අන්‍යයන්ට ඔවුන් ගේ කැමැත්තේ සැටියට හැසිරෙන්නට නො දී ඔවුන් තමන් ගේ කැමැත්තේ සැටියට හසුරුවන රාජාදීහු අධිපතීහු නම් වෙති. රාජාදීන්ට ඇති අනුන් තමන් ගේ කැමැත්තේ සැටියට හැසිරවීමේ බලය අධිපති ශක්තිය ය, අධිපති බව ය. අනුන් ස්වවශයෙහි පවත්වන රාජාදීන්ට මෙන් අන්‍ය නාමරූප ධර්‍මයන් ස්වවශයෙහි පැවැත්වීමේ ශක්තිය පැවැත්වීමේ බලය ඇති නාමරූප ධර්‍මයෝ ද ඇත හ. ඔවුන්ගේ ඒ අධිපති ශක්තිය නිසා ඔවුනට අනුකූල වීම් වශයෙන් උපදනා ධර්‍මයෝ ද වෙති. ඒ ධර්‍මයන් ගේ ඉපදීමට අධිපති ශක්තිය ඇති ධර්‍මය හේතු වන බැවින් අධිපති ශක්තිය ඇත්තා වූ ධර්‍මයට අධිපති ප්‍රත්‍යය යි කියනු ලැබේ.
ඒ අධිපති ප්‍රත්‍යය ද ආරම්මණාධිපති ප්‍රත්‍යයය, සහජාතාධිපති ප්‍රත්‍යය ය යි දෙවැදෑරුම් වේ. මඟ යන්නකු විසින් යම්කිසි තැනක දී වටිනා මාණික්‍ය රත්නයක් දුට හොත් එය ඔහුට මඟ දෙපස වැටී තිබෙනු දුටු වියලි පත් සේ අමතක නො වෙයි. එය ඔහුට නැවත නැවත සිහි වෙයි. නැවත නැවත සිහිවීමය යි කියනුයේ ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි දුටු මාණික්‍ය රත්නය ගැන නැවත නැවත සිත් පහළ වීම ය. මඟ දෙපස දුටු බොහෝ වියලි කොළ ගැන නැවත නැවත සිත් පහළ නොවන්නේ ඒවා දුටු මාත්‍රයෙන් ම අමතක වී යන්නේ නැවත නැවත තමන් සිහි කරවන ශක්තියක් ඒවායේ නැති බැවිනි. මාණික්‍යරත්නය දුටුවහුට අමතක නො වන්නේ නැවත නැවත සිහි වන්නේ එහි දුටු තැනැත්තාට අමතක නො කරවන දුටු තැනැත්තා ලවා නැවත නැවත සිහි කරවන ශක්ති විශේෂයක් ඇති බැවිනි. ඒ ශක්තිවිශේෂය නම් එහි ඇති ගරු කළ යුතු බව ය. ඒ ගරු කළ යුතු බව අනුන්ගේ සිත් තමා කරා යොමු කරවන්නා වූ ඇදගන්නා වූ ස්වභාවයෙකි. මාණික්‍ය රත්නයෙහි සේ සිත් ඇදගන්නා බලය ඇති බොහෝ නාම රූප ධර්‍මයෝ වෙති. ඒ ධර්‍මයන් ගේ ඒ සිත් ඇදගන්නා බලයට අනුකූලවීම් වශයෙන් ඒ ධර්‍මයන් අරමුණු කොට බොහෝ චිත්ත චෛතසිකයෝ උපදිති. ඒ ධර්‍මයන් ගේ ඒ චිත්ත චෛතසිකයන් අනුකූල කරවන්නා වූ ස්වභාවය චිත්ත චෛතසිකයන් විෂයෙහි ඇති අධිපති බවෙකි. එ බැවින් අන්‍ය චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන ස්වභාවය ඇති ගරු කළ යුතු වූ ධර්‍මයනට ආරම්මණාධිපති ප්‍රත්‍යය යි කියනු ලැබේ.
ත්‍රිරාශියෙහි ආරම්මණාධිපති ප්‍රත්‍යය වශයෙන් දැක්වෙන ධර්‍මයන් අරමුණු කරන සිත් ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් දක්වා තිබෙන සිත් හැර තවත් බොහෝ ඇත්තේ ය. ඒ සිත් ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් නො ගෙන හැර තිබෙන්නේ යම්කිසි ධර්‍මයක් ගරු කොට අරමුණු කිරීමට ඒ සිත් අපොහොසත් බැවිනි. ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් දැක්වෙන සිත්වලින් ද සැම කල්හි ම ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න වන්නේ ලෝකෝත්තර සිත් අට පමණෙකි. ඒ සිත් සෑම කල්හි ම නිවන ගරු කොට අරමුණු කරන බැවිනි. ඉතිරි සිත් ගරු කළ යුතු ධර්‍මයන් ගරු කර අරමුණු කරන අවස්ථාවෙහි ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න වේ. ගරු කොට අරමුණු නො කරන අවස්ථාවෙහි ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න නො වේ. රහත්හු ලෝකෝත්තර ධර්‍ම මිස ලෞකික ධර්‍මයන් ගරු කොට අරමුණු නො කරති. ඥාන විප්‍රයුක්ත චිත්තයෝ ලෝකෝත්තර ධර්‍ම අරමුණු කිරීමෙහි සමත් නො වෙති. එ බැවින් මහා ක්‍රියා ඥාන විප්‍රයුක්ත චිත්තයෝ ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති.
ත්‍රිරාශියෙහි ආරම්මණාධිපති ප්‍රත්‍යය වශයෙන් දක්වන ලද ධර්‍මයන් ප්‍රත්‍යයෝත්පන්නයන්ට ප්‍රත්‍යය වීම පිළිබඳ වූ විභාගය පච්චයත්‍ථ පකාසිනියෙහි මෙසේ දක්වා තිබේ.
“සෙජං තිපාකං තික්‍රියයං චතුරූපඤ්ච සෙජිනො
තිපුඤ්ඤං කාමපුඤ්ඤස්ස සෙජස්සාධිපතී භවෙ.
උත්තරං ධීයුත්තඩ්ඪන්නං නිබ්බානං උත්තරස්ස ච”
මේ ගාථාවහෙි ‘සෙජං’ යනුවෙන් දැක්වෙන්නේ ලෝභ මූල චිත්තය ය. එජා යනු ලෝභයට නමෙකි. එජා නම් වූ ලෝභය හා යුක්ත වන්නේ සේජ නම් වේ. ගාථාවෙහි අදහස මෙසේ ය:-
ලෞකික කුසල් සිත් සතළොස ය, දුඃඛ සහගත කායවිඥානයෙන් අන්‍ය වූ ලෞකික විපාක සිත් එක් තිස ය. ලෝභ මූල සිත් අට ය, ඉෂ්ටනිෂ්පන්න රූප අටළොස ය යන මොව්හු ලෝභ මූල සිත් අටට ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති. ලෞකික කුශල චිත්තයෝ මහා කුශල ඥාන විප්‍රයුක්ත සිත් සතරට ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති.
ලෞකික කුශල චිත්තයෝ ය. හෙට්ඨිම ලෝකෝත්තර චිත්තයෝ සදෙන ය. නිවනය යන මොව්හු මහා කුශල ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරට ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති. අර්‍හන්මාර්‍ගය හා අර්‍හත්ඵලය ද නිවන ද යන මොව්හු මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරට ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති.
කාමාවචර කුශල චිත්තය හා මහා ක්‍රියා චිත්තය ද ලෝකෝත්තර චිත්තය ද ඒ ඒ දෙය ගරුකොට අරමුණු කරනුයේ ඒ ඒ ධර්‍මයන්හි ඇති උසස් බව නිසා ය. ලෝභමූල චිත්තය ඒ ඒ දෙය ගරු කොට අරමුණු කරනුයේ ආස්වාදනීය භාවය නිසා ය. එ බැවින් සුනඛාදීන් කෙරෙහි ඇති වන ලෝභමූල චිත්තය අසුචිය ද ගරු කොට අරමුණු කරන්නේ ය. අසූචියෙහි සුනඛාදීන්ට ආස්වාදනීය භාවයක් ඇති බව එහි ඇති ගරු කළ යුතු බව ය.
ගරු කොට අමුණ කරන කුශලාදි ධර්‍මයනට ඒ ඒ ධර්‍ම අධිපති ප්‍රත්‍යය වන සැටි මෙසේ ය :- දන් දීම්, සිල් රැකීම්, පෙහෙවස් විසීම් ආදී පින් කම් කොට ඒවා උසස්කොට සිතීමෙහි ද අනුන් කළ පින් කම් උසස් කොට සිතීමෙහි ද කාමාවචර කුශලය කාමාවචර කුශලයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. ධ්‍යානලාභීන් ධ්‍යානයෙන් නැගී එය උසස් කොට සිතීමෙහි දී ශෛක්‍ෂයන් තම තමන් ගේ මාර්‍ගයන් උසස් කොට සිතීමෙහි ද රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුශලයෝ කාමාවචර කුශලයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති. කුශලය කොට එය ගරු කොට ලෝභ සහගත චිත්තයෙන් ආස්වාදනය කරන කල්හි ද එයට සතුටු වන කල්හි ද මම කුශලය කෙළෙමි යනාදීන් දෘෂ්ටිය උපදනා කල්හි ද කුශලය ලෝභමූල චිත්තයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. රාගය උසස් කොට ආස්වාදනය කිරීම ය, එයට සතුටු වීම ය, දෘෂ්ටිය උසස් කොට ගෙන එයට සතුටු වීම ය යනාදීන්හි ලෝභමූල චිත්තයම ලෝභමූල චිත්තයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. විස්තර පඤ්හාවාරයෙන් දත යුතු ය.
ඡන්‍දය චිත්තය විරියය වීමංසය යි අධිපති ධර්‍ම සතරෙකි. ඒවායේ අධිපති බව ඇත්තේ ඒවා හා එක් ව උපදනා ධර්‍මයන්ට ය. එ බැවින් ඒවාට සහජාතාධිපති ප්‍රත්‍යය යි කියනු ලැබේ. ඡන්‍දාදීන් සහජාත ධර්‍මයනට අධිපති වන්නේ ද ඒවා බලවත් වූ කල්හි ය. දුබල ඡන්‍දාදීහු තමන් හා උපදනා ධර්‍මයනට අධිපති නො වෙති. එ බැවින් ඡන්‍දාදීහු සැම කල්හි ම අධිපති ප්‍රත්‍යය නො වෙති. දීම ගැන බලවත් ඡන්‍දය ඇති තැනැත්තා ඒ ඡන්‍දය නිසා දීම සිදු කරන්නේ ය. ඡන්‍දය චෛතසිකයෙකි. එයට දීමට තබා චිත්තයෙන් වෙන්ව ඉපදීමේ ශක්තිය පවා නැත. දීමක් සිදුවීමට චිත්ත චේතනාදි ධර්‍ම රාශියක් එක වර ඉපදිය යුතු ය. දානච්ඡන්‍දය ඇති තැනැත්තා කෙරෙහි ඒ ඡන්‍දය දීම සඳහා උපදනා කල්හි දාන ක්‍රියාව සිදු කිරීමට ඉපදිය යුතු වූ චිත්ත චේතනාදි ධර්‍මයෝ එයට අනුකූල ව එය හා එක වරම උපදිති. එයින් දානක්‍රියාව සිදු වේ. දානච්ඡන්‍දය නූපදිත හොත් එය හා සමග උපදනා චිත්ත චේතනාදීහු නූපදනාහ. ඒවා දානච්ඡන්‍දය හා උපදිනුයේ චිත්ත චේතනාදි ධර්‍මයන් තමාට අනුකූල කොට ඉපදවීමේ බල විශේෂයක් එහි ඇති බැවිනි. ඒ බල විශේෂයට අධිපති ප්‍රත්‍යය ශක්තිය යි කියනු ලැබේ. චිත්තාදීන් ගේ අධිපති ප්‍රත්‍යය භාවය ද ඡන්‍දයට අනුව සිතා තේරුම් ගත යුතු ය. සමහර චිත්ත වාරවල දී ඡන්‍දා දී ධර්‍ම සතර ම එක වර උපදනේ ය. එහෙත් ඒ සතරට ම එක වර එක් ක්‍රියාවක් පිළිබඳ ව සහජාත ධර්‍මයන්ට අධිපති නො විය හැකි බැවින් එක් වරක දී එයින් එකක් පමණක් අධිපති ප්‍රත්‍යය වන්නේ ය. සෙස්සෝ තමතමන් අධිපති නො වන අවස්ථාවේ දී අධිපති වන ධර්‍මයට අනුකූල වීම් වශයෙන් අධිපති ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. ත්‍රිරාශියෙහි ඡන්‍දාදි ධර්‍ම සතර ම අධිපති ප්‍රත්‍යය අධිපති ප්‍රත්‍යයෝත්පන්න දෙපක්‍ෂයට ගෙන තිබෙන්නේ එ හෙයිනි.
අධීනානං පති අධිපති, තමා පිළිබඳ ව පවත්නා ධර්‍මයන්ගේ ස්වාමි තෙමේ අධිපති නමි. අධීන පති යි කිවමනා තන්හි ඊකාරය හ්‍රස්ව ව නකාරය ලොප් ව අධිපති ක්‍රියා වේ:- අධිකො පති අධිපති කියා ද විග්‍රහ කෙරෙති. අධික වූ ස්වාමි තෙමේ අධිපති නම් වේය යනු එහි තේරුම ය. ඊශ්වරත්‍වය ශ්‍රද්ධාදි ධර්‍මයන්හි ද ඇත්තේ ය. ඡන්‍දාදි ධර්‍මයන්හි ද ඇත්තේ ය. ශ්‍රද්ධාදීහු තමා විසින් සිදු කරන කෘත්‍ය විෂයෙහි අන්‍යධර්‍මයනට ඊශ්වර වෙති. එ සේ ඊශ්වර වෙමින් ම ඔව්හු අන්‍ය ධර්‍මයන් ගේ කෘත්‍ය විෂයෙහි ඒ ධර්‍මයනට අනුකූල වෙති. ඡන්‍දාදි ධර්‍මයෝ ඊශ්වරත්‍වය ඇත්තා වූ ශ්‍රද්ධාදීන් ඇතුළු සකල සහජාත ධර්‍ම සමූහයට ම ඊශ්වර වෙති. එ බැවින් ඔව්හු ඉන්‍ද්‍රිය නාමයෙන් දැක්වෙන ඊශ්වරත්‍වය ඇති ධර්‍මයන් ගේ ඊශ්වරත්‍වයට වඩා අධික වූ ඊශ්වරත්‍වයක් හෙවත් ස්වාමිත්‍වයක් ඇත්තෝ ය. අධිපති පච්චය යනු පෙර සේම අධිපති ච සො පච්චයො චා ති අධිපති පච්චයො කියා ද අදිපති හුත්‍වා පච්චයො අධිපති පච්චයො කියා ද විග්‍රහ කළ යුතු ය.