20. විප්‍රයුක්ත ප්‍රත්‍යය

star_outline

පියුම් පත මත තිබෙන ජල බින්‍දුව පියුම් පතෙහි නො තැවරී ම තිබෙන්නාක් මෙන් රූපයන්හි ගැටී තිබෙන්නේ වී නමුත් රූපයන් හා මිශ්‍රත්‍වයට නො පැමිණෙන ස්වභාවයක් අරූප ධර්‍මයන්හි ඇත්තේ ය. එසේ ම අරූප ධර්‍මයන් හා මිශ්‍ර නො වන ස්වභාවයක් රූපයන්හි ද ඇත්තේ ය. ඒ මිශ්‍ර නො වන ස්වභාවය විප්‍රයුක්ත තාවය ය. විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයනට උපකාර වන ධර්‍මයෝ විප්‍රයුක්ත ප්‍රත්‍යය නම් වෙති.

චිත්තචෛතසිකයන් ගෙන් එක එකකට ඉපදීමට තමන් හා සම්ප්‍රයුක්ත වන ධර්‍ම ලැබිය යුතුම ය. නො ලැබ ඒවාට නූපදිය හැකි ය. එබැවින් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝත්පන්නයන්ට නැතිවම බැරි විශේෂ ප්‍රත්‍යයෙකි. රූපාරූප ධර්‍මයන්හි විප්‍රයුක්ත ශක්තියක් ඇත ද එය සම්ප්‍රයුක්ත ශක්තිය සේ අනෙකකට උපකාර වන ශක්තියක් සේ නො පෙනේ. පට්ඨාන අටුවාවෙහි දැක්වෙන සැටියට සිතිය හැක්කේ මේ විප්‍රයුක්ත ප්‍රත්‍යය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ඔවුනොවුන් ගැටී උපදනා රූපාරූප ධර්‍මයන් ගේ අරූප ධර්‍මයන් ගේ මෙන් සම්ප්‍රයුක්ත භාවයක් නැති බව දක්වනු පිණිස වදාළ ප්‍රත්‍යයක් බව ය. පට්ඨාන පාලියෙහි මේ ප්‍රත්‍යය විස්තර කර තිබෙන්නේ ද සහජාත නිඃශ්‍රය පශ්චාජ්ජාත ප්‍රත්‍යයන් හා සම්බන්‍ධ කොට ය.

චිත්තචෛතසිකයෝ ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට සහජාත භාවයෙන් ප්‍රත්‍යය වෙති. ඒ ප්‍රත්‍යය වීමෙහි දී චිත්ත චෛතසිකයෝ ඔවුනොවුන්ට සම්ප්‍රයෝග භාවයෙන් ද ප්‍රත්‍යය වෙති. සම්ප්‍රයෝග භාවය ද චිත්ත චෛතසිකයන්ට වුවමනා උපකාරයෙකි. චිත්තචෛතසිකයන් චිත්තජරූපයනට සහජාත භාවයෙන් ප්‍රත්‍යය වතු දු ඒවායේ රූපයන් හා සම්ප්‍රයෝග භාවයක් නැත්තේ ය. එබැවින් චිත්තචෛතසිකයෝ චිත්තජ රූපයනට විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යය වෙතැ යි කියනු ලැබේ. සම්ප්‍රයෝගත්‍වයෙන් චිත්තතචෛතසිකයන්ට ප්‍රයෝජනයක් ඇතුවාක් මෙන් චිත්තචෛතසිකයන් ගේ විප්‍රයුක්ත භාවයෙන් රූපයනට වන අමුතු ප්‍රයෝජනයක් නො පෙනේ. චිත්තචෛතසිකයන් ගේ විප්‍රයුක්ත භාවයෙන් චිත්තජ රූපයනට යම්කිසි ප්‍රයෝජනයක් වෙත හොත් රූපයන් ගේ විප්‍රයුක්ත භාවයෙන් චිත්තචෛතසිකයනට ද ප්‍රයෝජනයක් තිබිය යුතු ය. එසේ ප්‍රයෝජනයක් ඇති නම් චිත්තජරූපයන් චිත්තයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන බව ද වදාළ යුතු ය. එසේ නො වදාළ සේක.

චක්‍ෂුරාදි වස්තූහු චිත්තචෛතසිකයනට නිඃශ්‍රය භාවයෙන් ප්‍රත්‍යය වෙති. චිත්තචෛතසිකයෝ ද ඔවුනොවුන්ට නිඃශ්‍රය භාවයෙන් ප්‍රත්‍යය වෙති. චිත්තචෛතසිකයන් ඔවුනොවුන්ට නිඃශ්‍රය වන්නේ සම්ප්‍රයෝගත්‍වය ද ඇති ව ය. වස්තුරූපයන් චිත්ත චෛතසිකයනට නිඃශ්‍රය වන්නේ සම්ප්‍රයෝග භාවයක් නැති ව ය. සම්ප්‍රයෝග භාවයක් නැති බව නම් විප්‍රයුක්තත්‍වය ය. වස්තූන්ගෙන් චිත්තචෛතසිකයනට වන්නා වූ මහත් වූ උපකාරය නිඃශ්‍රය භාවය ය. වස්තූන් ගේ විප්‍රයුක්තභාවයෙන් චිත්තචෛතසිකයන් ගේ ඉපදීමට ප්‍රයෝජනයක් වන බවක් නො පෙනේ.

පසු පසුව උපදනා චිත්තචෛතසිකයෝ පූර්‍වයෙහි හටගත් කායික රූපයන්ට පශ්චාජ්ජාත වශයෙන් ප්‍රත්‍යය වෙති. ඒවා රූපයන්ට ප්‍රත්‍යය වන්නේ ද විප්‍රයුක්ත වශයෙනි. පසුව උපදනා චිත්ත චෛතසිකයන් නිසා පූර්‍වයෙහි උපන් රූපයෝ බලවත් වෙති. පශ්චාජ්ජාත ප්‍රත්‍යය උපස්තම්භක ප්‍රත්‍යයකි. පසුව උපදනා චිත්ත චෛතසිකයන් ගේ උපස්තම්භනය රූපයනට ප්‍රයෝජන ය. එහෙත් ඒ චිත්තචෛතසිකයන් ගේ රූපයන් හා විප්‍රයුක්තතාවෙන් රූපයන්ට අමුතු ප්‍රයෝජනයක් වෙතැ යි නො සිතිය හැකි ය. විප්‍රයුක්ත ප්‍රත්‍යය විස්තර කර තිබෙන සැටියෙන් ඒ කරුණු අනුව තේරුම් ගන්නට තිබෙන්නේ ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්න වශයෙන් බැඳී පවත්නා වූ රූපාරූප ධර්‍මයන් සේ සම්ප්‍රයුක්තත්‍වයට නො පැමිණෙන බව දැක්වීම සඳහා විප්‍රයුක්ත ප්‍රත්‍යය දේශනය කරන ලද්දක් ය කියා ය. මේ විප්‍රයුක්ත ප්‍රත්‍යය කාමරූපලෝක දෙක්හි පමණක් ලැබෙන අරූපලෝකයෙහි නො ලැබෙන ප්‍රත්‍යයෙකි. සිත්වලින් අරූපලෝකයෙහි නො ලැබෙන ප්‍රත්‍යයෙකි. සිත්වලින් අරූප විපාක සිත් සතර පඤ්චවෝකාර භවයෙහි නො ලැබෙන බැවින් කිසිකලෙක විප්‍රයුක්ත ප්‍රත්‍යය නොවේ. විප්‍රයුක්ත ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න විභාගය ත්‍රිරාශියෙහි දක්වා නැත්තේ සමූහ වශයෙනි. එය විස්තර වශයෙන් දතයුත්තේ මෙසේ ය.:-

විප්‍රයුක්තප්‍රත්‍යය වන්නෝ නම් පඤ්චවෝකාර භවයෙහි උපදනා රූපාරූප ධර්‍මයෝ ය. රූපයන්ගෙන් ද විප්‍රයුක්තප්‍රත්‍යය වන්නේ වස්තුරූප සය පමණෙකි. අරූපයන් ගෙන් පඤ්චවෝකාර භවයෙහි උපදනා සකල චිත්තචෛතසිකයෝ ම විප්‍රයුක්ත ප්‍රත්‍යය වෙති. විප්‍රයුක්ත ප්‍රත්‍යය වන අරූපධර්‍මයන් අතුරෙන් කුසල් සිත් එක් විස්ස ය, අකුසල් සිත් දොළොස ය, ඔවුන් හා සම්ප්‍රයුක්ත චෛතසිකයෝ ය යන මොව්හු ඒ සිත් නිසා උපදනා රූපයන්ට සහජාත විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යය වෙති. පූර්‍වයෙහි හටගෙන ස්ථිතියට පැමිණියා වූ චතුසමුට්ඨානික තිසමුට්ඨානික රූපකායයන්ට පශ්චාජ්ජාත විප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍යය වෙති. තිසමුට්ඨානික කාය යනු ආහාරජරූප නැත්තා වූ බ්‍රහ්මයන්ගේ කාය ය.

කාමාවචර රූපාවචර විපාකයෝ වනාහි ප්‍රවෘත්ති කාලයෙහි චිත්ත සමුට්ඨාන රූපයන්ට හා ප්‍රතිසන්‍ධි කාලයෙහි කම්මසමුට්ඨාන රූපයන්ට ද සහජාත විප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍යය වෙති. ලෝකෝත්තර විපාකයෝ චිත්තසමුට්ඨාන රූපයන්ට ම සහජාත විප්‍රයුක්තභාවයෙන් ප්‍රත්‍යය වෙති. කාමාවචර රූපාවචර ලෝකෝත්තර විපාකයෝ චතුසමුට්ඨානික තිසමුට්ඨානික රූප කයට පශ්චාජ්ජාත විප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍යය වෙති.

ක්‍රියානාමස්කන්‍ධයෝ තමන් නිසා උපදනා රූපයන්ට සහජාත විප්‍රයුක්ත වශයෙන් ද පූර්‍වයෙහි ඉපද ස්ථිතියට පැමිණි තිජචතුජ කායයන්ට පශ්චාජ්ජාත විප්‍රයුක්ත වශයෙන් ද ප්‍රත්‍යය වෙති.

රූපයන්ගෙන් හාදයවස්තුරූපය ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි දී කාමාවචර රූපාවචර විපාකයන්ට සහජාත විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රවෘත්ති කාලයෙහි අරූපවිපාක ද්විපඤ්ච විඥාන වර්ජිත නාමස්කන්‍ධයන්ට පුරේජාත විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යය වේ. පඤ්චප්‍රසාදයෝ පඤ්චවිඥාන නාමස්කන්‍ධයන්ට පුරේජාත විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යය වෙති.

දිට්ඨිගතවිප්පයුත්ත, ඤානවිප්පයුත්ත යන තැන්වල විප්පයුත්ත යන වචනයෙන් කියැවෙන්නේ ඒ ධර්‍මයන් ගේ අභාවය ය. විප්පයුත්ත පච්චය යන මෙහි විප්පයුත්ත සදින් කියැවෙන්නේ අභාවය නො වේ. එයින් කියැවෙන්නෝ තමන් ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් හා ඒකත්‍වයට පැමිණියවුන් සේ නො බැඳී, ප්‍රත්‍යයෝත්පන්නය හා අමිශ්‍ර ව පවත්නා රූපාරූප ධර්‍මයෝ ය. විප්පයුත්ත පච්චය යනු “විසුං පයුත්තා විප්පයුත්තා, විප්පයුත්තා ච තෙ පච්චයො චා ති විප්පයුත්ත පච්චයො” යි විග්‍රහ කළ යුතු ය.