4. අනන්තර විභඞ්ග වාරය

star_outline

අධිපතිප්‍රත්‍යය විභඞ්ගවාරයට අනතුරු ව අනන්තර ප්‍රත්‍යය විභඞ්ග වාරය වදාළ සේක. -පෙ- කුසලො ධම්මො කුසලස්ස -පෙ- වොදානං මග්ගස්ස අනන්තර පච්චයෙන පච්චයො” යනු යි.

පදාර්‍ථ:

පුරිමා පුරිමා, පූර්‍ව පූර්‍ව වූ: කුසලා ඛන්‍ධා, අන්තිම ජවන වර්ජිත සතොළොස් ලෞකික කුශල නාමස්කන්‍ධයෝ: පච්ඡිමානං පච්ඡිමානං, පසු පසු වූ, කුසලානං ඛන්‍ධානං, ප්‍රථමජවන වර්ජිත එක්විසි කුශලජවන නාමස්කන්‍ධයන්ට, අනුලොමං, සංස්කාරාරම්මණික අනුලෝමකෘත්‍යවත් ඥාන සම්ප්‍රයුක්ත මහාකුශල චිත්තය, ගොත්‍රභූස්ස, නිර්‍වාණාරම්මණික ගෝත්‍රභූකෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට: අනුලොමං, සංස්කාරාරම්මණික අනුලෝමකෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර: වොදානස්ස, නිර්‍වාණාරම්මණික වෝදානකෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට, ‘ගොත්‍රභූ’ නිර්‍වාණාරම්මණික ගෝත්‍රභූකෘත්‍යවත් මහා කුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර: මග්ගස්ස, සෝවාන් මාර්‍ග චිත්තයට, වොදානං, නිර්‍වාණාරම්මණික වෝදානකෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර: මග්ගස්ස, උපරිම මාර්‍ගත්‍රයට: අනන්තර පච්චයෙන පච්චයො.

අභිධෙයාර්‍ථ:

කර්‍තෘ පාඨයෙන් අන්තිමජවන වර්ජිත පූර්‍ව පූර්‍ව ලෞකික කුසල් සතොළොස වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම කුසල් සිත් එක්විස්ස වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙසේ ය. මහාකුශල ද්විතීය ජවනයට ප්‍රත්‍යයවන ප්‍රථම ජවනයය, -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ඨම ජවනය ය මහද්ගත සෝමනස්සසහගත සිත් සතරට හා මාර්‍ගසෝමනස්සසහගත සිත් සොළොසට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ වෝදාන කෘත්‍යවත් මහාකුශල ප්‍රථමද්වය ය, මහද්ගතකුශල උපේක්‍ෂාසහගත සිත් පසට හා මාර්‍ගෝපේක්‍ෂාසහගත සිත් සතරට ප්‍රත්‍යයවන ගෝත්‍රභූ වෝදානකෘත්‍යවත් මහාකුශල තෘතීයද්වය ය, සමාපජ්ජන වීථීන්හි පශ්චිම පශ්චිම මහද්ගතකුශලයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව සමාන වූ මහද්ගත කුශලයෝ ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ කර්‍තෘපාඨයෙන් ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය. මහද්ගත කුසල් නවය ය, මාර්‍ග සිත් සතරය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය ආසේවන, නත්‍ථි, විගත, යන ප්‍රත්‍ය ශක්ති සය අතුරෙන් අනන්තර ශක්තිය ලැබේ.

“පුරිමා පුරිමා කුසලා ධම්මා” යනාදි පාඨයෙන් ‘පුරිමා පුරිමා කුසලා ධම්මා’ යනුවෙන් දැක්වෙන මහාකුශල ද්විතීයාදි ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහාකුශල ජවනයෝ ය, මහද්ගතකුශලසෝමනස්ස සහගත සිත් සතර හා මාර්‍ග සෝමනස්ස සහගත සිත් සොළොසට ප්‍රත්‍යයවන ගෝත්‍රභූ වෝදනා කෘත්‍යවත් මහාකුශල ප්‍රථමද්වයය, මහද්ගත කුශල උපේක්‍ෂා සහගත සිත් පසට හා මාර්‍ග උපේක්‍ෂා සහගත සිත් සතරට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ වෝදාන කෘත්‍යවත් මහාකුශල තෘතීයද්වය ය, සමාපජ්ජන වීථියෙහි පශ්චිම පශ්චිම මහද්ගතකුශලයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහද්ගත ජවනයෝ ය, යන මොවුහු පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං යනුවෙන් දැක්වෙන මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුසල නවය ය, මාර්‍ග සිත් සතර ය යන මොවුන්ට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වෙති. ‘අනුලොමං ගොත්‍රභූස්ස’ යන අනුවාද පාලියෙහි දැක්වෙන සංස්කාරාරම්මණික අනුලෝමකෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර නිර්‍වාණාරම්මණික ගෝත්‍රභූ කෘත්‍යවත් මහාකුශල ඤාණසම්ප්‍රයුක්ත සිත් සතරට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ‘අනුලොමං වොදානස්ස’ යන අනුවාදපාලියෙහි දැක්වෙන සංස්කාරාරම්මණික අනුලෝම කෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර නිර්‍වාණාරම්මණික වෝදානකෘත්‍යවත් මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවේ. ‘ගෝත්‍රභූ මග්ගස්ස’ යන අනුවාද පාලියෙහි දැක්වෙන නිර්‍වාණාරම්මණික ගෝත්‍රභූ කෘත්‍යවත් මහාකුශල ඤාණසම්ප්‍රයුක්ත සිත් සතර සෝවාන් මාර්‍ග චිත්තයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ. “වොදානං මග්ගස්ස” යන අනුවාද පාලියෙහි දැක්වෙන වෝදානකෘත්‍යවත් නිර්‍වාණාරම්මණික මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර උපරිම මාර්‍ගත්‍රයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

(මේ වාරයෙහි “පුරිමා පුරිමා කුසලා” යනාදි පාඨයෙන් භූමිත්‍රයට අයත් කුශල ධර්‍මයන්ට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යවීම දක්වන ලදි. කුශලය කුශලයට අනන්තරශක්තියෙන් ප්‍රත්‍යය වන සියල්ල එයින් දැක්වුණු නමුත් ආරම්මණ වශයෙන් හා භූමිවශයෙන් භින්න කුශලයන් අතර අනන්තරප්‍රත්‍යය භාවය ඇත ද නැත ද යන සැකය දුරුවනු පිණිස ‘අනුලොමං ගොත්‍රභූස්ස, අනුලෝමං වොදානස්ස, ගොත්‍රභූ මග්ගස්ස, වොදානං මග්ගස්ස’ යනු වදාළ සේක. ඒ පාඨයන්ගෙන් නානාරම්මණික කුශලයන් අතර හා නානාභූමික කුශලයන් අතර ද අනන්තර ප්‍රත්‍යය භාවය ඇති බව දැක්වේ.)

කුසලාබ්‍යාකතවාරයෙහි පදාර්‍ථ: කුසලං, සතොළොස් ලෞකික කුසලයන්ගේ අන්තිම ජවනය: වුට්ඨානස්ස, තදාරම්මණයට හා භවාඞ්ගයට: මග්ගො, මාර්‍ගසිත් සතර: ඵලස්ස, ඵලසිත් සතරට: අනුලෝමං, සංස්කාරාරම්මණික අනුලෝම කෘත්‍යවත් මහාකුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර: සෙක්ඛාය, ශෛක්‍ෂ වූ, ඵලසමාපත්තියා, ඵලසමාපත්තියට: නිරොධා, නිරෝධසමාපත්තියෙන්: වුට්ඨහන්තස්ස, නගින්නා වූ අනාගාමිපුද්ගලයා ගේ: නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං, නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය: ඵලසමාපත්තියා, අනාගාමිඵල සමාපත්තියට: අනන්තර පච්චයෙන පච්චයො.

කර්‍තෘපාඨයෙන් සතොළොස් ලෞකික කුශලයන් ගේ අන්තිම ජවනයෝ ය, මාර්‍ගජවන සතර ය යන ප්‍රත්‍යයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහද්ගත විපාක නවය ය, ඵලසිත් සතර ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙසේ ය:- මහාකුශලජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි තදාරම්මණ එකොළොස ය, නොවන කල්හි භවාඞ්ග එකුන්විස්සය යන මොවුන්ට ප්‍රත්‍යය වන මහාකුශල අන්තිමජවනය ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ගනවයට ප්‍රත්‍යය වන රූපාවචරකුශල අන්තිමජවනය ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා ආකාසානඤ්චායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතනකුශල අන්තිම ජවනය ය, -පෙ- ත්‍රිහේතුකභවාඞ්ග තෙළෙසට හා නිරෝධ සමාපත්තියෙන් නගින කල්හි අනාගාමිඵලචිත්තයට ද ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල අන්තිම ජවනය ය, සෝවාන් ඵලයට ප්‍රත්‍යය වන සෝවාන්මාර්‍ගචිත්තය ය, -පෙ- අර්හත්ඵලයට ප්‍රත්‍යය වන අර්හත්මාර්‍ගචිත්තය ය යන මොවුහු කර්‍තෘපාඨයෙන් ලැබෙත්. සම්ප්‍රදානපාඨාභිධෙය කියනු. කරණපාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, කම්ම, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සයෙන් අනන්තර ශක්ති විශේෂය ලැබේ. අනුවාදය විස්තර කරනු.

අකුසලපද අකුසලපදාවසානවාරයෙහි පදාර්‍ථ සුගම ය. කර්‍තෘපාඨයෙන් අන්තිමජවන වර්ජිත පූර්‍ව පූර්‍ව දොළොස් අකුශල ජවනයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම වූ දොළොස් අකුශලජවනයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, ආසේවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් අනන්තර ශක්ති විශේෂය ලැබේ.

අබ්‍යාකතපදාවසාන වාරයෙහි අදහස මෙසේ ය:- ලෝභමූල මෝහමූල ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි අන්තිම ජවනය තදාරම්මණ එකොළොසට ද, තදාරම්මණය නො වන කල්හි අන්තිමජවනය භවාඞ්ග එකුන්විස්සට ද, දෝසමූලජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි අන්තිම ජවනය උපේක්‍ෂාතදාරම්මණ සයට ද, නො වන කල්හි කාම උපේක්‍ෂාභවාඞ්ග සයට ද, අනන්තරශක්තියෙන් ප්‍රත්‍යය වේ. කර්‍තෘපාඨයෙන් දොළොස් අකුශලයන්ගේ අන්තිම ජවනයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහද්ගතවිපාක නවය ය යන ප්‍රත්‍යයෝත්පන්නයේ ලැබෙත්. කරණපාඨයෙන් අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ශක්ති පසෙන් අනන්තර ශක්තිය ලැබේ.

අබ්‍යාකතපද අබ්‍යාකතපදාවසානවාරයෙහි පදාර්‍ථ සුගම ය. අව්‍යාකෘතධර්‍මය අව්‍යාකෘතධර්‍මයට අනන්තරශක්තියෙන් ප්‍රත්‍යයවීම මෙසේ ය. අර්‍හන්තච්‍යුති වර්ජිත පූර්‍ව පූර්‍ව විපාකක්‍රියා නාමස්කන්‍ධයෝ අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම විපාකක්‍රියා නාමස්කන්‍ධයන්ට ද, පඤ්චවෝකාර භවාඞ්ගුපච්ඡේද, එකුන්විස්ස ආවර්ජන දෙකට ද, අරූපභවාඞ්ගුපච්ඡෙද සතර මනෝද්වාරාවජ්ජනයට ද, ඉතිරි ක්‍රියා සිත් අටොළොසෙහි අන්තිමජවනය හා ව්‍යවස්ථාපනය තදාරම්මණ භවාඞ්ගයන්ට ද අනුලෝම කෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වය හා තෘතීයද්වය අර්‍හත්ඵලයට ද නිරෝධසමාපත්තියෙන් නැඟීමේ දී නේවසඤ්ඤානාසඤ්ඤායතන අන්තිම ජවනය අර්‍හත්ඵලයට ද අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

කර්‍තෘපාඨයෙන් අර්‍හන්තච්‍යුති වර්ජිත පූර්‍වපූර්‍ව විපාකසිත් සතිසය ක්‍රියා සිත් විස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙසේ ය:- ප්‍රථම භවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, ද්විතීයාදි පශ්චිම පශ්චිම භවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යයවන ප්‍රථමාදි පූර්‍ව පූර්‍ව භවාඞ්ගනාමස්කන්‍ධයෝ ය, ආවර්ජනද්වයයට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභවාඞ්ගෝපච්ඡේද පසළොස ය, මනෝද්වාරාවජ්ජනයට ප්‍රත්‍යය වන අරූපභවාඞ්ගෝපච්ඡෙද සතර ය, පඤ්චවිඥානයන්ට ප්‍රත්‍යය වන පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙකට ප්‍රත්‍යය වන පඤ්චවිඥානයෝ ය, සන්තීරණයන්ට ප්‍රත්‍යය වන සම්පටිච්ඡනයෝ ය, ව්‍යවස්ථාපනයට ප්‍රත්‍යය වන සන්තීරණයෝ ය, පරිත්තාරම්මණවීථියෙහි ද්විතීයව්‍යවස්ථාපනයට ප්‍රත්‍යය වන ප්‍රථම ව්‍යවස්ථාපනය ය, පඤ්චවෝකාර භවාඞ්ග පසළොසට ප්‍රත්‍යය වන ද්විතීයව්‍යවස්ථාපනය ය, අතිමහන්තාරම්මණ විභූතාරම්මණ අවිභූතාරම්මණ වීථීන්හි හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවජ්ජනයෝ ය, ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථමජවනය ය, -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ඨ ජවනයය, හසිතෝත්පාදය කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්ස තදාරම්මණ පසටද නො වන කල්හි පඤ්චවෝකාර ත්‍රිහේතුකභවාඞ්ග නවයටද ප්‍රත්‍යය වන හසිතෝත්පාද අන්තිමජවනය ය, මහාක්‍රියා සෝමනස්ස ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්ස තදාරම්මණ පසට ද නො වන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ද ප්‍රත්‍යය වන සෝමනස්ස සහගත මහාක්‍රියා අන්තිම ජවනය ය, මහාක්‍රියා උපේක්‍ෂාසහගත ජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි උපේක්‍ෂාතදාරම්මණ සයටද නො වන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ද ප්‍රත්‍යය වන උපේක්‍ෂා සහගත මහාක්‍රියා අන්තිමජවනයෝ ය, ද්විතීය තදාරම්මණයට ප්‍රත්‍යය වන ප්‍රථමතදාරම්මණය ය, කාමභවාඞ්ග දශයට ප්‍රත්‍යය වන ද්විතීය තදාරම්මණය මහද්ගත ක්‍රියා සෝමනස්ස සහගත සිත් සතරට හා අර්‍හත්ඵල සෝමනස්සසහගත සිත් සතරට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ අනුලෝම කෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වයය, මහද්ගතක්‍රියා උපේක්‍ෂාසහගත සිත් පසට හා අර්‍හත්ඵල උපේක්‍ෂා සහගත සිතට ද ප්‍රත්‍යය වන ගෝත්‍රභූ අනුලෝම කෘත්‍යවත් මහා ක්‍රියා තෘතීය ද්වය ය, සමාපජ්ජනවීථීන්හි පශ්චිම පශ්චිම මහද්ගත ක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහද්ගත ක්‍රියා ජවනයෝ ය. පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ගනවයට ප්‍රත්‍යය වන රූපාවචර ක්‍රියා අන්තිමජවනයෝ ය. පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා ආකාසානඤ්චායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන ක්‍රියා අන්තිම ජවනයය, -පෙ- ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට හා නිරෝධසමාපත්තියෙන් නගින අවස්ථාවෙහි අර්‍හත්ඵලයට ද ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා අන්තිමජවනය ය, පශ්චිම පශ්චිම ඵලසිත් සතරට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව ඵලසිත් සතර ය, ත්‍රිහේතුක භවාඞ්ගතෙළෙසට ප්‍රත්‍යය වන අන්තිම ඵලජවනයෝ ය, මරණාසන්නයෙහි තදාරම්මණයට අනතුරු ව චුතිය වන කල්හි කාමච්‍යුති දශයට ප්‍රත්‍යයවන ද්විතීය තදාරම්මණය ය ජවනයට අනතුරු ව ච්‍යුතිය වන කල්හි ත්‍රිහේතුකච්‍යුති තෙළෙසට ප්‍රත්‍යවන මහාක්‍රියා පඤ්චම ජවන ය, (මරණාසන්න ජවන වශයෙන් මහද්ගතජවනයන් හා හසිතෝත්පාදජවනයෝ නො යෙදෙති.) භවාඞ්ගයට අනතුරු ව ච්‍යුතිය වන කල්හි ච්‍යුති එකුන්විස්සට ප්‍රත්‍යය වන භවාඞ්ග එකුන්විස්සය කාමප්‍රතිසන්‍ධි දශයට ප්‍රත්‍යය වන ද්විහේතුක අහේතුක ච්‍යුතීහු ය, ප්‍රතිසන්‍ධි එකුන්විස්සට ම ප්‍රත්‍යය වන කාමත්‍රිහේතුක ච්‍යුති සතර ය. සහේතුකප්‍රතිසන්‍ධි සතොළොසට ප්‍රත්‍යය වන රූපාවචරච්‍යුති පස ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා අරූපප්‍රතිසන්‍ධි සතරට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන ච්‍යුතිය ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා උපරිම අරූපප්‍රතිසන්‍ධි තුනට ප්‍රත්‍යය වන විඤ්ඤාණඤ්චායතනචිත්තය ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධි දෙකට ප්‍රත්‍යය වන ආකිඤ්චඤ්ඤායතන චුතියය, කාම ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධීන් හා නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යයවන නේවසඤ්ඤානාසඤ්ඤායතන චුතිය ය යන මොවුහු කර්‍තෘපාඨයෙන් ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම වූ විපාකසිත් සතිස ය ක්‍රියා විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක් වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, නත්‍ථි,විගත යන ප්‍රත්‍යය ශක්ති සයෙන් අනන්තර ශක්තිය ලැබේ. (මේ වාරයෙහි දක්වා තිබෙන්නේ විපාක විපාකයන්ට ද, ක්‍රියා ක්‍රියාවන්ට හා විපාක ක්‍රියාවන්ට ද, ක්‍රියා විපාකයන්ට ද ප්‍රත්‍යයවීම ය.)

කුසලපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජන සඞ්ඛ්‍යාතප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් මහාකුශල ප්‍රථමජවනය වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය ලැබේ. කරණපාඨයෙන් අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ශක්ති පස අතුරෙන් අනන්තර ශක්තිය ලැබේ.

අකුසලපදාවසාන වාරයෙහි සම්ප්‍රදානපාඨයෙන් අකුසල් සිත් දොළොස ගැනීම ම වෙනස ය. සෙස්ස කුසලපදාවසානවාරයෙහි මෙනි.