පච්චයවාරයේ පච්චය පච්චනීය සඞ්ඛ්‍යාවාරය [සන්නය]

star_outline

විභඞ්ගවාරයට අනතුරු ව සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එ ද ශුද්ධ සඞ්ඛ්‍යාවාරය ද්විකාදිසඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එද න හෙතු ප්‍රත්‍යය ශුද්ධ සංඛ්‍යාවාරාදි වශයෙන් විසිවැදෑරුම් වේ. එයින් න හේතු පච්චය ශුද්ධ සංඛ්‍යා වාරය පළමු කොට වදාළ සේක. එහි මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය යන මොවුහු න හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ පච්චනීය වාරයෙහි නයයට අනුව ද වාරයට අනුව ද තිකපදයට අනුව ද කර්‍මකර්‍තෘපද යෙදීමේ ආකාරය අනුව ද “න හෙතුයා චත්තාරි” යි වදාරන ලදහ. ඉතිරි වාර වුක්තානුසාරයෙන් විස්තර කරනු. “න ආරම්මණෙ පඤ්ච, න අධිපතියා සත්තරස -පෙ- නො විගතෙ පඤ්ච”

ශුද්ධ වාරය නිමි.

සුද්ධවාරයට අනතුරු ව දුකාදිවාරය වදාළ සේක. එ ද න හේතු පච්චය දුකාදිවාරාදි වසයෙන් විසිවැදෑරුම් වේ. එයින් න හේතුපච්චය දුකාදිවාරය පළමු කොට වදාළ සේක. එ ද දුකතිකාදි වසයෙන් එකුන් විසි වැදෑරුම් වේ. එයින් දුකවාරය පළමු කොට වදාළ සේක. එ ද නහේතුමූලක න ආරම්මණදුකාදි වශයෙන් එකුන් විසි වැදෑරුම් වේ. එයින් න හෙතුමූලක න ආරම්මණ දුකය පළමු කොට වදාළ සේක. එහි සහේතුක විත්තජරූපයෝ ය සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු නාරම්මණ ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න වී නහේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් ඒ ධර්‍මයෝ අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාරන ලදහ. මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු නාරම්මණප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා ආරම්මණෙ චත්තාරි” යි වදාළ සේක. මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න හෙතු න ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණෙ සත්ත” යි වදාළ සේක. අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, බාහිරරූපයෝ ය, ආහාරජරූපයෝ ය, සෘතුජරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, යන මොවුහු නහේතුනාරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් මේ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ එකං” යනු වදාළ සේක.

ඉතිරි වාරයන් පටිච්චවාරයෙහි මෙන් ප්‍රත්‍යයන් බැහැර කෙරෙමින් විස්තර කරනු. “න හෙතුපච්චයා න අධිපතියා චත්තාරි, න අනන්තරෙ එකං, -පෙ- නො විගතෙ එකං” අභිධෙය පටිච්චවාරයෙහි මෙන් ගන්නේ ය. නහේතුයෙහි පටන් න සමනන්තරය දක්වා ප්‍රත්‍යයන් මුල් කොට ගන්නා වාරවල අභිධෙය සහේතුක චිත්තජරූපයන් ගෙන් අන්‍ය රූපයෝ ය.

න හෙතුපච්චයා -පෙ- න අඤ්ඤමඤ්ඤපච්චයා න උපනිස්සය පච්චයා න පුරෙජාත පච්චයා න පච්ඡාජාතෙ එකං, නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය -පෙ- උපාදාය රූපයෝ ය, පටිච්චවාරයෙහි මෙනි.

න හේතුමූලකය නිමි.

න ආරම්මණමූලකය ද පටිච්චවාරය මෙනි. සඞ්ඛ්‍යා ද සමාන ය. න අධිපතිපච්චයා න හෙතුයා චත්තාරි, න ආරම්මණෙ පඤ්ච, න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච, න උපනිස්සයෙ පඤ්ච, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ සත්ත, න විපාකෙ සත්තරස, න ආහාරෙ එකං, න ඉන්‍ද්‍රියෙ එකං, න ඣානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුත්තෙ පඤ්ච, න විප්පයුත්තෙ තීණි, නො නත්‍ථියා පඤ්ච, නො විගතෙ පඤ්ච.

න අනන්තර න සමනන්තර මූලකයෝ ද නාරමම්ණමූලකය මෙනි. න අඤ්ඤමඤ්ඤමූලකය පටිච්ච වාරයෙහි මෙනි. න පුරේජාතමූලකය ද පටිච්චවාරයෙහි මෙනි. න ආසෙවනපච්චයා න හෙතුයා චත්තාරි, අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. න ආරම්මණෙ පඤ්ච න අධිපතියා සත්තරස, අභිධෙය අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ඵලසිත් සතරය යන මොවුන් ගේ අධිපතිධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය, හසිතෝත්පාදය ය, මහාකුශලමහාක්‍රියා ය, ආවර්ජනද්වය ය, ලෞකිකවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපතිචිත්තජ රූපයෝ ය. ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥ සත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු ය.

න ආසෙවන පච්චයා න අනන්තරෙ න සමනන්තරෙ න අඤ්ඤමඤ්ඤෙ න උපනිස්සයෙ පඤ්ච, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්තරස, න කම්මෙ සත්ත, අභිධෙය අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෙහි හා ආවර්ජනයන්හි චේතනාවෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොහු ය. න ආසෙවන පච්චයා න විපාකෙ සත්තරස, න ආහාරෙ න ඉන්‍ද්‍රියෙ, න ඣානෙ, න මග්ගෙ එකං, න සම්පයුත්තෙ පඤ්ච, න විප්පයුත්තෙ තීණි, නො නත්‍ථියා පඤ්ච, නො විගතෙ පඤ්ච.

න කම්මපච්චයා න හෙතුයා එකං න ආරම්මණෙ එකං න අධිපතියා සත්ත, -පෙ- න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න ආහාරාදිය පටිච්චවාරයෙහි මෙනි. න විපාකපච්චයා න හෙතුයා චත්තාරි, ශුද්ධසඞ්ඛ්‍යාවාරය මෙනි. න ආහාර න ඉන්‍ද්‍රියාදිය පටිච්චවාරය මෙනි.

පච්චය පච්චනීයය නිමි.