සංසට්ඨවාරයේ පච්චනීයවාර සන්නය

star_outline

පච්චයානුලෝම වාරයට අනතුරු ව පච්චය පච්චනීය වාරය වදාළ සේක. එ ද විභඞ්ගවාර සඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් විභඞ්ගවාරය පළමු කොට වදාරන ලදි. එ ද න හේතුපච්චයා විභඞ්ගවාර න අධිපතිපච්චය විභඞ්ගවාර යනාදීන් දස වැදෑරුම් වේ. එයින් න හේතුපච්චය විභඞ්ගය පළමු කොට වදාළ සේක. එ ද අකුශලපද අබ්‍යාකත පදයන්ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් අකුශලපද වාරය පළමු කොට වදාළ සේක. කෙසේ ද යත් අකුසලං ධම්මං -පෙ- විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො’ යනුවෙනි. පදාර්‍ථ කියනු. විචිකිච්ඡාසහගත සිත ය, උද්ධච්චසහගත සිත ය, චෛතසික තුදුස ය යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයන් මිශ්‍ර වීමෙන් උපදනා විචිකිච්ඡා සහගත උද්ධච්චසහගත මෝහය කර්‍තෘපාඨයෙන් ලැබේ. අනතුරු ව අබ්‍යාකතපද වාරය වදාළ සේක. ‘අබ්‍යාකතං ධම්මං පෙ- න හෙතුපච්චයා, අහෙතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, අහෙතුකපටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා’ යනුවෙනි. ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක සිත් අටොළොසය, ඡන්‍ද වර්ජිත අන්‍ය සමාන දොළොසය -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන දශය ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍රව උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්.

න හේතුවිභඞ්ගය නිමි.

නාධිපතියෙහි ‘කුසලං ධම්මං -පෙ- ඛන්‍ධා’ කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල්සිත් සතරය සැම කල්හි අධිපති ලැබෙන මහද්ගතකුශල නවය ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් මිශ්‍රණයෙන් උපදනා වූ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මහාකුසල්සිත් අටය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍රව උපදනා මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. ‘අකුසලං ධම්මං -පෙ- ඛන්‍ධා’ අධිපති ධර්‍ම හා අධිපති නොලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළස ද ගන්නේ ය. ‘අබ්‍යාකතං ධම්මං -පෙ- විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා’ ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා සිත් අට ය සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත ක්‍රියා නවය ය ඵලසිත් සතර ය යන මොවුන් ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අහේතුකක්‍රියා තුනය මහාක්‍රියා අට ය ලෞකික විපාක දෙතිස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍ර ව උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධි එකුන්විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍ර ව උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්.

නාධිපති විභඞ්ගය නිමි.

න පුරේජාතයෙහි “කුසලං ධම්මං -පෙ- අරූපෙ කුසලං එකං ඛන්‍ධං සංසට්ඨා -පෙ- ඛන්‍ධා” කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ මහාකුසල් අටය, අරූප කුසල් සතරය, උපරිම මාර්‍ග තුනය, චෛතසික සතිසය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍රව උපදනා වූ -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. අකුසලංධම්මං -පෙ- අරූපෙ -පෙ- ඛන්‍ධා’ කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල සිත් අටය මෝහමූල සිත් දෙක ය චෛතසික තෙවිස්ස ය යන -පෙ- ලැබෙත්. අබ්‍යාකතං ධම්මං -පෙ- අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං -පෙ- ඛන්‍ධා, ‘පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක සතර ය අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි මනෝද්වාරාවජ්ජනය ය මහා ක්‍රියා අට ය අරූපක්‍රියා සතර ය ඵලසිත් සතර ය චෛතසික සතිස ය යන අවයව -පෙ- ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධිසත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව -පෙ- ලැබෙත්.

න පුරේජාත විභඞ්ගය නිමි.

න පච්ඡාජාතයේ කුසලයෙහි කර්‍තෘපාඨයෙන් කුසල ධර්‍ම සියල්ල ලැබේ. අකුශලයෙහි අකුශලධර්‍ම සියල්ල ලැබේ. අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි විපාකක්‍රියා සියල්ල ලැබේ. ප්‍රතිසන්‍ධකාලයෙහි ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සියල්ල ලැබේ.

න ආසේවනයෙහි කුසලයෙහි කර්‍තෘපාඨයෙන් මහාකුසල ප්‍රථම ජවනයන් හා චෛතසික අටතිස ලැබේ. අකුසලයෙහි අකුශල ප්‍රථම ජවන නාමස්කන්‍ධයෝ ලැබෙත්. අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි හසිතෝත්පාද මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය ආවර්ජන දෙකය විපාකසිත් සතිස ය චෛතසික අටතිස ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ලැබේ. න ආසේවනය නිමි.

න කම්මයෙහි කුසලයෙහි කුසල්සිත් එක්විස්ස ය චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් මිශ්‍රවීමෙන් උපදනා චේතනා චෛතසිකය ලැබේ. අකුශලයෙහි අකුශල චේතනාව ගන්නේ ය. අබ්‍යාකතයෙහි ක්‍රියාචේතනාව ගන්නේ ය.

න විපාකයෙහි කුශලයෙහි කුසල්සිත් එක්විස්ස ලැබේ. අකුශලයෙහි අකුසල්සිත් දොළොස ලැබේ. අබ්‍යාකතයෙහි ක්‍රියා සිත් විස්ස ගන්නේ ය.

න ඣානයෙහි ලැබෙන්නේ අබ්‍යාකතය පමණකි. දෙපස් විඤ්ඤාණය හා සර්‍වචිත්තසාධාරණ චෛතසිකයෝ ලැබෙත්.

න මග්ගයෙහි අබ්‍යාකතපදය පමණකි. ප්‍රවෘත්තිකාලයෙහි අහේතුකසිත් අටොළොස ද ප්‍රතිසන්‍ධිකාලයෙහි අහේතුකප්‍රතිසන්‍ධි දෙක ද ගන්නේ ය.

න විප්පයුත්තයෙහි කුසලාකුසල දෙක්හි න පුරේජාතයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. අබ්‍යාකතයෙහි අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි මනෝද්වාරාවජ්ජනය ය මහා ක්‍රියා අට ය අරූපක්‍රියා සතරය ඵලසිත් සතර ය චෛතසික සතිස ය යන නාමස්කන්‍ධයෝ ලැබෙත්, (අරූපභූමියෙහි ඇත්තේ ලෝකෝත්තර විරති පමණෙකි. අප්‍රමාණ්‍යය එහි නො ලැබේ.)

විභඞ්ගවාරය නිමි.