග දෙවාරය පුරේජාතසභාගය මෙනි. ප්‍රත්‍යය බැහැර කිරීම හේතුසභාගයෙහි දැක්වූ ක්‍රමය අනුව විස්තර කරනු.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාවාරයstar_outline