6. සසහජාත ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

සහජාත විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයේ අභිධෙය අවුලනු. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් ගේ සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

කුසලෙන අබ්‍යාකතයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයේ අභිධෙය ආරම්මණයෙහි මෙනි. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් ගේ හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහාභූතයන් ගේ ද සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසිපසෙකි.

කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයේ අභිධෙය හේතුවෙහි මෙනි. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් ගේ ද ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන සතර මහාභූතයන් ගේ ද සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවර දෙසිය දසයෙකි.

අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයේ අභිධෙය ආරම්මණයෙහි මෙනි. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන අකුසල් සිත් දොළොස ය. චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් ගේ සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි. අකුසලෙන අබ්‍යාකත වාරයෙහි අභිධෙය අවුලනු.

අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය අවුලනු. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

අබ්‍යාකතෙන අබ්‍යාකත වාරයෙහි අබ්‍යාකතය ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි ශුද්ධරූප වශයෙන් තෙවැදෑරුම් වේ. ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් විපාක සිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය. චෛතසික අටතිස ය අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා විපාක සිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන්ගේ ද ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ද ප්‍රත්‍යය වන මහාභූතයෝ ය යන මොවුන්ගේ සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද නිසා උපදනා වූ ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත්රූපයෝ ද යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් ගේ ද ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහාභූත සතරෙහි ද ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගේ හා හෘදය වස්තුව ගේ ද සහජාත ශක්තිය ලැබේ, ස්කන්‍ධවාර දෙසිය සතළිසකි.

ශුද්ධරූපවාරයෙහි අබ්‍යාකතො ධම්මො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය, බාහිර මහාභූතයෝ ය, සෘතුජ මහාභූතයෝ ය, ආහාරජ මහා භූතයෝ ය අසංඥ සත්ත්‍ව කර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥ සත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. හේතු පාඨයෙන් චිත්තජරූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාකක්‍රියා නාමස්කන්‍ධයෝ ය ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන මහාභූතයෝ ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර එකසියපසෙකි. චිත්තජ මහාභූතයන්හි වාර පසළොසකි. ඉතිරි මහාභූත කොටස් සයෙහි ද ඒකක වාර පසළොස බැගින් ම වීමෙන් එකසියපස වේ. කුසලාබ්‍යාකත පද වාරයෙහි ද හේතුප්‍රත්‍යය අනු ව අභිධෙය අවුලනු. හේතුපාඨයෙන් චිත්තජරූපයන් ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන මහාභූතයෝ ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ සහජාත ශක්තිය ලැබේ. කුසලාබ්‍යාකත පද වාරය ද එසේ ම ය.

සහජාත විභඞ්ගය නිමි.