ඝටනා

star_outline

සභාගයන්ට අනතුරුව ඝටනාවන් වදාළ සේක. මිස්සක ඝටනා ය, පකිණ්ණක ඝටනාය, සහජාත ඝටනා යයි එහි ඝටනා තුන් කොටසෙකි. අවිගත ඝටනාවය. සනිස්සය ඝටනාවය, සාධිපති ඝටනාවය, සාධිපතිනිස්සය ඝටනාව ය, ස ආහාරඝටනාව ය, ස ඉන්‍ද්‍රියඝටනාව ය, සනිස්සයඉන්‍ද්‍රිය ඝටනාව ය, සවිප්පයුත්තඝටනාව ය, සනිස්සය විප්පයුත්ත ඝටනාවය, සාධිපති නිස්සය විප්පයුත්ත ඝටනාව ය, සනිස්සය ඉන්‍ද්‍රියවිප්පයුත්ත ඝටනාව යයි මිශ්‍රක ඝටනා එකොළොසකි.

1. එහි අවිගත ඝටනාව මෙසේ ය: සකල සහජාතාස්ති පුරේජාතාස්ති පශ්චාජ්ජාතාස්ති ආහාරාස්ති ඉන්‍ද්‍රියාස්ති ප්‍රත්‍යය ධර්‍මයෝ - “අත්‍ථි අවිගතන්ති තෙරස”

2. සනිස්සය ඝටනාව මෙසේ ය: සකලසහජාතනිඃශ්‍රය පුරෙජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “අත්‍ථි නිස්සය අවිගතන්ති තෙරස.”

3. සාධිපති ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යයවන සකලසහජාතාධිපති ප්‍රත්‍යය ධර්‍මයෝ ය, ගරුකොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු ඉෂ්ටනිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයය යන මොවුහු - “අත්‍ථි අධිපති අවිගතන්ති අට්ඨ.”

4. සාධිපති නිස්සය ඝටනාව මෙසේ ය: සකලසහජාතාධිපති ප්‍රත්‍යයය ගරුකොට අරමුණු කරන ලෝභමූලමරණාසන්න -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ය යන මොවුහු - “අත්‍ථි අධිපති නිස්සය අවිගතන්ති අට්ඨ.”

5. සආහාරඝටනාව මෙසේ ය: සකල නාමාහාර රූපාහාර ප්‍රත්‍යය ධර්‍මයෝ “අත්‍ථි ආහාර අවිගතන්ති සත්ත.”

6. සඉන්‍ද්‍රිය ඝටනාව මෙසේ ය: සකලසහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යයධර්‍මයෝ - “අත්‍ථි ඉන්‍ද්‍රිය අවිගතන්ති සත්ත. 7. සනිස්සය ඉන්‍ද්‍රිය ඝටනාවෙහි සකලසහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ - “අත්‍ථි නිස්සය, ඉන්‍ද්‍රිය අවිගතන්ති සත්ත.” 8. සවිප්පයුත්ත ඝටනාවෙහි සකලසහජාත විප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ- “අත්‍ථි විප්පයුත්ත අවිගතන්ති පඤ්ච” 9. සනිස්සය විප්පයුක්ත ඝටනාවෙහි සකල සහජාත විප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ - “අත්‍ථි නිස්සය විප්පයුත්ත අවිගතන්ති පඤ්ච.” 10. සාධිපති නිස්සය විප්පයුත්ත ඝටනාවෙහි සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යය ය, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවනයන්ට ප්‍රත්‍යය වන -පෙ- වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යයය යන මොවුහු - “අත්‍ථි අධිපති නිස්සය විප්පයුත්ත අවිගතන්ති චත්තාරි” 11. සනිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත ඝටනාවෙහි චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය, පඤ්චවිඥානයන්ට ප්‍රත්‍යය වන පඤ්ච වස්තු සඞ්ඛ්‍යාත පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය යන මොවුහු - “අත්‍ථි නිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත අවිගතන්ති තීණි.”

මිශ්‍රක ඝටනා එකොළොස නිමි.

පච්ඡාජාත අවිගත ඝටනාව ය, පුරේජාත අවිගත ඝටනාව ය, සනිස්සය විප්පයුත්ත ඝටනාව ය, සාරම්මණ ඝටනාව ය, සාරම්මණ නිස්සය විප්පයුත්තඝටනාව ය, සාරම්මණාධිපති උපනිස්සය ඝටනාව ය, සාරම්මණාධිපති නිස්සය උපනිස්සය විප්පයුත්ත ඝටනාව ය. සනිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්තඝටනාව යයි ප්‍රකීර්‍ණක ඝටනා අටෙකි.

1. එහි පච්ඡාජාත අවිගත ඝටනාව මෙසේ ය: සකල පශ්චාජ්ජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “අත්‍ථි පච්ඡාජාත විප්පයුත්ත අවිගතන්ති තීණි.”

2. පුරේජාත අවිගත ඝටනාව මෙසේ ය: සකලාරම්මණ පුරේජාතාස්ති වස්තුපුරේජාතාස්ති ප්‍රත්‍යයෝ - “අත්‍ථි පුරේජාත අවිගතන්ති තීණි.”

3. සනිස්සය විප්පයුත්ත ඝටනාව මෙසේ ය: සකලපුරේජාතාස්ති ප්‍රත්‍යය ධර්‍මයෝ - “අත්‍ථිනිස්සයපුරෙජාත විප්පයුත්ත අවිගතන්ති තීනි.” 4. සාරම්මණ ඝටනාවෙහි සකලාරම්මණ පුරේජාතාස්ති ප්‍රත්‍යය - “අත්‍ථි ආරම්මණ පුරේජාත අවිගතන්ති තීණි.” 5. සාරම්මණ නිස්සය විප්පයුත්ත ඝටනාවෙහි - මනෝද්වාරාවජ්ජනය ය මරණාසන්න -පෙ- වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය “අත්‍ථි ආරම්මණ නිස්සය පුරෙජාත විප්පයුත්ත අවිගතන්ති තීණි.” 6. සාරම්මණ අධිපති උපනිස්සය ඝටනාවෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු ඉෂ්ටනිෂ්පන්නරූප අටළොස - “අත්‍ථි ආරම්මණාධිපති උපනිස්සය පුරෙජාත අවිගතන්ති එකං.” 7. සාරම්මණාධිපති නිස්සය උපනිස්සය විප්පයුත්ත ඝටනාවෙහි ගරුකොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න -පෙ- වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය - “අත්‍ථි ආරම්මණාධිපති නිස්සය උපනිස්සය පුරෙජාත විප්පයුත්ත අවිගතන්ති එකං.” 8. සනිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත ඝටනාවෙහි පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තූහු - “අත්‍ථි නිස්සය පුරෙජාත ඉන්‍ද්‍රිය විප්පයුත්ත අවිගතන්ති එකං.”

ප්‍රකීර්‍ණක ඝටනා අට නිමි.

ප්‍රකීර්‍ණකඝටනාවන්ට අනතුරු ව සහජාත ඝටනාවන් වදාළ සේක. එහි සබ්බට්ඨානික ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාවය, සවිප්පයුත්ත ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාවය යි අවිපාක ඝටනා පසෙකි. එහි සබ්බට්ඨානික ඝටනාවෙහි සකලසහජාතාස්ති -පෙ- “අත්‍ථි සහජාත නිස්සය අවිගතන්ති නව.” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤය ද, අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක ද, විප්පයුත්තය ද, අඤ්ඤමඤ්ඤ විප්පයුත්ත දෙක ද පිළිවෙලින් යොදා සහජාතයෙහි මෙන් විස්තර කරනු.

සවිපාක ඝටනාවන්හි ඔවුනොවුන්ට ද, ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද, ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝය යන මොවුහු - “අත්‍ථි සහජාත නිස්සය විපාක අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අවිපාක ඝටනා අනුව විස්තර කරනු.

සහජාත ඝටනා දශය නිමි.

මෙහි සභාගවාර අටළොසකි. මිශ්‍රක ඝටනා එකොළොස ය, ප්‍රකීර්‍ණක ඝටනා අට ය, සහජාත ඝටනා දශය යයි ඝටනා එකුන් තිසකි.