3. අධිපතිප්‍රත්‍යය විභඞ්ගය

star_outline

ආරම්මණප්‍රත්‍යය විභඞ්ග වාරයට අනතුරු ව අධිපතිප්‍රත්‍යය විභඞ්ගවාරය වදාළ සේක. විභාග කරනු. කුසලං ධම්මං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා.

අභිධෙයාර්‍ථ

“කුසලො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි වූ මහාකුසල් අටය අධිපතිප්‍රත්‍යය නියමයෙන් ම ලැබෙන මහද්ගත කුශල නවය ය, මාර්‍ග සිත් සතරය ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. “අධිපති පච්චයා” යන හේතුපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාකුශල ඤාණවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ලෞකික කුසල් සිත් සතොළොස ය, ගරු කොට අරමුණු කරන්නා වූ මහා කුශලඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස ය. හෙට්ඨිම ඵල සිත් තුනය නිර්‍වාණය ය යන ධම්මාරම්මණය වූ ප්‍රත්‍යය ධර්‍මයා ගේ ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තිය ද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවහෙි වූ මහා කුශල සිත් අට ය, නියමයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත කුශල නවය ය, මාර්‍ග සිත් සතර ය, චෛතසික අටතිස ය යන මොවුන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ලැබෙන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක් එක් වූ ප්‍රත්‍යය ධර්‍මයන් ගේ සහජාතාධිපති ශක්තිය ද ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

විශේෂ කරුණක්

ග්‍රන්‍ථය කෙටි වීම සඳහා මින් ඉදිරියෙහි ඒ ඒ වාරවලට කුසලෙන කුසල, කුසලෙන අකුසල, කුසලෙන අබ්‍යාකත, කුසලෙන කුසලාබ්‍යාකත, අකුසලෙන අකුසල, අබ්‍යාකතෙන අබ්‍යාකත යනාදි නාම භාවිතා කරනු ලැබේ. ඒවා පූර්‍වාචාර්‍ය්‍යවරයන් භාවිතා කළ නාමයෝ ය.

කුසලෙන අබ්‍යාකත වාරයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල සිත් අට ය නියතයෙන් අධිපතිය ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශල නවය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා සාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. “අධිපති පච්චයා” යන හේතු පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුශල සිත් අට ය නියතයෙන් අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශල තෙළෙස ය, චෛතසික අටතිස ය යන මේ ධර්‍මයන්ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අධිපති ධර්‍ම තුන හා සතර අතුරෙන් එක් එක් අධිපති ධර්‍මයක සහජාතාධිපති ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසිපසෙකි.

කුසලෙන කුසලාබ්‍යාකත වාරයෙහි “කුසලො ච අබ්‍යාකතෝ ච ධම්මා” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් සිත් අට ය, නියතයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශල තෙළෙසය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපතිවන ධර්‍මයෙන් අන්‍යවූ මහාකුසල්සිත් අටය මහද්ගත ලෝකෝත්තර කුසල් තෙළෙස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ද ලැබෙත්. හේතුපාඨයෙන් ආරම්මණාධිපති සහජාතාධිපති ශක්තීහු ගත යුතු. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

අකුසලෙන අකුසල වාරයෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය, දෝසමූල සිත් දෙක ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපති වන ධර්‍මය හැර ලෝභමූල සිත් අටය, දෝසමූල සිත් දෙක ය, විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටොළොස ය ද්වේෂමූල සිත් දෙක ය, මෝහමූල සිත් දෙක ය, දුඃඛසහගත කායවිඥාන ය යන මේ සිත් හැර ලෞකික සිත් සසැත්තෑව ය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික පන්සාළිස ය යන ෂඩාරම්මණ ධර්‍මයන් ගේ ආරම්මණාධිපති ශක්තිය ද, සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අධිපති ප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන මේ ධර්‍මයන් ගේ එක් එක් චිත්තයක ලැබෙන අධිපති තුනෙන් එකක් වූ ප්‍රත්‍යය ධර්‍මයන් ගේ සහජාතාධිපති ශක්තිය ද ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අකුසලෙන අබ්‍යාකත වාරයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය ද්වේෂ මූල සිත් දෙකය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ සාධිපති චිත්තජරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අටය -පෙ- සහජාතාධිපති ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසි පසෙකි.

අකුසලෙන අකුසල අබ්‍යාකතයෙහි “අකුසලොච අබ්‍යාකතො ච ධම්මා” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය ද්වේෂමූල සිත් දෙක ය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල සිත් අට ය දෝසමූල සිත් දෙක ය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා සාධිපති චිත්තජරූපයෝ ද ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය ඉහත කී පරිදි දත යුතු ය. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා ක්‍රියා සිත් අට ය නියමයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත ක්‍රියා සිත් නවය ය ඵලසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපති ධර්‍ම වර්ජිත වූ මහාක්‍රියා සිත් අට ය මහද්ගත ක්‍රියා නවය ය ඵලසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා සාධිපති චිත්තජරූපයෝ ද ලැබෙත්. හේතුපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල නිර්‍වාණයෝ ය ඵලසිත් සතරට ප්‍රත්‍යය වන නිර්‍වාණය ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ආරම්මණාධිපති ශක්තිය ද සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන් ද ප්‍රත්‍යය වන අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවහෙි වූ මහාක්‍රියා සිත් අට ය නියමයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත ක්‍රියා සිත් නවයය ඵලසිත් සතර ය චෛතසික අටතිස ය යන මොවුන් ගේ එක් ඒක චිත්තක්‍ෂණයක ඇති අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ අධිපති ධර්‍මයන් ගේ සහජාතාධිපති ශක්තිය ද ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

ශුද්ධරූපවාරයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි වූ සාධිපති කුශලාකුශල විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන සාධිපති චිත්තජ මහා භූතයන් නිසා උපදනා වූ භූත රූප සහසිත වූ සාධිපති චිත්තජ උපාදාය රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ සාධිපති කුශලාකුශල විපාකක්‍රියා නාමස්කන්‍ධයන්හි ඇති අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක් එක් ධර්‍මයක් වූ ප්‍රත්‍යය ධර්‍මයන් ගේ අධිපති ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර පසළොසෙකි.

කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා කුසල්සිත් අට ය. අධිපති ඒකාන්තයෙන් ලැබෙන මහද්ගතලෝකෝත්තර කුසල් තෙළෙස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් ද නිසා උපදනා වූ සාධිපති චිත්තජරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතු පාඨයේ අභිධෙය කුසලෙන අබ්‍යාකතයෙහි මෙනි. ස්කන්‍ධවාර දෙසිය පස්විස්සෙකි.

අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය ද්වෙෂමූල දෙසිත ය විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා වූ සාධිපති චිත්තජරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය අකුසලෙන අබ්‍යාකතයෙහි මෙනි. (මේ වාර සයෙහි සහජාතාධිපතිය පමණක් ගැනේය යි ආචාර්‍ය්‍යවරයෝ කියති. විමසිය යුතු.)

අධිපති ප්‍රත්‍යය විභඞ්ගය නිමි.