දානාදි වූද ප්‍රාණඝාතාදි වූ ද ඒ ඒ ක්‍රියා සිදු කිරීම් වශයෙන් උපදනා වූ කුශලාකුශල ක්‍රියා චිත්ත චෛතසිකයෝ සඤ්ජානන විජානනාදි තම තමා අයත් කෘත්‍යය විෂයෙහි උත්සාහය ඇත්තාහු වෙති. උත්සාහය ඇත ය යි කියනුයේ වීර්‍ය්‍ය චෛතසිකය ගැන නො වන බව ද සැලකිය යුතු ය. මෙහි උත්සාහය ය යි කියනුයේ ඒ ඒ ධර්‍මයට අයත්වූ ක්‍රියාමය වේගයා ගේ අධික භාවයට ය. ක්‍රියාමය වේගය හීන වූ දුබල චිත්ත චෛතසිකයෝ දානාදි විශේෂ ක්‍රියා සිදු කිරීමට නො සමත් වන්නා හ. විපාක චිත්තචෛතසිකයෝ වනාහි උත්සාහයෙන් තොර ව අතීත කුශලාකුශලකර්‍මයන් නිසා උපදනා ධර්‍මයෝ ය. එබැවින් ඒවායේ සඤ්ජානන විජානනාදි ක්‍රියාමය වේගය ඉතා හීන ය. දානාදි විශේෂ ක්‍රියා සිදු කිරීම් වශයෙන් නූපදනා වූ ඒ විපාක චිත්තචෛතසිකයනට කුශලාකුශල ක්‍රියා චිත්ත චෛතසිකයන්ට සේ මහත් වූ ක්‍රියාමය වේගයක් වුවමනා ද නැත. ඒ විපාක චිත්තචෛතසිකයෝ නිරුත්සාහයෙන් යුක්ත වන බැවින් ශාන්ත ද වෙති. චිත්ත චෛතසිකයන්ගේ ශාන්ත භාවය දෙපරිද්දකින් වේ. ක්ලේශප්‍රහාණය සිත ශාන්ත වීමේ එක් හේතුවකි. ධ්‍යානලාභීන් ගේ හා ආර්‍ය්‍යයන් ගේ සිත ක්ලේශප්‍රහාණය නිසා ශාන්ත ය. විශේෂයෙන් ම රහතුන්ගේ සිත ඒ නිසා ශාන්ත ය. වේගමන්‍දතාව නිසා ද චිත්තචෛතසිකයෝ ශාන්ත වෙති. විපාකචිත්තයන් ගේ ශාන්ත භාවය ක්ලේශප්‍රහාණයෙන් නොව වේගමන්‍දතාව නිසා ඇති ශාන්ත භාවයෙකි. නිරුත්සාහ ශාන්තභාවය ඇති බැවින් විපාක චිත්තයන් උපදනා බව ද දැන ගැනීමට දුෂ්කර ය. නිදන තැනැත්තාට රාත්‍රිය මුළුල්ලෙහි ම භවාඞ්ග සිත් ඇතිවන මුත් අති ශාන්ත බැවින් ඒවා ඇති වූ බව ඒ පුද්ගලයාට නො දැනේ. රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ගනිමින් පඤ්චද්වාර විථිවල උපදනා විපාක චිත්තයන් වූ පඤ්චවිඥාන සම්ප්‍රත්‍යේෂණ තදාරම්මණ චිත්තයන් ගේ උත්පත්තිය ද නො දැනෙන්නේ ය. ඒ අරමුණු ප්‍රකට වන්නේ ජවනචිත්තය නිසා ය. විපාකචිත්ත චෛතසිකයෝ ඔවුනොවුන්ට හා සහජාත රූපයන්ට ද තමාගේ නිරුත්සාහ ශාන්තභාවය ගන්වති. ඔවුනොවුන්ට හා සහජාත රූපයන්ට තමන් ගේ නිරුත්සාහ භාවය ගන්වන්නා වූ විපාක චිත්තචෛතසිකයෝ විපාක ප්‍රත්‍යය ය.
වේගයෙන් යන්නකුට හා සෙමින් යන්නකුට එකට ගමන් කළ නො හෙන්නාක් මෙන් එක් අරූප ධර්‍ම රාශියක සකල ධර්‍මයන් ම වේග ප්‍රමාණයෙන් නො සම වුව හොත් අන්‍යෝන්‍ය සම්ප්‍රයෝගත්‍වයෙන් ඒ ධර්‍ම රාශියට නූපදිය හැකි ය. නො පැවතිය හැකි ය. අන්‍යෝන්‍ය සම්ප්‍රයෝගත්‍වයෙන් ඉපදිය හැකි වීමට පැවතිය හැකි වීමට එක් ධර්‍මරාශියක සකල ධර්‍මයන් ම සමත්වයෙන් සිටිය යුතු ය. විපාක චිත්තයට චෛතසික ධර්‍මයන් ගෙන් තොර ව නූපදිය හැකි ය. එ බැවින් එයට තමා හා බැඳී ඉපදීමට චෛතසිකධර්‍ම වුවමනා ය. වුවමනා වන්නේ ද තමා සේ ම නිරුත්සාහ ශාන්ත භාවයෙන් යුක්ත චෛතසිකයන් ය. එබැවින් විපාකචිත්තය තමන් හා බැඳී උපදන චෛතසිකයන්ට තමා ගේ නිරුත්සාහ ශාන්තභාවය ගන්වන්නේ ය. චෛතසිකයෝ ද විපාක චිත්තයා ගේ නිරුත්සාහ ශාන්ත භාවය ගනිමින් එයට අනුකූල ව එය හා සම්ප්‍රයෝගත්‍වයෙන් උපදනාහ. නිරුත්සාහ ශාන්ත භාවයෙන් උපදනා වූ චෛතසිකයන්ට සම්ප්‍රයෝගත්‍වයට පැමිණ ඉපදීමට නිරුත්සාහ ශාන්තභාවයෙන් තමන් හා සමාන සිතක් ලැබිය යුතු ය. එ බැවින් චෛතසිකයෝ ද තමාගේ නිරුත්සාහ ශාන්තභාවය සිතට ගන්වන්නාහ. සිත චෛතසිකයන්ට තමා ගේ නිරුත්සාහ ශාන්ත භාවය දෙයි. චෛතසිකයෝ ද තමන් ගේ නිරුත්සාහ ශාන්ත භාවය සිතට දෙති. එක් විපාක ධර්‍මරාශියක සකලධර්‍මයෝ ම මෙ සේ තමන් ගේ නිරුත්සාහ ශාන්ත භාවය තමන් හා සම්ප්‍රයුක්ත වන අන්‍ය ධර්‍මයන්ට ගන්වන්නාහ. විපාක චිත්ත චෛතසික රාශියක අන්‍යයන් ගේ නිරුත්සාහ ශාන්ත භාවය නො ගත හොත් අන්‍යයන් හා සම්ප්‍රයෝගත්‍වයෙන් නූපදිය හැකි වන බැවින් ඒ නිරුත්සාහ ශාන්ත භාවය ගැන්වීම ගන්නා වූ ධර්‍මයන් ගේ ඉපදීමට උපකාරයකි. නිරුත්සාහ ශාන්තභාවය ගන්වන ධර්‍මය විපාක ප්‍රත්‍යය යි කියනුයේ එ හෙයිනි. විපාක චිත්තචෛතසිකයනට ඉපදීමට උපකාර වීම ම විපාක චිත්තජ රූපයන් ගේ හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ගේ උත්පත්තියට ද උපකාර වීමකි. විපාක චිත්තචෛතසිකයන් නූපදිත හොත් ඒවාද නූපදනා බැවිනි. විපාක චිත්තජ රූපයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයනට අමුතු ශාන්තභාවයක් ගැන්විය යුතු බවක් නො කිය හැකි ය. ශාන්ත වූ විපාක චිත්තය නිසා උපදනා රූපයෝ ඒ චිත්තය සේ ම ශාන්ත ව උපදිති. ඒ රූපයන් ගේ ශාන්ත භාවය නම් ක්‍රියාසාධක චිත්තචෛතසිකයන් නිසා උපදනා රූප සේ ශරීරය නො සෙලවන බව ය. ක්‍රියාසාධක වූ කුශලාදි චිත්තයන් නිසා උපදනා රූපයන් ගෙන් ශරීරය සෙලවීම ද උස් පහත් කිරීම ද තද කිරීම ද නැවීම ද කරනු ලැබේ. විපාක චිත්තචෛතසිකයන් නිසා උපදනා රූප ශාන්තභාවයෙන් උපදනා බැවින් විපාක ධර්‍මයෝ ඔවුනොවුන්ට හා සමජාත ධර්‍මයනට ශෘන්ත භාවය ගැන්වීම් වශයෙන් උපකාරක ධර්‍මයෝ යයි කියනු ලැබෙත්.
විපච්චතී ති විපාකො කර්‍තෘසාධන විග්‍රහ යි. වී පූර්‍ව පච ධාතුව කෙරෙන් ණ ප්‍රත්‍යය වැ ආදිස්වරයට වෘද්ධි හා ච කාරයට ක කාරාදේශ ද වීමෙන් විපාක කියා වේ. ළදරු අවස්ථාව ඉක්මවා පැසෙන්නා වූ ධර්‍ම විපාක නම් වේ. විපාක නම් පැසීමට පැමිණියා වූ කුශලා කුශල ධර්‍මයෝ ය. එය චතුර්විධ සමඞ්ගිතාවන් ගේ වශයෙන් විස්තර කළ යුතු ය. දීර්‍ඝ වන බැවින් මෙහි විස්තර නො කරනු ලැබේ.
“අඤ්ඤමඤ්ඤ විරුද්ධානං කුසලා කුසලානං පාකා විපාකා” යි ද, “අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං කුසලානං පාකා විපාකා යි ද, අඤ්ඤමඤ්ඤ විසදිසානං කුසලා ‘කුසලානං පාකා විපාකා” යි ද විපාක යනු විග්‍රහ කෙරෙති.