1. හෙතුප්‍රත්‍යය නිර්‍දෙශවාරය

star_outline

ප්‍රත්‍යයොද්දෙශයට අනතුරු ව ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. එ ද හේතුප්‍රත්‍යය නිර්‍දෙශාදි වශයෙන් සූවිසි වැදෑරුම් වේ. එයින් හේතුප්‍රත්‍යය නිර්‍දෙශය පළමුකොට වදාළ සේක. එ ද නිර්දිශිතව්‍ය නිදර්‍ශනාකාර වහයෙන් දෙවැදෑරුම් වේ. එයින් නිර්දිශිතව්‍යය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත්, හෙතුපච්චයො ති යනුවෙනි. අනතුරුව නිදර්‍ශනාකාරය වදාළ සේක. කෙසේ ද? යත්, “හේතු හෙතුසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානඤ්ච රූපානං හෙතුපච්චයෙන පච්චයො” යනුවෙනි.

පදාර්‍ථ:

හෙතුපච්චයො ති, හේතුපච්චයො යන උද්දෙශයාගේ නිර්‍දෙශය මෙසේ ය, හේතු ලෝභාදි හේතූහු සදෙන, හෙතුසම්පයුත්තකානං, ඒ හේතූන් හා සම්ප්‍රයුක්ත වූ ධම්මානං, සහේතුක සිත් එක් සැත්තෑ ව ය මෝහමූලද්වයෙහි මෝහය හැර චෛතසික දෙපන ස ය යන ධර්‍මයන්ට ද, තං සමුට්ඨානානං, ඒ හේතූන් හා හේතුසම්පයුක්ත ධර්‍මයන් නිසා උපදනා වූ, රූපානං ච, චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද, හෙතුපච්චයෙන, හේතුප්‍රත්‍යය ශක්තියෙන්, පච්චයො. උපකාරක වේ.

අභිධෙයර්‍ථ:

එහි “හෙතුපච්චයො” යන පාඨයෙන් නිර්දිශිතව්‍යය දැක්වූ සේක.

“හෙතු හෙතුසම්පයුත්තකානං -පෙ- පච්චයො” යන පාඨයෙන් නිදර්‍ශනාකාරය දැක් වූ සේක.

ඒ නිදර්‍ශනාකාර පාඨයෙහි ‘හෙතු’ යන කර්‍තෘපාඨයෙන් හේතු ෂට්කය වූ ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක.

“හෙතුසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානඤ්ච රූපානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සහේතුක සිත් එක්සැත්තෑවය, මෝහමූලද්වයයෙහි මෝහය වර්ජිත චෛතසික දෙපනස ය, සහේතුක චිත්තජ රූප ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූප ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක් වූ සේය.

‘හෙතුපච්චයෙන’ යන කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන හෙතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාරවීම දැක්වූ සේක. (මේ සභාගප්‍රත්‍යයන් ගේ වශයෙන් අභිධේය දැක්වීම ය.)

(ඝටනා ක්‍රමයෙන් මෙසේ ය.) නොහොත් හෙතුපච්චයො යන කරණ පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජ රූපසහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතු සය වේ නම්, හේතු, සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් හෙතුසඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන හේතු සය වේ නම්, හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන හේතු සය වේ නම් හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද,

සහේතුක චිත්තජරූපයන්ට හා සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතු සය වේ නම්, හේතු, සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද දැක්වූ සේක. (මේ අවිපාක ඝටනා සතර ය.)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුකචිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුන වේ නම්, හේතු, සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් හේතුසඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක හේතු තුන වේ නම් හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති සත අතුරෙන් -පෙ- වීම ද,

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන විපාක, හේතු තුන වේ නම්, හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති සත අතුරෙන් -පෙ- වීම ද,

චිත්තජරූපප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුන වේ නම් හේතු, සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති අට අතුරෙන් -පෙ- වීම ද,

හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි හේතු තුන වේ නම්, හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ‍්, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් හේතුසඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම ද දැක්වූ සේක. (මේ සවිපාක ඝටනා පස ය.)

(මෙසේ සෙන්‍ද්‍රිය මාර්‍ග ඝටනා නවය හා සාධිපති ඉන්‍ද්‍රිය මාර්‍ග ඝටනා සය ද, අනු ව අභිධේය අවුලා පුරුදු කරනු. මතු ප්‍රත්‍යය ඝටනාවලදී පහසු වන්නේ එසේ කළ කල්හිය.)

විශේෂ කරුණු:

ඉහත දැක්වුණු නිදර්‍ශනාකාරපාඨයා ගේ ආදිය “හෙතු සම්පයුත්තකානං” යි නො වදාරා හෙතු හෙතුසම්පයුත්තකානං යි වදාරන ලදුයේ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නයන් නිරවුල් වනු පිණිසය. සම්පයුත්ත යන සාමාන්‍යයෙන් අන්‍යෝන්‍ය මිශ්‍රත්‍වයට පැමිණෙන සකල චිත්තචෛතසිකයන් ම කියැවෙන වචනයෙකි. හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයනට ප්‍රත්‍යය වෙතැ යි වදාළ හොත් සම්පයුත්ත යන වචනයෙන් කියැවෙන චක්‍ෂුර්විඥානාදි අහේතුක ධර්‍මයනට ද හේතූහු ප්‍රත්‍යය වෙති ය යන වැරදි හැඟීම ඇති විය හැකි ය. සහේතුක ධර්‍ම විෂයෙහි අසවල් හේතුව ප්‍රත්‍යය වන්නේ අසවල් සම්ප්‍රයුක්ත ධර්‍මයනට ය යන විභාගය ද නො දැනේ. හේතූහු හේතුසම්ප්‍රයුක්ත ධර්‍මයනට ප්‍රත්‍යය වෙතැ යි වදාළ කල්හි අසන්නවුන්ට ඒ අවුල් දෙක ම නො වන්නේ ය.

“හෙතු හෙතුසම්පයුත්තකානන්ති එත්‍ථ හෙතු සම්පයුත්තකානන්ති අවත්‍වා හෙතූ හෙතුසම්පයුත්තකානන්ති කස්මා වුත්තන්ති? පච්චයස්ස චෙව පච්චයුප්පන්නානඤ්ච වවත්‍ථාපනතො. හෙතුසම්පයුත්තකානන්ති හි වුත්තෙ හෙතුනා සම්පයුත්තකානං අසුකො නාම ධම්මො හෙතුපච්චයෙන පච්චයො ති පච්චය පච්චයුප්පන්න වවත්‍ථානං න පඤ්ඤායෙය්‍ය, අථා පි හෙතුනා සම්පයුත්තකානං හෙතුසම්පයුත්තකානන්ති අත්‍ථං අග්ගහෙත්‍වා යෙසං කෙසඤ්චි සම්පයුත්තකානං හෙතුපච්චයෙන පච්චයොති අත්‍ථො භවෙය්‍ය එවං සන්තෙ හෙතුනා විප්පයුත්තා චක්ඛුවිඤ්ඤාණාදයො පි සම්පයුත්තකා යෙව, හෙතුනා සම්පයුත්තා කුසලාදයො පි. තත්‍ථ අයං හෙතු අසුකස්ස නාම සම්පයුත්තක ධම්මස්ස පච්චයොති පච්චයුප්පන්න වවත්‍ථානං න පඤ්ඤාපෙය්‍ය තස්මා පච්චයඤ්චෙව පච්චයුප්පන්නං ච වවත්‍ථපෙන්තො හෙතූ හෙතුසම්පයුත්තකානන්ති ආහ” යනු අටුවා යි.

“තං සමුට්ඨානානං යනු සමාස පදයෙකි. ත ශබ්දයා කෙරෙන් වූ බින්‍දුව ආගමවර්‍ණයෙකි. තංසමුට්ඨානානං යනුවෙන් හේතූන් හා හේතුසම්ප්‍රයුක්ත ධර්‍මයන් නිසා හටගන්නා රූපයෝ කියැවෙති. ඔව්හු නම් සහේතුක චිත්තජරූප හා සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය. චිත්තජරූපයෝය යි කියනු ලබන රූපයෝ සිතින් පමණක් උපදවන්නාහු නො වෙති. ඒවා උපදවන්නේ චිත්ත චෛතසික දෙපක්‍ෂ විසිනි. චිත්තචෛතසික දෙපක්‍ෂය එක් ව රූප උපදවති. ඒවාට ව්‍යවහාර පහසුව පිණිස ප්‍රධාන ධර්‍මය වූ චිත්තයා ගේ වශයෙන් චිත්තජ රූපයෝය යි කියති.

“තෙ හෙතු චෙව හෙතුසම්පයුත්තකා ච ධම්මා සමුට්ඨානා එතෙසන්ති තංසමුට්ඨානානි. තෙසං තංසමුට්ඨානානං. හෙතුතො චෙව හෙතුසම්පයුත්ත ධම්මෙහි ච නිබ්බත්තානන්ති අත්‍ථො. ඉමිනා චිත්ත සමුට්ඨාන රූපං සඞ්ගණ්හාති. සබ්බෙ පි හි චිත්තචෙතසිකා එකතො ව හුත්‍වා රූපං සමුට්ඨාපෙන්ති. ලොකියධම්මදෙසනායං පන චිත්තස්ස අධිකභාවතො තථාවිධං රූපං චිත්තසමුට්ඨානන්ති වුච්චති” යනු අටුවා යි. තවත් දත යුතු කරුණු යට දැක්වුණු හේතුප්‍රත්‍යය විස්තරයෙන් දත යුතු ය.