2. ආරම්මණ ප්‍රත්‍යය

star_outline

සිත නම් අරමුණු දැනීම ය. දැනීමය යනු ද එක්තරා ගැනීමෙකි. දැකීම ය ඇසීම ය යන මේවා ද දැනීම්ම ය. දැනීම යම්කිසි අන් දෙයක් පිළිබඳ වූවකි. දත යුතු වූ අන් දෙයක් නැති කල්හි නොලත් කල්හි දැනීමක් නො විය හැකිය. දැනීමක් ඇති විය හැකිවීමට දත යුතු දෙයක් ලැබිය යුතුම ය. ආරම්මණය යි කියනුයේ සිතින් ගන්නා වූ දේවලට ය. අරමුණක් නො ලැබ සිතකට නූපදිය හැකි බැවින් අරමුණ සිත් ඇතිවීමට මහත් උපකාරයෙකි. චෛතසිකයෝ ද සිත හා බැඳී සිතට අනුව අරමුණු ගනිමින් ම ඒ ඒ කෘත්‍යය සිදු කරන්නෝ ය. ඒවාට ද අරමුණ නොලැබ නූපදිය හැකිය. චිත්ත චෛතසිකයන් ගේ ඉපදීමට උපකාරවන බැවින් ආරම්මණයන්ට ආරම්මණප්‍රත්‍යය යි කියනු ලැබේ. ආරම්මණය චිත්ත චෛතසිකයන්ට උපකාර වන්නකැ යි කියන ලද නුමුත් චිත්ත චෛතසිකයන් ඉපද වීමේ උත්සාහයක් එහි නැත්තේ ය. නෙළුම් පතට වැටෙන දිය බින්‍දුව එහි නො තැවරී ලිස්සා වැටෙයි. එයට හේතුව වතුරට ඇලීමට ඉඩ දෙන ස්වභාවයක් එහි නැති බව ය. වස්ත්‍රයකට වැටෙන දිය බින්‍දුව එහි ඇලෙ යි. එයට හේතුව වස්ත්‍රයෙහි ඇති ජලයට තැවරීමට ප්‍රවේශ වීමට ඉඩ දෙන ස්වභාවය යි. වස්ත්‍රයෙහි ඇති ජලයට ඉඩ දෙන ස්වභාවය සේ රූපාදීන්හි ද සිතට ගැනීමට ඉඩ දෙන සිතට ගැනීමට යෝග්‍යවන ස්වභාවයක් ඇත්තේ ය. ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය ය යි කියනුයේ එයට ය. ස්වභාව ධර්‍ම වශයෙන් හා අස්වාභාව ධර්‍ම වශයෙන් ද ලොව ඇති සියල්ලෙහි ම ඒ ශක්තිය ඇත්තේ ය. එ බැවින් චිත්ත චෛතසිකයන්ගේ අරමුණු බවට නො පැමිණෙන කිසිවක් ලොව නැත්තේ ය. සියල්ලම ආරම්මණ ප්‍රත්‍යයෝ ය. අරමුණු නිසා අරමුණක් ගනිමින් උපදනා සිත ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්නයක් වතුදු එය අන් සිතකට අරමුණු වීම් වශයෙන් ආරම්මණ ප්‍රත්‍යය ද වේ. ආරම්මණ ප්‍රත්‍යය ධර්‍මයන් අතුරෙන් චිත්ත චෛතසිකයෝ ආරම්මණප්‍රත්‍යය ද වෙති. ප්‍රත්‍යයෝත්පන්නයෝ ද වෙති. රූප නිර්‍වාණ ප්‍රඥප්ති හා ආරම්මණ ප්‍රත්‍යය පමණක් වෙති. ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. ආරම්මණ ප්‍රත්‍යය වන ධර්‍මයන්හි ඇති ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය ද සියල්ලෙහි සමාන නො වේ. ඇතැම් ධර්‍මයක ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය අධිකව ඇත්තේ ය. ඇතැම් ධර්‍මයන් හි එය මඳ ය. ආරම්මණ ශක්තිය අධික ධර්‍මයන් නිසා බොහෝ චිත්තචෛතසිකයෝ උපදිති. එය මඳ වූ ධර්‍මයන් නිසා මඳක් චිත්තචෛතසිකයෝ උපදිති. ලෝකයෙහි සිත් ඇදගන්නා දේවල් හැටියට සලකන වස්තූහු ආරම්මණ ශක්තිය අධික වස්තූහු ය. ආරම්මණාධිපති ප්‍රත්‍යය වන ධර්‍මයෝ ද ආරම්මණ ශක්තිය අධික ධර්‍මයෝ ය. ආරම්මණාධිපති ප්‍රත්‍යය භාවයට නො පැමිණෙන ධර්‍මයෝ ආරම්මණ ශක්ති හීනයෝ ය.

ත්‍රිරාශියෙහි ආරම්මණ ප්‍රත්‍යය වශයෙන් කියන ලද ධර්‍ම සියල්ල ම ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් කියන ලද චිත්ත චෛතසික සියල්ලට ම සමාන ව ප්‍රත්‍යය නො වන්නේ ය. එ බැවින් එහි විභාගය ද දත යුතු ය. ඒ මෙසේ ය.

චක්‍ෂුර්ද්වාරික සිත් ස සාළියට ප්‍රත්‍යුත්පන්න රූපය හෙවත් වර්‍ණායතනය ආරම්මණ ප්‍රත්‍යය වේ. ශ්‍රෝත්‍රද්වාරික චිත්තයන්ට වර්‍තමාන ශබ්දය ආරම්මණ ප්‍රත්‍යය වේ. ඝ්‍රාණද්වාරික චිත්තයන්ට වර්‍තමාන ගන්‍ධය ආරම්මණප්‍රත්‍යය වේ. ජිහ්වාද්වාරික චිත්තයන්ට වර්‍තමාන රසය ආරම්මණ ප්‍රත්‍යය වේ. කායද්වාරික චිත්තයන්ට ස්ප්‍රෂ්ටව්‍යය යි කියනු ලබන වර්‍තමාන පඨවි තේජෝ වායෝ යන භූත රූප තුන ආරම්මණ ප්‍රත්‍යය වේ. මනෝද්වාරික චිත්තයන්ට වර්‍තමාන වූ ද අතීත වූ ද අනාගත වූ ද කාලත්‍රයට අයත් නො වන්නා වූ ද පරමාර්‍ථ වූ ද අපරමාර්‍ථ වූ ද සකල ධර්‍මයෝ ම ආරම්මණ ප්‍රත්‍යය වෙති. ද්වාරවිමුක්ත චිත්තයෝ ය යි කියනු ලබන ප්‍රතිසන්‍ධි භවාඞ්ග ච්‍යුති කෘත්‍යයන් ඇත්තා වූ සිත් එකුන් විස්සට අතීත භවයෙහි මරණාසන්න කාලයේ දී වැටහුණු කර්‍මය කර්‍ම නිමිත්තය ගති නිමිත්තය යන තුන ආරම්මණ ප්‍රත්‍යය වේ. එක් පුද්ගලයෙකු ගේ ප්‍රතිසන්‍ධ්‍යාදි සිත්වලට කර්‍මාදි තුනෙන් එකක් පමණක් ආරම්මණ ප්‍රත්‍යය වන බව සැලකිය යුතු ය.

දොළොස් අකුසල් සිත්වලට නව ලෝකෝත්තර ධර්‍මය හැර ඉතිරි සියල්ල ආරම්මණ ප්‍රත්‍යය වේ. අහේතුක සිත් වලින් චක්‍ෂුර්විඥානද්වයට වර්‍තමාන වර්‍ණය ද, ශ්‍රෝත්‍ර විඥානද්වයට වර්‍තමාන ශබ්දය ද, ඝ්‍රාණවිඥානද්වයට වර්‍තමාන ගන්‍ධය ද, ජිහ්වාවිඥානද්වයට වර්‍තමාන රසය ද, කායවිඥානද්වයට වර්‍තමාන ස්ප්‍රෂ්ටව්‍යය ද ආරම්මණ ප්‍රත්‍යය වේ. සම්ප්‍රත්‍යෙෂණද්වයට හා පඤ්චද්වාරාවර්ජනයට වර්‍තමාන රූපාදි පඤ්චාරම්මණය ම ආරම්මණ ප්‍රත්‍යය වේ. සන්තීරණ තුනට හා හසිතෝත්පාද චිත්තයට කාමාවචර ධර්‍ම සියල්ලම ආරම්මණ ප්‍රත්‍යය වේ. මනොද්වාරාවර්ජන චිත්තයට සියල්ල ම ආරම්මණ ප්‍රත්‍යය වේ. මහා කුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵලයෙන් අන්‍ය වූ සියල්ල ම ආරම්මණ ප්‍රත්‍යය වේ. ඥාන විප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතරට ලෞකික ධර්‍ම සියල්ල ආරම්මණ ප්‍රත්‍යය වේ. මහා විපාක සිත් අටට කාමාවචර ධර්‍ම ආරම්මණ ප්‍රත්‍යය වේ. ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරට ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සියල්ල ම ආරම්මණ ප්‍රත්‍යය වේ. ඥාන විප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරට ලෞකික ධර්‍ම සියල්ල ආරම්මණ ප්‍රත්‍යය වේ.

රූපාවචර ප්‍රථමධ්‍යාන සිත් තුනට දස කසිණ ය, දශාශුභ ය, කේශාදි කොට්ඨාස ය, ආශ්වාස ප්‍රශ්වාස ය, මෛත්‍රී කරුණා මුදිතාවන්ට අරමුණු වන සත්ත්‍වප්‍රඥප්තිය ය යන ප්‍රඥප්ති පස්විස්ස ආරම්මණ ප්‍රත්‍යය වේ. රූපාවචර ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන සිත් නයට දස කසිනය ය, ආශ්වාස ප්‍රශ්වාසයය, මෛත්‍රීකරුණාමුදිතාවන්ට අරමුණු වන සත්ත්‍ව ප්‍රඥප්තිය ය යන ප්‍රඥප්ති තුදුස ආරම්මණ ප්‍රත්‍යය වේ. රූපාවචර පඤ්මධ්‍යාන සිත් තුනට දසකසිණය ය, ආශ්වාස ප්‍රශ්වාසය ය, උපේක්‍ෂා බ්‍රහ්මවිහාරයට අරමුණු වන සත්ත්‍ව ප්‍රඥප්තිය ය යන ප්‍රඥප්ති දොළස ආරම්මණ ප්‍රත්‍යය වේ. රූපාවචර පඤ්චමධ්‍යාන කුශලාභිඥා චිත්තයට අර්‍හන්මාර්‍ගය හා අර්‍හත්ඵලය හැර සකල ධර්‍මයෝ ම ආරම්මණ ප්‍රත්‍යය වෙති. රූපාවචර පඤ්චම ධ්‍යාන ක්‍රියාභිඥා චිත්තයට සකල ධර්‍මයෝ ම ආරම්මණ ප්‍රත්‍යය වෙති.

අරූපාවචර සිත් අතුරෙන් ආකාසානඤ්චායතන සිත් තුනට ආකාස කසිණයෙන් අන්‍ය වූ කසිණ නවය උද්ඝාටනය කොට ලබන ආකාශ ප්‍රඥප්තිය ආරම්මණ ප්‍රත්‍යය වේ. විඤ්ඤාණඤ්චායතන කුශල චිත්තයට ඒ සන්තානයෙහි වර්‍තමාන භවයේ හෝ අතීත භවයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුසල චිත්තය ආරම්මණ ප්‍රත්‍යය වේ. විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තයට අතීත භවයෙහි ඒ සන්තානයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුසලය ආරම්මණ ප්‍රත්‍යය වේ. විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයට වර්‍තමාන භවයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුසලය හා වර්‍තමාන භවයෙහි ඇති වූ ආකාසානඤ්චායතන ක්‍රියා චිත්තය ද ආරම්මණ ප්‍රත්‍යය වේ. ආකිඤ්චඤ්ඤායතන සිත් තුනට ආකාසනඤ්චායතන කුසල ක්‍රියා චිත්තයන්ගේ නාස්තිභාව ප්‍රඥප්තිය ආරම්මණ ප්‍රත්‍යය වේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාක චිත්තයට අතීත භවයෙහි ඇති වූ ආකිඤ්චඤ්ඤායතන කුසලය ආරම්මණ ප්‍රත්‍යය වේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තයට ආකිඤ්චඤ්ඤායතන කුසල ක්‍රියා දෙක ආරම්මණ ප්‍රත්‍යය වේ. ලෝකෝත්තර සිත් අටට නිර්‍වාණය ආරම්මණ ප්‍රත්‍යය වේ.

“චිත්තචෙතසිකා ආගන්ත්‍වා රමන්ති එත්‍ථා ති ආරම්මණං” යනු ආරම්මණ ශබ්දය ආචාර්‍ය්‍යවරයන් විසින් විග්‍රහ කරන ආකාරය යි. ආ පූර්‍ව රමු ධාතුව කෙරෙන් අධිකරණාර්‍ථයෙහි යු ප්‍රත්‍යය වී එයට අනාදේශ වී මකාරය ද්විත්‍ව ව නකාරයට ණකාරවී ආරම්මණ ක්‍රියා සිද්ධයි. මේ වෛය්‍යාකාරණිකයන් එහි සිද්ධිය දක්වන අයුරු ය. චිත්ත චෛතසිකයෝ අවුත් යමක ඇලේ ද එය ආරම්මණ නම් වේය යනු විග්‍රහ වාක්‍යයේ තේරුම ය. චිත්තචෛතසිකයෝ උපදින්නට කලින් ඇත්තාහු නො වෙති. උපන් චිත්තචෛතසිකයන් ගේ ද ගමනක් නැත. චිත්තචෛතසිකයන් උපදින්නේ ආරම්මණය ගනිමින් ම ය. එ බැවින් චිත්තචෛතසිකයෝ අවුත් ඇලෙති යි කීම පර්‍ය්‍යාය කථාවෙකි. චිත්තචෛතසිකයන් ඇලෙතැ යි කියන ලදුයේ ලෝභයේ ඇලීම බඳු ඇලීමකට නො ව ආරම්මණ ග්‍රහණ මාත්‍රයට ය. අරමුණ නො ගෙන අරමුණෙහි නො ගැටී චිත්තචෛතසිකයෝ කිසිකලෙක නූපදිති. ඔවුන්ගේ ඒ අරමුණ නො හරනා බව එහි ඇලීමක් කොට ගෙන අරමුණ චිත්තචෛතසිකයන් ඇලෙනා තැනක් සැටියට කියනු ලැබේ. ධාතු පොත්වල “රමු කීළායං” යි රමු ධාතුවේ අර්‍ථය දක්වා තිබේ. ඒවායේ අදහස් කරන ක්‍රීඩනය ඇල්ම මිස අනෙකක් නො වන බව දත යුතු. ආරම්මණ පච්චයො යනු “ආරම්මණං ච තං පච්චයො චා ති ආරම්මණ පච්චයො” කියා ද “ආරම්මණං හුත්‍වා පච්චයො ආරම්මණ පච්චයො” කියා ද පෙර කී පරිදි විග්‍රහ කරනු.