සාමාන්‍යයෙන් සියලු ම චිත්තචෛතසික ධර්‍මයෝ අරමුණ ගනිති. අරමුණක් නො ගෙන නූපදිති. නො පවතිති. එහෙත් ඒ ධර්‍මයන් අතුරෙන් විතක්කය, විචාරය, පීතිය, ඒකග්ගතාය, සෝමනස්සය, දෝමනස්සය, උපෙක්ඛාය යන ධර්‍මයෝ සත් දෙන විශේෂයෙන් අරමුණු ගනිති. ඔව්හු අරමුණ කරා යන්නාක් මෙන් අරමුණට පිවිසෙන්නාක් මෙන් අරමුණ දෙස බලන්නාක් මෙන් අරමුණ පිරිමදින්නාක් මෙන් විශේෂයෙන් ම අරමුණ ගැනීම කෙරෙති. සම්ප්‍රයුක්ත ධර්‍මයන් අතර අරමුණු ගැනීමෙහි අධිකෝත්සාහයක් ඇත්තා වූ ද අරමුණු ගැනීමෙහි ප්‍රමුඛත්‍වය දරන්නා වූ ද ඒ ධර්‍මයෝ ධ්‍යාන නම් වෙති.
කුශලාකුශල දෙපක්‍ෂයෙහි හා අව්‍යාකෘත පක්‍ෂයෙහි ද්විපඤ්ච විඥානයන් ගෙන් අන්‍ය වූ සකලචිත්තචෛතසිකයන් ගේ අරමුණට යොමුවීම අරමුණ දෙස බැලීම අරමුණ ගනිමින් ඉපදීම ධ්‍යාන ධර්‍මයන් නිසා සිදු වන්නකි. ධ්‍යානධර්‍මයන් අරමුණ ගන්නා කල්හි එයට අනුව අරමුණ ගනිමින් සිත හා ඒ ඒ සිත්වල යෙදෙන අන්‍ය චෛතසිකයෝ ද උපදිති. තමන් හා එක් ව ආරම්මණ ග්‍රහණය කිරීම් වශයෙන් උපදනාවූ සම්ප්‍රයුක්ත ධර්‍මයනට උපකාර වන්නා වූ ඒ ධ්‍යාන ධර්‍මයෝ ධ්‍යාන ප්‍රත්‍යය නම් වෙති.
චිත්තය චිත්තජරූපයන් උපදවන්නේ තනි ව නො ව සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද සමග ය. ධ්‍යානධර්‍මයන් ද සිත හා එක් ව චිත්තජ රූප ඉපදවීමට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූප ඉපදවීමට ද සහභාගී වන බැවින් ඔව්හු සම්ප්‍රයුක්තධර්‍මයන්ට පමණක් නො ව චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයනට ද ප්‍රත්‍යය වෙති.
රූපාදි ආරම්මණයන් චක්‍ෂුරාදි වස්තූන්හි සැපීම නිසා ඒ ස්ථානවල උපදනා වූ ද්විපඤ්චවිඥානයෝ ආරම්මණ ග්‍රහණෝත්සාහයෙන් උපදනාහු නො වෙති. එ බැවින් ද්විපඤ්චවිඥානයන්හි ඇති ඒකාග්‍රතා සුඛ දුඃඛෝපේක්ෂාවෝ ධ්‍යාන ප්‍රත්‍යය භාවයෙන් නො සලකනු ලැබෙත්.
ආරම්මණං උපනිජ්ඣායතී ති ඣානං, පච්චනීකධම්මෙ ඣාපෙතී ති ඣානං, කර්‍තෘසාධන විග්‍රහයෝ ය. ඣෙ ධාතුව කෙරෙන් ය ප්‍රත්‍යය ව ඣාන කියා සිද්ධ වේ. ආරම්මණය එළඹ බලන්නේ ය යන අර්‍ථයෙන් ද ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් දවන්නේ ය යන අර්‍ථයෙන් ද ඣාන නම් වේ. ද්විතීයාර්‍ථය යෙදෙන්නේ රූපාවචරාරූපාවචර ලෝකෝත්තර ධ්‍යානයන්ට ය.