විප්‍රයුක්ත ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) චිත්තජරූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත සිත් පන්සැත්තෑව ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි ද, පඤ්චවෝකාර භූමියෙහි උපාදාන වූ අරූපවිපාක වර්ජිත සප්තවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තුසඞ්ඛ්‍යාත පුරේජාතවිප්‍රයුක්තප්‍රත්‍යයෙහි ද, ප්‍රතිසන්‍ධාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද රූපස්ථිතියට පැමිණෙන ඒකජකාය ද්විජකාය තිජකාය චතුජකායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක වර්ජිත ප්‍රථම භවාඞ්ගාදි පශ්චිම පශ්චිම වූ සිත් පස් අසූව ය, චෛතසික දෙපනසය යන පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි ද අත්‍ථි, අවිගත යන මේ ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(2) සකල සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි ද පුරේජාත, විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි ද, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(3) සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපතිධර්‍ම තුන හෝ සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ද, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ද, අධිපති, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(4) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද, පඤ්චවිඥානයන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

මේ මිශ්‍රක ඝටනා සතර ය.

(5) සකල පශ්චාජ්ජාතවිප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි පච්චාජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(6) සකල පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි නිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(7) මනෝද්වාරාවර්‍ජනය ය, එකුන්තිස් කාමජවනයෝ ය, තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන මරණාසන්නකාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණයෙහි ආරම්මණ, නිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(8) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණාධිපතියෙහි ආරම්මණ, අධිපති, නිස්සය, උපනිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(9) පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි නිස්සය, පුරේජාත, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ ප්‍රකීර්‍ණක ඝටනා පස ය.

(10) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත සිත් පන්සැත්තෑවය, චෛතසික දෙපනස ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුවය යන සහජාත, විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(11) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදය වස්තූන්හි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ අවිපාක ගටනා දෙක ය.

(12) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මේ ධර්‍මයන්හි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(13) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. මේ සවිපාක ඝටනා දෙක ය.

සහජාත ඝටනා සතරෙකි.