[හේතුප්‍රත්‍යය විභඞ්ගය]

star_outline

සහජාතවාරයට අනතුරු ව පච්චයවාරය වදාළ සේක. එහි ද පච්චයානුලෝමය ය, පච්චයපච්චනීය ය, පච්චයානුලෝමපච්චනීය ය, පච්චයපච්චනීයානුලෝමය යයි වාර සතරක් ඇත්තේ ය. එයින් පච්චයානුලෝමවාරය පළමු කොට වදාළ සේක. එහි ද විභඞ්ගවාර සඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවාරයක් ඇත්තේ ය. එයින් විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එහි ද හේතුප්‍රත්‍යය විභඞ්ගවාර ආරම්මණ ප්‍රත්‍යය විභඞ්ගවාරාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. (පශ්චාජ්ජාතය මෙහි නො ලැබේ.) එයින් හේතු ප්‍රත්‍යය විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එහි ද කුසලපදය අකුසලපදය අබ්‍යාකතපදය කුසලාබ්‍යාකතපදය අකුසලාබ්‍යාකත පදය යන මොවුන් ගේ වශයෙන් වාර පසක් ඇත්තේ ය. එයින් කුසලපදවාරය පළමු කොට වදාළ සේක. එහි ද කුසලපදාවසානවාරාදි වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එඒයින් කුසලපදාවසානවාරය පළමු කොට වදාළ සේක. එද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. ඒ මෙසේ ය. “කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. ඒ මෙසේ ය. කුසලං එකං ඛන්‍ධං පච්චයා තයො ඛන්‍ධා, තයො ඛන්‍ධෙ පච්චයා එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ පච්චයා ද්වෙ ඛන්‍ධා.

පදාර්‍ථ:

කුසලං, කුසල් වූ: ධම්මං, ධර්‍මය: පච්චයා, නිඃශ්‍රයභාවයෙන් ප්‍රත්‍යය වීමෙන්: කුසලො, කුසල් වූ: ධම්මො, ධර්‍මය: හෙතුපච්චයා, හේතුප්‍රත්‍යයයෙන්: උප්පජ්ජති, උපදී. කුසලං, කුසල් වූ: එකං, ඛන්‍ධං එක් ස්ක්‍ධයක්: පච්චයා, නිඃශ්‍රයභාවයෙන් ප්‍රත්‍යය වීමෙන්: තයො ඛන්‍ධා, ස්කන්‍ධයෝ තිදෙනෙක් උපදිති; තයො ඛන්‍ධෙ, ස්කන්‍ධයන් තිදෙනකු: පච්චයා, නිඃශ්‍රයභාවයෙන් ප්‍රත්‍යයවීමෙන්, එකො ඛන්‍ධො, එක් ස්කන්‍ධයක් උපදී. ද්වෙ ඛන්‍ධෙ, ස්කන්‍ධයන් දෙදෙනෙක්: පච්චයා, නිඃශ්‍රයභාවයෙන් ප්‍රත්‍යයවීමෙන්: ද්වෙ ඛන්‍ධා, ස්කන්‍ධයෝ දෙදෙනෙක් උපදිත්.

අභිධෙයාර්‍ථ:

එහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල්සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත ප්‍රත්‍යය කොට උපදනා කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.

“හෙතුපච්චයා” යන හේතුපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන මොවුන් ගේ ද්විහේතුක චිත්තක්‍ෂණයන්හි ඇති අලෝභ අදෝස දෙක්හි ද ත්‍රිහේතුකචිත්තක්‍ෂණයන්හි ඇති අලෝභ අදෝස අමෝහ තුනෙහි ද හේතු ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි. ඒවා පටිච්චවාරයෙහි මෙනි.

අබ්‍යාකතපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. ස්කන්‍ධවාර ද පටිච්චවාරයෙහි මෙන් දත යුතු ය. කුශලාකුශල දෙපදයේ වාර සය ම පටිචච්වාරයෙහි මෙන් දත යුතු ය.

අබ්‍යාකතපදවාරය ය අබ්‍යාකතපදාවසානවාරයය කුසලපදාවසානවාරය ය අකුශලපදාවසාන වාරය ය කුසලාබ්‍යාකතපදාවසානවාරය ය අකුශලාබ්‍යාකතපදාවසාවාරය ය යන මොවුන් ගේ වශයෙන් පස්වැදෑරුම් වේ.

එයින් අබ්‍යාකතපදාවසානවාරයෙහි ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්තිරූප යන වාරතුනෙහි ම අභිධෙය හා ස්කන්‍ධවාර පටිච්ච වාරයෙහි මෙනි. “වත්‍ථුං පච්චයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතං ඛන්‍ධා” යන හෘදයවස්තුව කර්‍මය වන වාරයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව හා මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ද පුරේජාතනිඃශ්‍රය කොට පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ අරූපවිපාක වර්ජිත සහේතුක විපාක සතොළොස ය, සහේතුක ක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. ස්කන්‍ධවාර පසළොසකි.

කුසලපදාවසානවාරයෙහි කුසලො ධම්මො යන කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව හා මරණාසන්නකාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ද පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට පඤ්චවෝකාරභූමියෙහි උපදනා කුසල්සිත් එක් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. අකුශලපදාවසානවාරය වුක්තානුසාරයෙන් දත යුතු.

කුසලාබ්‍යාකත පදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව හා මරණාසන්නකාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ද පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යයකොට උපදනා කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා මහාභූතයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.

අකුශලපදාවසාන වාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව හා මරණාසන්නකාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා හෘදය වස්තුව ද පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා අකුසල්සිත් දොළොස ය, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.

අකුසලාබ්‍යාකතපදාවසාන වාරයෙහි කර්‍තෘ පාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව හා මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා හෘදය වස්තුවද පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා අකුසල් සිත් දොළොසය, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්සය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය. ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා මහාභූතයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.

කුසලාබ්‍යාකත පදවාරයෙහි “කුසලොධම්මො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද, ව්‍යවස්ථාපන මනෝද්වාර්වර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද මරණාසන්න කාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරෙජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්.

කුසලාබ්‍යාකතපදවාරයේ අබ්‍යාකතපදාවසානවාරයෙහි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. කුසලාබ්‍යාකත පදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ කුසල්සිත් එක්විස්ස ය. චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපන්නා වූ ද මරණාසන්නකාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන්නා වූ ද හෘදයවස්තූන් පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපන්නා වූ ද කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් හා මහාභූතයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්.

අකුසලාබ්‍යාකතපදවාරයෙහි “අකුසලො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අකුසල්සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපනමනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද මරණාසන්නකාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තූන් පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ද අකුසල්සිත් දොළොසය මෝහමූලද්වයෙහි මෝහවර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. අබ්‍යාකතපදාවසානවාරය පටිච්චවාරයෙහි මෙනි.

අකුසලාබ්‍යාකතපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි අකුසල්සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා වූ ද මරණාසන්නකාලයෙහි චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තූන් පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා වූ අකුසල්සිත් දොළොස ය මෝහ මූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් හා මහාභූතයන් සහජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා චිත්තජරූපයෝ ය යන මොහු ලැබෙත්.

කුසලපදවාරයෙහි වාරතුනක් ද අකුශලපදයෙහි තුනක් ද අබ්‍යාකතපදයෙහි පසක් ද කුසලාබ්‍යාකතපදයෙහි තුනක් ද අකුසලාබ්‍යාකතපදයෙහි තුනක් ද වීමෙන් හේතුප්‍රත්‍යය විභඞ්ගයෙහි වාර සතොළොසක් වේ. පටිච්චවාරයෙහි හේතුප්‍රත්‍යය විභඞ්ගයේ ඇත්තේ වාර නවයෙකි. හේතුප්‍රත්‍යය විභඞ්ගය නිමි.