කරදාසි ආදිය චිත්‍ර රූපාදියේ පිහිටීමට උපකාර වන්නාක් මෙන් පිහිටීමට තැනක් ලැබිය යුතු ධර්‍මයනට පිහිටීමට ස්ථාන වන ධර්‍මය නිඃශ්‍රය ප්‍රත්‍යය ය. එය සහජාත නිඃශ්‍රය පුරේජාත නිඃශ්‍රය වශයෙන් දෙවැදෑරුම් වේ. තමා හා එක් ව උපදනා ධර්‍මයකට පිහිටීමට උපකාර වන ධර්‍මය සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ය. තමාගෙන් පසුව ඇතිවන ධර්‍මයක පිහිටීමට උපකාර වන පූර්‍වයෙහි හටගත් ධර්‍මය පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ය. රටාවය යි කියනු ලබන වියුමෙන් හටගන්නා චිත්‍රයේ පිහිටීමට උපකාර වන පැදුර මෙන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය දත යුතුය. පැදුර ඇතිවන්නේ ද චිත්‍රය ඇති වන්නේ ද වියුමෙනි. එකවර ඇති වන්නා වූ ඒ දෙකින් පැදුර චිත්‍රයට නිඃශ්‍රයය, හෙවත් පිහිටීමට ස්ථානය වේ. පසු ව ඇතිවන චිත්‍ර රූපයන් ගේ පිහිටීමට උපකාර වන කරදාසිය මෙන් පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය දත යුතු ය.
චිත්ත චෛතසික රූපයන් අතර අනෙකක් නිඃශ්‍රය කර නො ගෙන උපදනා ධර්‍මයක් නැත. නිඃශ්‍රයයකින් තොර ව ඉපදිය හැකි ශක්තියක්ද ඒවාට නැත. උපදනාවූ සකල ධර්‍මයෝ ම සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යයට ද සහජාත ප්‍රත්‍යයට මෙන් ම ප්‍රත්‍යනික ධර්‍ම නැත්තේය. නෙළුම්පත තමා මතුයෙහි වැටෙන දිය බින්‍දුවලට තමා අල්ලා ගැනීමට නො දෙන්නාක් මෙන් එක් ව උපදනා ධර්‍මයන්ට තමා වැළඳ ගැනීමට ඉඩ නොදී ඒවා තල්ලු කර හරින ස්වභාවයට ප්‍රතිපක්‍ෂ වූ වස්ත්‍රයෙහි ඇති සායමට තමන් වැළඳ ගැනීමට ඉඩ දෙන ස්වභාවය බඳු ස්වභාවයක් බොහෝ රූපාරූප ධර්‍මයන්හි ඇත්තේ ය. එය නිඃශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ය. ඒ ශක්තිය ඇති නිසා එක් ව උපදනා චිත්ත චෛතසිකයෝ ඔවුනොවුන්ට නිඃශ්‍රය ප්‍රත්‍යය වෙති. එක්ව උපදනා මහා භූතයෝ ද ඔවුනොවුන්ට නිඃශ්‍රය ප්‍රත්‍යය වෙති. මහා භූතයෝ උපාදාය රූපයන්ට ද නිඃශ්‍රය ප්‍රත්‍යය වෙති. උපාදාය රූපයන්හි ඔවුනොවුන්ට නිඃශ්‍රය වන ස්වභාවය නැත. සිත චිත්තජරූපයන්ට ද නිඃශ්‍රය ප්‍රත්‍යය වෙති. එහෙත් චිත්තජරූපයෝ සිතට නිඃශ්‍රය ප්‍රත්‍යය නො වෙති. චිත්තජරූපයන්ගේ සිත නිඃශ්‍රය කරගෙන පැවැත්ම ආලෝකයේ ප්‍රදීපය නිඃශ්‍රය කරනෙග පැවැත්ම මෙන් දත යුතු ය. එය චිත්ත චෛතසිකයන් ඔවුනොවුන්ට නිඃශ්‍රයවීමෙහි දී ඔවුනොවුන් ගිල ගෙන නිඃශ්‍රය වන ස්වභාවයට වෙනස් ස්වභාවයකි. ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ඇති නුවුවහොත් ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ඇති නො වෙති. ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන් ඇති වන්නේ ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගේ උපකාරයෙන් ඒවායේ එල්ලී ගෙන ය. එබැවින් ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ද ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට නිඃශ්‍රය ප්‍රත්‍යය වෙති. හෘදය වස්තුවෙන් අන්‍යවූ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට නිඃශ්‍රය නො වෙති. ප්‍රතිසන්‍ධි කාලයේ හෘදය වස්තුව නාමස්කන්‍ධයන්ට ද නාමස්කන්‍ධයෝ හෘදය වස්තුවට ද නිඃශ්‍රය වෙති.
වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය, වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය යයි පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය දෙවැදෑරුම් වේ. පූර්‍වයෙහි ඉපද පසුව උපදනා නාමස්කන්‍ධයන්ට නිඃශ්‍රය වන චක්‍ෂුරාදි වස්තු සය වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ය. සමහර අවස්ථාවක දී තමාගේ නිඃශ්‍රය වස්තුව අරමුණු කොට ද සිත් උපදී. එසේ උපදනා සිත්වලට නිඃශ්‍රය වස්තුව ය අරමුණ ය යන දෙක එකක් ම වේ. චක්‍ෂුරාදි වස්තු පස අරමුණු කරමින් ඒ වස්තූන් නිඃශ්‍රය ද කොට ගෙන සිත් නූපදී. නිඃශ්‍රය වස්තුව ම අරමුණු කොට සිත් උපදිනුයේ හෘදය වස්තුව ඇසුරු කොට ය. එසේ උපදනා සිත්වලට අරමුණය නිඃශ්‍රය ය යන දෙකම වන්නා වූ හෘදය වස්තුරූපයට වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය යයි කියනු ලැබේ. එය තේරුම් ගැනීමට දුෂ්කර වූ ආචාර්‍ය්‍ය මත භේද ඇත්තා වූ ප්‍රත්‍යයෙකි. එය තේරුම් ගත හැකිවීමට චිත්ත වීථි ගැන මනා දැනුමක් තිබිය යුතුය. චිත්තවීථි ගැන දැනුම නැති අයට එය තේරුම් ගත නො හැකි ය.
මරණාසන්න කාලයෙන් මොබ ප්‍රවෘත්ති කාලයෙහි හෘදය වස්තුව ඇසුරු කොට උපදනා සිත්වලට ඒ ඒ සිතට පූර්‍වයෙහි උපන් සිත හා උපන් හෘදය වස්තුරූපය ම නිඃශ්‍රය වන බවය, චිත්තවීථියක උපදනා ජවනය ආවර්ජන චිත්තයට අනුව ආවර්ජනයෙන් ගන්නා ලද අරමුණ ම ගනිමින් උපදනා බව ය, එක් වීථියක සිත්වල අරමුණ වස්තු වශයෙන් හා කාල වශයෙන්න ද වෙනස් නො විය යුතු බව ය, ආවර්‍ජනයක් නැතිව ජවනය ඇති නො වන බව ය යන මේ චිත්තොත්පත්තිය පිළිබඳ වූ නීති සතර මෙහි දී සැලකිය යුතු ය.
තමාගේ නිඃශ්‍රය වස්තුව අරමුණු කොට ආවර්ජන චිත්තයක් ඇති වුව හොත් එයට අරමුණු විය යුත්තේ භවඞ්ගුපච්ඡෙද චිත්තය හා උපන් හෘදය වස්තුව ය. ආවර්‍ජනයට අනතුරුව උපදනා ජවනයට නිඃශ්‍රය විය යුත්තේ ආවර්‍ජනචිත්තයා ගේ උත්පාදයෙහි උපන් හෘදය වස්තුව ය. ඉදින් ජවනය ආවර්‍ජනයටඅ නුව ආවර්‍ජන චිත්තයෙන් ගත් අරමුණ වූ භවාඞ්ගුපච්ඡේදය හා උපන් හෘදය වස්තුව අරමුණු කොට උපදී නම් ඒ ජවනය තමා ගේ නිඃශ්‍රය වස්තුව අරමුණු කරන්නක් නො වේ. ඉදින් ජවනයක් තමාගේ නිඃශ්‍රය වස්තුව අරමුණු කොට උපදී නම් එය ආවර්‍ජනයෙන් ගන්නා ලද අරමුණෙන් අනෙකක් අරමුණු කොට ඉපදීමක් වේ. ආවර්‍ජනයෙන් නො ගන්නා ලද අනෙක් අරමුණක් ගෙන ජවනය ඉපදීම ඉහත කී නියාම ධර්‍මවලට විරුද්ධ ය. චිත්තනියාමය පිළිබඳ වූ ඉහත කී නීතිවලට අනුව තමා ගේ නිඃශ්‍රය වස්තුව අරමුණු කරන චිත්තවීථියකට ඇතිවීමට ප්‍රකෘතිකාලයෙහි අවකාශයක් නැත. මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් මොබ සතළොස් වන චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙන් පසු හෘදය වස්තු රූපයෝ නූපදිති. මරණාසන්න කාලයේ ඇතිවන සකල චිත්තයන්ට ම නිඃශ්‍රය වස්තුව වන්නේ ච්‍යුතිචිත්තයෙන් මොබ සතළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව ය. ඒ අවස්ථාවෙහි දී සිතට නිඃශ්‍රය වන වර්‍තමාන හෘදය වස්තු රූපය අරමුණු කොට චිත්තවීථියක් ඇති වුව හොත් ඒ වීථියේ ආවර්‍ජන ජවන සියල්ලට ම ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තයා ගේ උත්පාදයෙහි උපන් හෘදය වස්තුරූපය ම අරමුණ ද නිඃශ්‍රය වස්තුව ද වන්නේ ය. එ බැවින් ආචාර්‍ය්‍ය වරයෝ වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වශයෙන් මරණාසන්න කාලයෙහි වූ හෘදයවස්තු රූපය ම දැක්වූහ.
යම්කිසිවකුට මරණාසන්න කාලයේ දී තමා ගේ හෘදය වස්තුව අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරන්නා වූ හෝ එයට ඇලුම් කරන්නා වූ හෝ එය ආත්ම වශයෙන් සලකන්නා වූ හෝ සිත් ඇති වුව හොත් ඒ සිත්වලට ච්‍යුතිචිත්තයෙන් මොබ සතළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව ආරම්මණය ද විය හැකි ය. නිඃශ්‍රය ද විය හැකි ය. ඒ අවස්ථාවේ දී ඒ සිත්වලට මරණාසන්න හෘදය වස්තුව වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වේ. සමූහඝන සන්තතිඝන වශයෙන් ඔවුනොවුන් ගෙන් වෙන් කර ගැනීමට දුෂ්කර වූ රූපධර්‍මයන් අතුරෙන් සියුම් රූපයක් වූ මේ හෘදය වස්තුව මරණාසන්න කාලයේ දී වෙන් කොට සිතට ගැනීම අති දුෂ්කර ය. එ බන්දක් සිදු වෙතැ යි සිතීමට ද දුෂ්කර ය. සම්පූර්‍ණ වර්‍තමාන පඤ්චස්කන්‍ධය හෝ රූප කය හෝ අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ හෝ රූප කයට ඇලුම් කරන්නා වූ හෝ එය ආත්ම වශයෙන් ගන්නා වූ හේා සිත් මරණාසන්නයේ දී ද කලාතුරකින් ඇති වන්නට බැරි කමක් නැත. ඒ අවස්ථාවේ දී ඒ සිත්වල නිඃශ්‍රය වස්තුව ද ඒ සිත්වලින් අරමුණු කරන රූප කයේ කොටසක් වීමෙන් ඒ සිත්වල ද අරමුණ වන බැවින් ඒ වස්තුරූපය ආරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය විය හැකි ය. පැරණියන් පට්ඨාන සන්නය සම්පාදනය කර තිබෙන්නේ වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය මරණාසන්න කාලයේ දී ම ලැබෙන සැටියට ගැනීමෙනි. අප විසින් ද මේ පට්ඨාන සන්නය එයට අනුව කරනු ලැබේ.
වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ප්‍රකෘති කාලයේ දී ද ලැබෙන බව කියන ආචාර්‍ත්‍යවරයෝ ද වෙති. ඔවුන් ගේ මතයේ සැටියට ප්‍රකෘති කාලයේ දී වර්‍තමාන හෘදය වස්තු රූපය අනිත්‍ය වශයෙන් හෝ දුඃඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මෙනෙහි කිරීමෙහි දී ද එයට ඇලුම් කිරීමෙහි දී ද එය ආත්ම වශයෙන් සැලකීමෙහි දී ද වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ලැබේ. ප්‍රකෘති කාලයේ උපදනා සිත්වල නිඃශ්‍රය වස්තූන් එකින් එකට වෙනස් බව ඒ ආචාර්‍ය්‍යවරයෝ ද පිළිගනිති. ආවර්‍ජනයට අනුකූල නො වී ආවර්‍ජනයෙන් ගත් අරමුණ හැර අනෙක් අරමුණක් ගෙන ජවනය ඇති නො වන බව ද ආවර්‍ජනයෙන් තොර ව ජවනයක් ඇති නො වන බව ද පිළිගනිති. වර්‍තමාන හෘදය වස්තුව අරමුණු කොට ඇති වන වීථිවල ජවනයන්ට ආවර්‍ජනයෙන් ගන්නා ලද වස්තුරූපය නො ගෙන තමා ගේ නිඃශ්‍රය වූ වස්තු රූපය ගනිමින් ඇති වීමට බාධාවක් නැත ය, ජවනයෙන් ගන්නා වස්තුරූපය ආවර්ජනයෙන් ගත් වස්තුරූපය නොවතුදු වර්‍තමාන වස්තුරූපය ගැනීම් වශයෙන් ඇතිවන බැවින් ඒ ජවනය ආවර්ජනයට අනුකූලව ම ඇතිවන්නක් ය, එසේ ඇතිවන ජවනය ආවර්ජනයෙන් තොර ව ඇතිවන්නක් ද නො වේ ය, වර්‍තමාන වස්තුරූපත්‍වයෙන් තො ව ඇතිවන්නක් ද නො වේ ය, වර්‍තමාන වස්තුරූපත්‍වයෙන් ආවර්ජනයෙන් ගත් වස්තු රූපයට සර්‍වාකාරයෙන් සමාන වස්තුරූපයක් ම ගන්නා බැවින් ආවර්ජන ජවනයන් ගේ අරමුණු වෙනස් වීමේ දෝෂය ද එතැන්හි නො වේ ය යනු ප්‍රකෘති කාලයේ වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ලැබේ ය යි ගන්නා ආචාර්‍ය්‍යවරයන් ගේ අදහස ය.
පච්චයුප්පන්නෙහි නිස්සීයතෙ ති නිස්සයො, කර්‍මසාධන විග්‍රහ යි. නි පූර්‍ව සි ධාතුව කෙරෙන් ණ ප්‍රත්‍යය ව වෘද්ධි හා අයාදේස වීමෙන් නිස්සයො යි සිද්ධයි. ප්‍රත්‍යයෝත්පන්නයන් විසින් ආධාර කර ගන්නා භූමියක් බඳු වූ ධර්‍මය නිස්සය නම් වේ.
පච්චයුප්පන්නෙන සහ ජායතී ති සහජාතො, කර්‍තෘ සාධන විග්‍රහයි. සහ ශබ්දය පූර්‍ව කොට ඇති ජන ධාතුව කෙරෙන් ත ප්‍රත්‍යය ව ධාත්‍වන්තාක්‍ෂරය ලොප් ව සහජාත කියා සිද්ධ වේ. ප්‍රත්‍යයොත්පන්නය හා එක් ව උපදනා ධර්‍මය සහජාත නමි.
සහජාතො ච සො නිස්සයො චා ති සහජාත නිස්සයො. වසන්ති චිත්ත චෛතසිකා එත්‍ථා ති වත්‍ථු, අධිකරණ සාධන විග්‍රහ යි. වස ධාතුව කෙරෙන් රත්‍ථු ප්‍රත්‍යය ව ධාත්‍වන්තය හා රකාරය ලොප් ව වත්‍ථු කියා වේ. මෙහි චිත්ත චෛතසිකයෝ වෙත් නුයි වත්‍ථු නමි. පුරේජාතො ච සො වත්‍ථු චා ති වත්‍ථුපුරේජාතො, වත්‍ථුපුරේජාතො ච සො නිස්සයො චා ති වත්‍ථුපුරේජාත නිස්සයො. වත්‍ථු ච තං ආරම්මණං චාති වත්‍ථාරම්මණං, පුරේජාතංච තං වත්‍ථාරම්මණං චාති වත්‍ථාරම්මණ පුරේජාතං, වත්‍ථාරම්මණං පුරේජාතං ච සො නිස්සයො චාති වත්‍ථාරම්මණ පුරේජාත නිස්සයො. පච්චය ශබ්දය හා උක්තානුසාරයෙන් යොදනු.