විපාක ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන මේ ධර්‍මයන්හි ද, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි ද සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(2) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාකසිත් සතිස ය චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධයන්හි ද හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි ද සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(3) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි විපාක නාමස්කන්‍ධයන්හි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(4) චිත්තජරූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය යන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපචිත්ත ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත පඤ්චවෝකාර විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්හිද සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(5) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

මේ විපාක ප්‍රත්‍යය ඝටනා පස ය.