9. උපනිඃශ්‍රය ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

(උපනිඃශ්‍රය විභඞ්ගයෙහි කුසලා කුසල අබ්‍යාකතපද තුනෙහි වාර තුන බැගින් වීමෙන් වාර නවයකි. ආරම්මණූපනිස්සය අනන්තරූපනිස්සය දෙක වුක්තානුසාරයෙන් දත හැකි බැවින් ප්‍රකෘතෝපනිඃශ්‍රය පමණක් විස්තර කරනු ලැබේ. සුගම බැවින් පදාර්‍ථද නො දක්වනු ලැබේ.)

කුසලපද කුසලපදාවසානවාරයෙහි ප්‍රකෘතෝපනිඃශ්‍රයෙහි කර්‍තෘපාඨයෙන් අර්‍හන්මාර්‍ග වර්ජිත බලවත් වූ කුසල්සිත් විස්ස ය, චෛතසික අටතිස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

“සද්ධං උපනිස්සාය දාන දෙති” යන අනුවාදපාලියෙන් ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුශලය දානචේතනා ප්‍රධාන කාමාවචර කුශලයට ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් ප්‍රත්‍යය වීම දැක් වූ සේක. ප්‍රත්‍යය වන ආකාරය මෙසේය:- ජලය කැමති තැනැත්තා මේ පොළොව තුළ එ්කාන්තයෙන් ජලය ඇතය යන විශ්වාසයෙන් ජලය ලබනු පිණිස පොළොව කණින්නාක් මෙන් භවභෝග සම්පත් කැමති තැනැත්තා දානමය කුශලයෙන් ඒවා ලැබිය හැකිය යන විශ්වාසයෙන් දන් දෙනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව ආහාර පාන වස්ත්‍රාදි දාන වස්තූන් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද අනතුරු ව මහාකුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද ඉපදීමෙන් පසු විභූතාරම්මණ වීථියක් වේ නම් දෙවරක් ද තදාරම්මණය ඉපදීමෙන් පසු කාමභවාඞ්ගය වේ. අවිභූතාරම්මණවීථියක් වේ නම් ජවනයට අනතුරු ව පඤ්චවෝකාර භවාඞ්ග පසළොස අතුරෙන් එක් චිත්තයක් උපදී. අනතුරුව ප්‍රත්‍යවේක්‍ෂා වීථීහු වෙති. මේ වීථිවල මහාකුශල ජවනයන්ට ශ්‍රද්ධා ප්‍රධාන කාමාවචර කුශලය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

“සද්ධං උපනිස්සාය සීලං සමාදියති” යන අනුවාදපාලියෙන් ශ්‍රද්ධාවප්‍රධාන කාමාවචර කුශලය පඤ්චාඞ්ගශීල දශාඞ්ගශීල චේතනා ප්‍රධාන කාමාවචර කුශලයට ප්‍රත්‍යය වීම ද,

“උපොසථ කම්මං කරොති” යන අනුවාදපාලියෙන් අෂ්ටාඞ්ගපෞෂථ ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලයට ප්‍රත්‍යය වීම ද, “ඣානං උප්පාදෙති” යන අනුවාදපාලියෙන් මහද්ගතධ්‍යාන කුශලයට ප්‍රත්‍යය වීම ද,

“විපස්සනං උප්පාදෙති” යනුවෙන් විදර්‍ශනා කරන කාමාවචර කුශලයට ප්‍රත්‍යය වීම ද,

“මග්ගං උප්පාදෙති” යනුවෙන් ලෝකෝත්තර මාර්‍ගකුශලයට ප්‍රත්‍යය වීම ද,

“අභිඤ්ඤං උප්පාදෙති” යනුවෙන් කුශලාභිඥා පසට ප්‍රත්‍යය වීම ද,

“සමාපත්තිං උප්පාදෙති” යනුවෙන් කුශලසමාපත්ති අටට ප්‍රත්‍යය වීම ද, දැක්වූ සේක. ප්‍රත්‍යය වන ආකාරය වුක්තානුසාරයෙන් දැක්විය යුතු ය.

සීලං සුතං චාගං පඤ්ඤං උපනිස්සාය දානං දෙති. සීලං සමාදියති. උපොසථකම්මං කරොති. ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති” යන මෙහි සීලං සුතං චාගං පඤ්ඤං යන පද සතර වෙන වෙනම දානං දෙති යන ආදි වාක්‍ය අට හා යොදා අත්‍ථීය ගතයුතුය.

“සීලං උපනිස්සාය දානං දෙති” යනුවෙන් පඤ්චාඞ්ගශීල දශාඞ්ගසීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලය දානචේතනා ප්‍රධාන කාමාවචර කුශලයට ද ‘සීලං සමාදියති’ යනුවෙන් ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලයට ද, ප්‍රත්‍යය වීම දැක්වූ සේක. යනාදීන් සියල්ල විස්තර කරනු. “සුතං” යනුවෙන් ශ්‍රැතමය ප්‍රඥාව ප්‍රධාන කාමාවචර කුශලය ද, පඤ්ඤං” යනුවෙන් ප්‍රඥා ප්‍රධාන ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතර ද දැක්වේ.

පඨමජ්ඣානස්ස පරිකම්මං යනුවෙන් දැක්වෙන්නේ ප්‍රථමධ්‍යානය ලබනු සඳහා පඨවි පඨවි යනාදීන් භාවනා කිරීමේ දී උපදනා මහකුශල් සිත් අට ය. ධ්‍යානවීථියේ පරිකම්මචිත්තය එයින් නො ගනු ලැබේ. (“පරිකම්මන්ති අනන්තරං අගහෙත්‍වා පුබ්බභාගං පරිකම්මං ගහෙතබ්බං” යනු අටුවාව යි.) සියල්ල වුක්තානුසාරයෙන් විස්තර කරනු.

අකුසලපදාවසාන වාරයෙහි පදාර්‍ථ, මානං, ජප්පෙති, මානය පවත්වයි, දිට්ඨිං ගණ්හාති, දෘෂ්ටිය උපදවයි, පත්‍ථනාය, භවභෝග සම්පත් පතන්නා වූ ලෝභයට:මට ශ්‍රද්ධාව ඇත, අන්‍යයන්ට මට මෙන් ශ්‍රද්ධාව නැත යයි තමා උසස් කොට ගැනීම්වශයෙන් ශ්‍රද්ධාව නිසා මානය උපදී. ඒ ඒ ධර්‍මපාඨයන් ශ්‍රද්ධා වශයෙන් පිළිගෙන අර්‍ථය මැනවින් තේරුම් නොගෙන පින් පව් කරන පින්පව්වල විපාක ය විඳින පුද්ගලයකු ඇතය යි දෘෂ්ටිය උපදවයි. සීල සුත චාග පඤ්ඤා යන ධර්‍මයන් නිසා මම සිල්වතෙක්මි ය උගතෙක් මිය දෙනකෙනෙක් වෙමි ය නුවණැත්තෙමිය යි මානය උපදවයි. මම සිල් රකිමි ය යනාදීන් වරදවා ගැනීමෙන් දෘෂ්ටිය උපදී. ශ්‍රද්ධාදිය නිසා තමා උසස් කොට ගන්නා කල්හි ඒ ධර්‍මයෝ රාගයට ද අනුන් පහත් කොට සලකන්නා වූ කාලයේ දී ද්වේෂයට ද ඒ අවස්ථා දෙක ම මෝහයට ද උපනිඃශ්‍රය වෙති.

කර්‍තෘපාඨයෙන් බලවත් වූ ලෞකික කුසල් සතොළොස වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්සය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

ශාන්ත වූ ද ප්‍රණීත වූ ද උත්තම වූ ද අකුසල් නසන්නා වූ ද ලෝකෝත්තර කුශලය අකුශලයට උපනිඃශ්‍රය නොවන බැවින් මේ වාරයේ දී නො ගන්නා ලදි. එව මෙත්‍ථ ලොකියකුසලඤ්චෙව දස්සිතං, ලොකුත්තරං පන සන්තං පණීතං උත්තමං අකුසලවිද්ධංසනං, තස්මා චන්‍දො විය අන්‍ධකාර විධමනං අකුසලස්ස උපනිස්සයො න හොතී ති න ගහිතං” යනු අටුවා යි.

අබ්‍යාකතපදාවසානවාරයෙහි පදාර්‍ථ, අත්තානං ආතාපෙති, තමා තවයි, පරිතාපෙති, හාත්පසින් තවයි, පරියෙට්ඨිමූලකං ප්‍රත්‍යය සෙවීම මුල් කොට ඇති, දුක්ඛං පච්චනුභොති, දුක් විඳී. අදහස මෙසේ ය: බලවත් ශ්‍රද්ධාව ඇති තැනැත්තේ ශ්‍රද්ධාව නිසා ශීතෝෂ්ණාදිය නොසලකා වත්පිළිවෙත් ආදිය කිරීමෙන් තමා තවයි. වස්තුව සපයා ගෙන දානාදි පින්කම් කෙරෙමි යි වස්තුව සඳහා වැඩ කොට දුක් විඳී. ශීලයෙන් යුක්ත තැනැත්තේ හොඳින් සිල් රකිමි යි අභ්‍යාවකාශ වෘක්‍ෂමූල වාසාදි වශයෙන් තමා තවයි. පිඬු සිඟීම් ආදී වශයෙන් ප්‍රත්‍යය සෙවීම මුල් කොට ඇති දුක් විඳී. බහුශ්‍රැත තැනැත්තේ තමා ගේ බහුශ්‍රැතභාවයෙන් ප්‍රයෝජන ලබමි යි නො පසු බැස උගැන්වීම් දහම්දෙසීම් ආදියෙන් තමා තවයි. තමා දැනගත් ධර්‍මයට අනුව ප්‍රත්‍යය සොයා ජීවත්වෙමි යි පිණ්ඩචරණාදියෙන් දුක් විඳී. ත්‍යාගවත් තැනැත්තේ ත්‍යාගවත් භාවය නිසා තමා ගේ දිවි රැකීම පිණිස ප්‍රත්‍යය ඉතිරි කර නො ගෙන දන් දීමෙන් ද අඞ්ගප්‍රත්‍යාඞ්ගයන් පරිත්‍යාග කිරීමෙන් ද තමා තවයි. දීමට වස්තුව සෙවීම් වශයෙන් ද දුක්විඳී. ප්‍රඥාවත් තැනැත්තේ ද තමා ගේ ප්‍රඥාව වඩාත් දියුණු කරගත යුතු යයි ශීතෝෂ්ණාදිය ගණන් නොගෙන සජ්ඣායන මනස්කාරාදියෙන් තමා තවයි. මිථ්‍යාජීවයෙහි ආදීනවය හා සම්‍යගාජීවයෙහි අනුසස් ද දැක දැහැමින් ප්‍රත්‍යය සෙවීම් වශයෙන් දුක් විඳී. ශ්‍රද්ධාදි ධර්‍මයන්ගෙන් යුක්තවීම නිසා ඇතිවන ප්‍රීතිසහගත චිත්තයෙන් උපදවන ප්‍රණීත රූපයන්ගේ ස්පර්‍ශය ලබන කල්හි කායික සුඛයට ද ඉහත කී පරිදි දුක් ඇතිවීමේ දී කායික දුඃඛයට ද, ඵලයට සමවැදීමේදී ඵලසමාපත්තියටද බලවත් වූ එක්විසි කුසල චේතනාවෝ එකුන්තිස් කුසලවිපාකයන්ට ද ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් ප්‍රත්‍යය වේ. “අරහා මග්ගං උපනිස්සාය” යනාදියෙහි අදහස සුගමය.

කර්‍තෘපාඨයෙන් බලවත් වූ කුසල්සිත් එක්විස්සය චෛතසික අටතිසය යන ප්‍රත්‍යධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදාන පාඨයෙන් විපාක සිත් සතිසය ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

අකුසලපද අකුසලපදාවසානවාරයෙහි පදාර්‍ථ, රාගං උපනිස්සාය, රාගය උපනිඃශ්‍රය කොට: පාණං හනති, අන්‍යයන්ගේ ප්‍රාණයනසයි; අදින්නං ආදියති, හිමියන් විසින් නුදුන්දෑ පැහැරගනී; මුසා භණති, බොරු කියයි; ඵරුසං හණති, රළු වචන කියයි; සම්ඵං පලපති, නිරර්‍ථක කථා කරයි: සන්‍ධිං ඡින්‍දති, ගෙවල් බිඳී; නිල්ලොපං හරති, සැඟවී සිට පැහැර ගනී: එකාගාරිකං කරොති, බොහෝ දෙනා එක්ව එක් ගෙයක් වට කොට වස්තුව පැහැරගනී: පරිපන්‍ථෙ තිට්ඨති, මග රැක සිට අනුන්ගේ වස්තුව උදුරා ගනී: පරදාරා ගච්ඡති, පරභාර්‍ය්‍යාවන් කරා යෙයි: ගාමඝාතං කරොති, ගම් කොල්ලකයි: නිගමඝාතං කරොති, නියම්ගම් කොල්ලකයි; මාතරං ජීවිතා වොරොපෙති, මව ජීවිතයෙන් තොරකරයි: පිතරං ජීවිතා වොරොපෙති, පියා ජීවිතයෙන් තොරකරයි: අරහන්තං ජීවිතා වොරොපෙති, රහතුන් ජීවිතයෙන් තොර කරයි, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙති, දුෂ්ටසිතින් තථාගත ශරීරයෙහි ලේ උපදවයි: සංඝං භින්‍දති, සඞ්ඝයා බිඳී; සෙස්ස සුගමය.

කර්‍තෘපාඨයෙන් බලව්ත වූද, දුබලවූද අකුසල සිත් දොළොස ය. චෛතසික සත් විස්සය යන ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රත්‍යයෝත්පන්න වූ ඒ ධර්‍මයෝ ම ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

(“බලවං දුබ්බලස්ස දුබ්බලඤ්ච බලවස්ස උපනිස්සයො හොති යෙව, යං පන පච්චය විභඞ්ගස්ස උද්දෙස වණ්ණණායං වුත්තං බලවකාරණට්ඨෙන උපනිස්සයො හොතී ති තං කාරණභාවස්සෙච බලවතාය වුත්තං න උපනිස්සය ධම්මානං, කම්මකිලෙසො හි බලවන්තො පි දුබ්බලා පි බලව කාරණං හොන්ති යෙව’ යනු අටුවායි.)

“රාගං උපනිස්සාය පාණං හනති: යනාදි අනුවාදපාලියෙහි රාගං යනුවෙන් රාගප්‍රධාන ලෝභමූල චිත්තය ද, ‘පාණං හනති’ යනුවෙන් ප්‍රාණඝාතක ද්වේෂමූල මෝහමූල චිත්තයන් ද ‘අදින්නං ආදියති’ යනුවෙන් අදින්නාදානය කරන අකුසල් සිත් දොළොසද, ‘මුසා හණති’ යනුවෙන් මුසාවාදක අකුසල්සිත් දොළොස ද, පිසුණං හණති’ යනුවෙන් කේලාම් කීම කරන අකුසල් සිත් දොළොස ද ‘ඵරුසං හණති: යනුවෙන් පරුෂවචන කීමෙහි උපදනා ද්වේෂමූල චිත්තය ද, සම්ඵං පලපති යනුවෙන් නිරර්‍ථක වචන කියන අකුසල් සිත් දොළොස ද, ‘සන්‍ධිං ඡින්‍දති, නිල්ලොපං හරති, එකාගාරිකං කරොති. පරිපන්‍ථෙ තිට්ඨති, ගාමඝාතං කරොති, නිගමඝාතං කරොති’ යන පාඨවලින් අදත්තාදාන වසයෙන් පවත්නා අකුසල් සිත් දොළොස ද, පරදාරං ගච්ඡති’ යනුවෙන් කාමමිථ්‍යාචාර වශයෙන් උපදනා ලෝභමූල මෝහමූල චිත්තයන් ද, මාතරං ජීවිතා වොරොපෙති, පිතරං ජීවිතා වොරොපෙති. අරහන්තං ජීවිතා වොරොපෙති. දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙති ‘සංඝං භින්‍දති’ යන පාඨවලින් ඒ කර්‍මය සිදුකරන්නා වූ ද්වේෂමූල චිත්තය ද, දොසං’ යනුවෙන් ද්වේෂ ප්‍රධාන ද්වේෂමූල චිත්තය ද, මොහං’ යනුවෙන් මෝහ ප්‍රධාන අකුසල් සිත් දොළොසද, මානං’ යනුවෙන් මානප්‍රධාන දෘෂ්ටිවිප්පයුත්ත සිත් සතර ද, ‘දිට්ඨිං: යනුවෙන් මිථ්‍යාදෘෂ්ටිප්‍රධාන දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතර ද, ‘පත්‍ථනං’ යනුවෙන් භවභෝග සම්පත් පිළිබඳ වූ ලෝභමූල සිත් අට ද කියැවේ.

“මාතුඝාතිකම්මං මාතුඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො” යනුවෙන් දැක්වෙන මාතෘඝාත කර්‍මය මාතෘඝාතකර්‍මයට උපනිඃශ්‍රය වීම මෙසේ දතයුතු. අනුන් විසින් ඔවුන් ගේ මවුන් මරනු දැක එය කළ යුත්තකැ යි වරදවා ගෙන තමන්ගේ මවුන් මරන්නවුන් ගේ මාතෘඝාත කර්‍මයට අනුන්ගේ මාතෘඝාතකර්‍මය උපනිඃශ්‍රය වේ. එක් භවයකදී මාතෘඝාත කර්‍මය කළ තැනැත්තාට නැවත භවයකදී එය කිරීමට ද අතීතභවයේ මාතෘඝාතකර්‍මය උපනිඃශ්‍රය වේ. නැවත නැවත අණකිරීම් වශයෙන් මව මරන්නා වූ තැනැත්තා හට පළමු පළමු අණකිරීම් වූ මාතෘඝාත කර්‍මය පසුව අණකිරීම වූ මාතෘඝාතකර්‍මයට උපනිඃශ්‍රය වේ. දෙපහරකින් මැරෙන්නා වූ මවට පළමු පහරදීම වූ මාතෘඝාත කර්‍මය දෙවන පහර දීම වූ මාතෘඝාත කර්‍මයට උපනිඃශ්‍රය වේ. මෙසේ මාතෘඝාත කර්‍මය මාතෘඝාතකර්‍මයට උපනිඃශ්‍රය වීම සතරාකාරයකින් දක්වා තිබේ. ‘මාතුඝාතිකම්මං මාතුඝාති කම්මස්සාති අඤ්ඤං මාතරං හනන්තං දිස්වා වට්ටති එවං කාතුන්ති අත්තනො මාතරං හනන්තස්ස වා එකස්මිං හවෙ හන්ත්‍වා අපරස්මිං හනන වසෙනවා එකස්මිං යෙව හවෙ ගච්ඡ මාතරං හනාහීති පුනප්පුනං ආණාපනවසෙන වා ද්වීහිපහාරෙහි නියත මරණාය දුතිය පහාර දානෙනවා මාතුඝාතිකම්මං මාතුඝාතිකම්මස්ස උපනිස්සයො හොති’ යන අටුවා යි. “පුනප්පුනං ආණාපාන වසෙනවා ති මාතුඝාත කම්මෙන සදිසතාය පුබ්බෙපවත්තාය පි ආණත්තචෙතනාය මාතුඝාත කම්ම නාමං ආරොපත්‍වා වදන්ති ඵසනයො ද්වීහි පහාරෙහී ති එත්‍ථපි” යනු ටීකායි.

අකුසලපද කුසලපදාවසානවාරයෙහි “පානං හන්ත්‍වා තස්ස පටිඝාතත්‍ථාය දානං දෙති” යනුවෙනි. අර්‍ථය ප්‍රාණය නසා ඒ පව නැසීම පිණිස දන්දේය යනුයි. සෙස්ස සුගමය. මේවාරයෙහි ආරම්මණූපනිස්සය අනන්තරූපනිස්සය ප්‍රත්‍යය දෙක නොලැබේ. ප්‍රකෘතෝපනිඃශ්‍රය වශයෙන් කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්සය යන ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිසය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ. අනුවාදපාලියෙහි පාඨවල අභිධෙය වුක්තානුසාරයෙන් දත හැකිය.

අබ්‍යාකත පදාවසානවාරයෙහි ආරම්මණූපනිස්සය නො ලැබේ. පදාර්ථාදිය සුගමය. කර්‍තෘපාඨයෙන් අකුසල්සිත් දොළොසය චෛතසික සත්විස්සය යන ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානයෙන් විපාක සිත් සතිස ය ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ. අනුවාද පාලියෙහි ‘අකුසලං කම්මං’ යනුවෙන් බලවත් අකුශල චේතනා ද ‘විපාකස්ස’ යනුවෙන් අකුසල විපාක සිත් සත ද ගත යුතුය.

අබ්‍යාකතපද අබ්‍යාකතපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් විපාක සිත් සතිස ය, ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය යන ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රත්‍යයෝත්පන්න වූ ඒ ධර්‍මයෝ ම ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

කුසලපදාවසානවාරයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් අර්‍හත්ඵලයෙන් අන්‍ය වූ විපාකසිත් පන්තිස ය ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිස ය රූප අටවිස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

අකුසලපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් ලෞකිකවිපාක දෙතිස ය ක්‍රියාසිත් විස්ස ය චෛතසික පන්තිස ය රූප අටවිස්ස ය යන ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අකුසල්සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ.

කුසලය කුසලයට ආරම්මණූනිඃශ්‍රය අනන්තරූපනිස්සය පකතූපනිස්සය යන තුන් ආකාරයෙන් ප්‍රත්‍යය වේ. අකුසලයට අනන්තරූප නිස්සය හැර දෙයාකාරයෙන් ප්‍රත්‍යය වේ. අබ්‍යාකතයට තුන් ආකාරයෙන් ම ප්‍රත්‍යය වේ. අකුසලය ද අකුසලයට තුන් ආකාරයෙන් ද කුසලයට පකතූපනිස්සය වූ එක් ආකාරයකින් ද අබ්‍යාකතයට දෙයාකාරයෙකින් ද ප්‍රත්‍යය වේ. අබ්‍යාකතය අබ්‍යාකතයට තුන් ආකාරයෙන් ම ද කුසලාකුසල දෙකට ද එසේ තුන් ආකාරයෙන් ම ද ප්‍රත්‍යය වේ. මෙසේ කුසලය අට ආකාරයකින් ද අකුසලය සයාකාරයකින් ද අබ්‍යාකතය නවාකාරයකින් ද ප්‍රත්‍යය වීමෙන් උපනිස්සය තෙවිසි වැදෑරුම් වේ.