(1) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අට ය, මහා කුසල් සිත් අට ය, මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍යය අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික පන්සාළිස ය යන මේ ධර්‍මයන්ට ප්‍රත්‍යය වන ගරු කොට අරමුණු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස ය, ද්වෙෂමූල දෙසිත ය, මෝහමූල දෙසිත ය, දුඃඛසහගත කායවිඥානය ය යන මොවුන් ගෙන් අන්‍ය වූ සිත් සූ අසූව ය, ද්වෙෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික සත් සාළිස ය, නිර්‍වාණය ය යන ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්‍මයන්හි අධිපති, උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.
(2) පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කාම සිත් සිවුපනස ය, අභිඥා දෙසිත ය යන මොවුන්ට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප සඞ්ඛ්‍යාත ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි පුරේජාත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.
(3) මනෝද්වාරාවර්ජනය ය, කාමජවන එකුන්තිස ය, තදාරම්මණ එකොළොස ය යන මොවුනට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපන් වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(4) ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ වර්‍තමාන නිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණ පුරේජාතාධිපති ප්‍රත්‍යයෙහි අධිපති, උපනිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(5) ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි අධිපති, නිස්සය, උපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
මේ ආරම්මණ ප්‍රත්‍යය ඝටනා පස ය.