20. විප්‍රයුක්ත ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

විප්‍රයුක්තප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි “වත්‍ථුං විප්පයුත්ත පච්චයා” යන පාඨයෙහි පදාර්‍ථ: “හදය වස්තුවෙන් විප්‍රයුක්ත ප්‍රත්‍යය භාවය සිදු කිරීමෙන්” යි කිය යුතු ය. කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය පුරේජාතයෙහි මෙනි.

කුසලෙන අබ්‍යාකතයෙහි “කුසලෙ, ඛන්‍ධෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං ඛන්‍ධෙවිප්පයුත්ත පච්චයා” පදාර්‍ථ: කුසලෙ ඛන්‍ධෙ, පඤ්චවෝකාර භූමියෙහි උපදනා කුශල නාමස්කන්‍ධයන් හා පටිච්ච, එක්ව ඉපදීමට පැමිණ; විප්පයුත්තපච්චයා, විප්‍රයුක්ත ප්‍රත්‍යය භාවය සිදුකරන්නා වූ; ඛන්‍ධෙ, අවයව වූ ද සමූහ වූ ද පඤ්චවෝකාරභූමියෙහි උපදනා කුශල නාමස්කන්‍ධයන් නිසා; චිත්තසමුට්ඨානං රූපං, චිත්තසමුට්ඨාන රූපය; (උපදී.) කර්‍තෘපාඨයේ අභිධෙය සහජාතයෙහි මෙනි, හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් ගේ සහජාත විප්‍රයුක්තශක්තිය ලැබේ.

කුසලෙන කුසලාබ්‍යාකතයෙහි “ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්ත පච්චයා, චිත්තසමුට්ඨානං රූපං ඛන්‍ධෙ විප්පයුත්තපච්චයා” පදාර්‍ථ: වත්‍ථුං විප්පයුත්තපච්චයා, හෘදය වස්තුව විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම හේතු කොට; ඛන්‍ධා, පඤ්චවෝකාර කුශල නාමස්කන්‍ධයෝ (උපදිති.) ඛන්‍ධෙ විප්පයුත්තපච්චයා; පඤ්චවෝකාර කුසලනාමස්කන්‍ධයන් විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යය වීමෙන්, චිත්තසමුට්ඨානං රූපං,චිත්තජරූපය; (උපදී.) කර්‍තෘපාඨයේ අභිධෙය සහජාතයෙහි මෙනි. හේතුපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිසය යන අවයවවූද සමූහවූද නාමස්කන්‍ධයන් ගේ සහජාත විප්‍රයුක්ත ශක්තියද, පශ්චිම පශ්චිම වූ කුසල් සිත් එක්විස්සට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපන් හෘදයවස්තුව ගේ ද, මරණාසන්න කුශල ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් හහෘදය වස්තුව ගේ ද, පුරේජාත විප්‍රයුක්ත ශක්තිය ද ලැබේ.

අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨාභිධෙය පුරේජාතයෙහි මෙනි.

අකුසලෙන අබ්‍යාකතයෙහි අභිධෙය සහජාතයෙහි මෙනි. හේතුපාඨයෙහි චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන්ගේ සහජාත විප්‍රයුක්ත ශක්තිය ලැබේ.

අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨාභිධෙය සහජාතයෙහි මෙනි. චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් ගේ සහජාත විප්‍රයුක්ත ශක්තිය ද, පශ්චිම පශ්චිම දොළොස් අකුසලයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුවෙහි හා මරණාසන්න අකුසල ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් හෘදය වස්තුවෙහි පුරේජාත විප්‍රයුක්ත ශක්තිය ද ලැබේ.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි “ඛන්‍ධාවත්‍ථුං විප්පයුත්තපච්චයා චිත්තසමුට්ඨානං රූපං ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා” පදාර්‍ථ: වත්‍ථුං, ෂට්වස්තුව; විප්පයුත්තපච්චයා, විප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; ඛන්‍ධා, පඤ්චවෝකාර විපාක ක්‍රියා නාමස්කන්‍ධයෝ (උපදිති.) ඛන්‍ධෙ, පඤ්චවෝකාර විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්; විප්පයුත්තපච්චයා, විප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; චිත්තසමුට්ඨානං රූපං, චිත්තසමුට්ඨාන රූපය; (උපදී.)

කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක වර්ජිත විපාකසිත් දෙසිත ය ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය, යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විපාක සිත් දෙතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුතිවර්ජිත විපාකසිත් දෙවිස්ස ය, ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන්ගේ සහජාත විප්‍රයුක්තශක්තිය ද, චක්‍ෂුර්විඥානද්වයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක චක්‍ෂුර් වස්තුව ය -පෙ- කාය විඥාන ද්වයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක කායවස්තුව ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත පශ්චිම පශ්චිම විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව ය, මරණාසන්න කාලයෙහි පඤ්චවෝකාර භවාඞ්ග පසළොස ය, ආවර්ජනද්වය ය, සම්ප්‍රත්‍යේක්‍ෂණද්වය ය, සන්තීරණත්‍රය ය, ව්‍යවස්ථාපනය ය, මරණාසන්නජවන පස ය, තදාරම්මණය ය, ච්‍යුතිය ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් හෘදය වස්තුව ය යන මොවුන් ගේ පුරේජාත විප්‍රයුක්ත ශක්තිය ද ලැබේ.

ප්‍රතිසන්‍ධි කාලයෙහි “ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්තපච්චයා, කටත්තා රූපං ඛන්‍ධෙ විප්පයුත්තපච්චයා” පදාර්‍ථ: වත්‍ථුං විප්පයුත්තපච්චයා, හෘදයවස්තුව විප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; ඛන්‍ධා, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ; (උපදිති) ඛන්‍ධෙවිප්පයුත්තපච්චයා, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් විප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; කටත්තා රූපං, කෘතත්‍වාත් රූපය; (උපදී.)

කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිසිත් පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද නිසා උපදනා වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිසය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොසය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද, නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහු ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ සහජාත විප්‍රයුක්ත ශක්තිය ලැබේ.

ප්‍රතිසන්‍ධිකාලයෙහි ශේෂය “ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා, ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්ත පච්චයා, වත්‍ථු ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා” පදාර්‍ථ: ඛන්‍ධෙ පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් නිසා; වත්‍ථු, හෘදය වස්තුව (උපදී.) වත්‍තුං පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් හෘදය වස්තුව නිසා, ඛන්‍ධා, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ; (උපදිති.) වත්‍ථුං විප්පයුත්තපච්චයා, හෘදයවස්තුව විප්පයුත්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; ඛන්‍ධා, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ; (උපදිති) ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් විප්පයුත්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; වත්‍ථු, හෘදය වස්තුව; (උපදී.)

ශුද්ධරූපවාරයෙහි “මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා රූපං ඛන්‍ධෙ විප්පයුත්තපච්චයා” පදාර්‍ථ: ඛන්‍ධෙ, පඤ්චවෝකාර විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්; විප්පයුත්තපච්චයා, විප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වීමෙන්; මහාභූතෙ පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් මහාභූතයන් නිසා, චිත්තසමුට්ඨානං රූපං, සිතින් උපදනා රූපය ද; කටත්තා රූපං, කර්‍මජරූපය ද; (උපදී)

කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා සුදුසු පරිදි උපදනා කර්‍මජ මහා භූතයෝ ය, යන මොවුන් නිසා උපදනා වූ චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් ගේ සහජාත විප්‍රයුක්ත ශක්තිය ලැබේ.

කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් ගේ සහජාත විප්‍රයුක්ත ශක්තිය ලැබේ.

අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි හේතුපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් ගේ සහජාත විප්‍රයුක්ත ශක්තිය ලැබේ.

විප්පයුත්ත ප්‍රත්‍යය නිර්‍දෙශය නිමි.