පටිච්චවාරයට අනතුරු ව සහජාතවාරය වදාළ සේක. එහි ද පච්චයානුලෝමය ය, පච්චය පච්චනීය ය, පච්චයානුලෝම පච්චනීය ය, පච්චය පච්චනීයානුලෝමය ය යි වාර සතරක් ඇත්තේ ය. එයින් පච්චයානුලෝම වාරය පළමු කොට වදාළ සේක. එහි ද විභඞ්ගවාර සඞ්ඛ්‍යාවාර වශයෙන් වාර දෙකක් ඇත්තේ ය. එයින් විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එහි ද හේතුප්‍රත්‍යයවිභඞ්ගවාරාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුප්‍රත්‍යය විභඞ්ගවාරය පළමුකොට වදාළ සේක. එහි ද කුශලපදවාරාදි වශයෙන් වාර පසක් ඇත්තේ ය. එයින් කුශලපදවාරය පළමු කොට වදාළ සේක. එහි ද අවසාන පදයන්ගේ වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. එ ද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. ඒ මෙසේ ය: කුසලං ධම්මං සහජාතො කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, වීථියට අනතුරුව අනුවාදය වදාළ සේක. ඒ මෙසේ ය: කුසලං එකං ඛන්‍ධං සහජාතො තයො ඛන්‍ධා, ඛයො ඛන්‍ධෙ සහජාතෙ එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ සහජාතා ද්වෙ ඛන්‍ධා.
පදාර්‍ථ:
කුසලං ධම්මං සහජාතො, කුශලධර්‍මය හා එක් ව ඉපදීම් වශයෙන්: කුසලො ධම්මො, කුශලධර්‍මය: හෙතුපච්චයා. හේතුප්‍රත්‍යයයෙන්: උප්පජ්ජති, උපදී. කුසලං, කුසල් වූ: එකං ඛන්‍ධං සහජාතා, එක් ස්කන්‍ධයක් හා එක් ව ඉපදීම් වශයෙන්: තයො ඛන්‍ධා, ස්කන්‍ධයෝ තිදෙනෙක් වෙති. තයො ඛන්‍ධෙ සහජාතො, ස්කන්‍ධ තුනක් හා එක් ව ඉපදීම් වශයෙන්: එකො ඛන්‍ධො, එක් ස්කන්‍ධයක් වේ. ද්වෙ ඛන්‍ධෙ සහජාතා, ස්කන්‍ධ දෙකක් හා එක් ව ඉපදීම් වශයෙන්: ද්වෙ ඛන්‍ධා, ස්කන්‍ධයෝ දෙදෙනෙක් වෙති. (මෙසේ පදාර්‍ථ කියන ලදුයේ සිංහල ව්‍යවහාරයට ගැලපෙන හැටියට ය.)
අභිධෙයාර්‍ථ:
මෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල්සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා එක් ව උපදනා වූ කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් සහජාත ප්‍රත්‍යය කොට උපදනා කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත් ය කියා හෝ කිය යුතු ය. හේතු පාඨයේ අභිධෙය දක්වනු. ඉතිරි සියල්ලෙහි ම පදාර්‍ථ හා අභිධෙයාර්‍ථ පටිච්චවාරයෙහි කී නයින් තේරුම් ගත හැකි ය.
පටිච්චවාර සහජාතවාර දෙක්හි අර්‍ථ වශයෙන් එකිනෙකට වෙනසක් නැත්තේ ය. එ බැවින් ඒ බව “පටිච්චට්ඨං නාම සහජාතට්ඨං සහජාතට්ඨං නාම පටිච්චට්ඨං” යි පාලියෙහි ම දැක්විණ: පටිච්චවාරයට අනතුරු ව ඒ අර්‍ථයම දක්වන සහජාත වාරය දේශනය කිරීම සම්බන්‍ධයෙන් කරුණු කීපයක් අටුවාවෙහි දක්වා තිබේ. “චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” යනාදි තැන්වල සහජාතධර්‍මයන් ගේ ප්‍රත්‍යය භාවය ‘පටිච්ච’ යන වචනයෙන් කියැවේ. භූතරූපයන් හා සහජාත වූ ද උපාදාය රූපයෝ භූතරූපයන්ට ප්‍රත්‍යය නොවෙති. මේ පට්ඨාන දේශනයෙහි පටිච්ච යනුවෙන් සහජාත වශයෙන් ප්‍රත්‍යය වන ධර්‍මයන් ම ගත යුතු බව දක්වනු පිණිස සහජාත වාරය දේශිතය, “සහජාත” යන වචනයෙන් ද ප්‍රත්‍යය වන ධර්‍මයන් ම ගත යුතු බව දැක්වීම සඳහා පටිච්චවාරය ද දේශිත ය, මෙ සේ පටිච්චවාරයෙන් සහජාතවාරයා ගේ ද සහජාතවාරයෙන් පටිච්චවාරයා ගේ ද අර්‍ථය නියම කරනු පිණිස සමානාර්‍ථ ඇති මේ වාර දේශිත ය. මේ එක් කරුණෙකි. සමහරු පටිච්ච යන වචනයෙන් කී කල්හි ඒ අර්‍ථය තේරුම් ගනිති. සමහරු සහජාතය යි කී කල්හි අර්‍ථය තේරුම් ගනිති. ඒ දෙකින් අර්‍ථය තේරුම් ගන්නා වූ පුද්ගලයන් ගේ වශයෙන් මේ වාර දෙක දේශිත ය යනු එක් කරුණෙකි. දේශනා විලාශ වශයෙන් මෙ සේ එක ම අර්‍ථය දෙයාකාරයකින් දේශිත ය යනු එක් කරුණෙකි. ප්‍රතිසංවිත් ප්‍රභේදය දැනගනු පිණිස දේශිත ය යනු එක් කරුණෙකි.
“පටිච්චට්ඨං නාම සහජාතට්ඨං, සහජාතට්ඨං නාම පටිච්චට්ඨන්ති ඉදං උභින්නම්පි එතෙසං වාරානං අත්‍ථිතො නින්නානා කරණභාව දස්සනත්‍ථං වුත්තං, අත්‍ථතො හි එතෙ ද්වෙ පි නින්තානාකරණා. එවං සන්තෙ පි අඤ්ඤමඤ්ඤස්ස අත්‍ථනියාමනත්‍ථං වුත්තා. චක්ඛුං ච පටිච්ච රූපෙ වා ති ආදීසු හි අසහජාතම්පි පටිච්ච උප්පජ්ජතී ති වුච්චති. සහජාතම්පි ච උපාදායරූපං, භූතරූපස්ස පච්චයො න හොති. ඉති පටිච්චවාරෙන සහජාතපච්චයභාවං, සහජාතවාරෙන ච පටිච්චා ති වුත්තස්ස සහජාතභාවං නියමෙතුං උභොපෙතෙ වුත්තා. අපි ච තථා බුජ්ඣනකානං අජ්ඣාසය වසෙන දෙසනා විලාසවසෙන නිරුත්තිපටිසම්භිදා පභේදජානන වසෙනා චා ති එතෙ උභො පි වුත්තාති” යනු අටුවා යි.
සහජාත වාරය නිමි.