6. සහජාත ප්‍රත්‍යය

star_outline

චිත්ත චෛතසික රූප ධර්‍ම සියල්ලෝ ම සමූහ වශයෙන් උපදින්නෝ ය. තවත් ධර්‍මයන් හා එක් නො වී හුදකලා ව උපදනා ධර්‍මයක් නැත. එසේ ඉපදීමට ශක්තියක් ද කිසිම ධර්‍මයකට නැත. එකට බැඳී අන්‍යෝන්‍ය සම්බන්‍ධයෙන් උපදනා නාම ධර්‍ම සමූහයක හෝ රූප ධර්‍ම සමූහයක හෝ රූපාරූප සමූහයක හෝ එක එක ධර්‍මයකම ඉපදීම ඒ සමූහයේ අන්‍ය ධර්‍මයන් ගේ ඉපදීමට උපකාරයක් වේ. එක් එක් සමූහයකට අයත් ධර්‍මයන්ගෙන් එක් ධර්‍මය කුදු නූපදනේ නම් අන්‍යධර්‍මයෝ ද නූපදනාහ. එසේ උපදනා ධර්‍ම සමූහයන්හි තමා ගේ ඉපදීම ම තමා හා උපදනා අන්‍යධර්‍මයන් ගේ ඉපදීමට උපකාර වන ධර්‍මය සහජාත ප්‍රත්‍යය ය. තවත් ක්‍රමයකින් කියතහොත් එක්ව ඉපදීම් වශයෙන් අන්‍ය ධර්‍මයන් ගේ ඉපදීමට උපකාරක ධර්‍මය සහජාත ප්‍රත්‍යය යි කිය යුතු ය. සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත උපදනා කල්හි එය හා චෛතසික ධර්‍ම එකුන් විස්සක් උපදී. ධර්‍ම විස්සක් ඇති ඒ අරූප ධර්‍ම රාශියට අයත් ධර්‍මයන්ගෙන් කවර ධර්‍මයක් වුවද උපදිනුයේ ඉතිරි එකුන් විස්ස ද උපදනා නිසා ය. ඉතිරි එකුන් විස්ස උපදිනුයේ ද ඒ එක් ධර්‍මය උපදනා නිසා ය. මෙසේ ඒ ධර්‍ම රාශියට අයත් සියල්ල ම ඔවුනොවුන්ට සහජාත වශයෙන් ප්‍රත්‍යය වන සැටි දත යුතු ය.

ප්‍රත්‍යය වන ආකාරය පට්ඨාන පාලියෙහි දැක්වෙන්නේ ස්කන්‍ධ ක්‍රමයෙනි. ඉහත කී ධර්‍ම රාශියෙහි වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් ස්කන්‍ධ සතරක් ඇත්තේ ය. ස්කන්‍ධ වශයෙන් සහජාත ප්‍රත්‍යය කියත හොත් එහි එක් ස්කන්‍ධයක් ඉතිරි තුනට ද, ඉතිරි තුන ඒ එක් ස්කන්‍ධයට ද ස්කන්‍ධ දෙකක් ස්කන්‍ධ දෙකකට ද සහජාත වශයෙන් ප්‍රත්‍යය වේ ය යි කිය යුතු ය. ස්කන්‍ධ වශයෙන් දැක්වීම පට්ඨාන පාලියේ ස්වභාවය ය. ඉහත කී අරූප ධර්‍ම රාශිය උපදනා කල්හි එය උපදිනුයේ පඤ්චවෝකාර භූමියෙහි නම් එය නිසා එය හා සමග ම චිත්තජ රූපයෝ ද උපදිති. ඒ ධර්‍ම රාශිය නූපදිත හොත් ඒ චිත්තජ රූපයන් ද නූපදනා බැවින් අරූප ධර්‍මරාශිය තමා හා උපදනා චිත්තජ රූපයනට සහජාත වශයෙන් ප්‍රත්‍යය වන බව කියනු ලැබේ. එහෙත් චිත්තජ රූපයෝ ඒ අරූප ධර්‍ම රාශියට ප්‍රත්‍යය නො වෙති. ඒ අරූප ධර්‍ම රාශිය ඔවුනොවුන්ට ද චිත්තජ රූපයන්ට ද සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වේ. අරූප ධර්‍ම රාශිය සහජාත ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න දෙකට ම අයත් වේ. චිත්තජ රූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ පමණක් වෙති. එක් එක් රූප කලාපයක මහා භූතයෝ ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට සහජාත වශයෙන් ප්‍රත්‍යය වෙති. රූප කලාපයෙහි මහා භූතයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න දෙකට ම අයත් වෙති. උපාදාය රූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ පමණක් වෙති. පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට හා හෘදය වස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය වෙති. එහි නාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න දෙපක්‍ෂයට ම අයත් වෙති. හෘදය වස්තුවෙන් අන්‍ය කර්‍මජ රූපයෝ ප්‍රත්‍යයෝත්පන්න පමණක් වෙති. ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ගෙන් හෘදය වස්තුව පමණක් නාමස්කන්‍ධයන්ට ද සහජාත භාවයෙන් ප්‍රත්‍යය වේ. නාමස්කන්‍ධයෝ ද එයට සහජාත භාවයෙන් ප්‍රත්‍යය වෙති. උපදනා ධර්‍ම අතර අන්‍ය ධර්‍මයන්ගේ සම්බන්‍ධයෙන් තොරව හුදකලාව උපදනාම් ධර්‍මයක් නැති බැවින් සකල චිත්ත චෛතසික රූපයෝ ම සහජාත ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් සහජාත ප්‍රත්‍යයට ප්‍රත්‍යනීක ධර්‍ම නැත්තේ ය. මේ ප්‍රත්‍යය ගැන දැක්වීමට සුදුසු උපමා ද සුලභ නැත. ආලෝකයට ප්‍රත්‍යය වන ප්‍රදීපය මෙයට උපමා වශයෙන් ආචාර්‍ය්‍ය වරයෝ දක්වති. ආලෝක ප්‍රදීප දෙක පෙර පසු නොවී එකවර ම ඇති වන්නාහුය යි නො සිතමි. ඒ දෙක පෙර පසු නොවී එකවර ම ඇති නො වේ නම් ඒ උපමාව ලෝකසම්මුතියේ සැටියට දක්වන ලද්දකැ යි ගත යුතු ය.

පච්චයුප්පන්නෙන සහ ජායතී ති සහජාතො, සහජාතො ච සො පච්චයො චාති සහජාත පච්චයො, සහජාතො හුත්‍වා පච්චයො සහජාතපච්චයො යනු විග්‍රහ යි.