2. ආරම්මණ ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

හේතුප්‍රත්‍යය විභඞ්ගවාරයට අනතුරු ව ආරමම්ණ ප්‍රත්‍යය විභඞ්ගවාරය වදාළ සේක. එහි ද කුසලපද අකුසලපද අබ්‍යාකත පද වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් කුසලපද වාරය පළමු කොට වදාළ සේක. කුශලපදාවසාන වාර වශයෙන් එය එක් වාරයක් ම වේ. එ ද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. වීථිය පළමු කොට වදාළ සේක. එනම් - “කුසලං ධම්මං පටිච්ච -පෙ- ආරම්මණ පච්චයා” යනු යි. එයට අනතුරු ව අනුවාදය වදාළ සේක. එනම්, “කුසලං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා” යනු යි. පදාර්‍ථ පෙර සේ කියනු.

අභිධෙයාර්‍ථ

“කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා කුසල්සිත් එක්විස්සය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. “ආරම්මණ පච්චයා” යන හේතු පාඨයෙන් කුසල් සිත් එක්විස්සට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත්අසූව ය චෛතසික දෙපනස ය අටවිසිරූප ය නිවණ ය ප්‍රඥප්තියය යන ෂඩාරම්මණ ධර්‍මයන් ගේ ආරම්මණ ප්‍රත්‍යශක්තිය ලැබේ.

විස්තර වශයෙන් මෙසේ ය. මහාකුශල ඥානවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, අටවිසිරූපය ය ප්‍රඥප්තිය යන ෂඩාරම්මණය ය: මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත්අසූව ය, චෛතසික දෙපනස ය, අටවිසිරූප ය, නිර්‍වාණය ය, ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණය ය: දිබ්බචක්ඛු කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූරප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණය ය, දිබ්බසෝ. කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූරප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන ශබ්දාරම්මණය ය, ඉද්ධිවිධ කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පාදක රූපාවචර කුශල පඤ්චමධ්‍යානය හා ශතසහශ්‍රාදි නිර්මිත රූපයෝ ය යන ෂඩාරම්මණය ය, චෙතෝපරිය කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන ඉකුත් සත්දිනයේ පටන් අනාගත සත්දිනය දක්වා කාලයෙහි කාලත්‍රයට අයත් වූ අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත්අසූව ය චෛතසික දෙපනස ය යන ධර්‍මාරම්මණය ය, පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පෙර ජාතිවලට අයත් අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත්අසූව ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය යන පඤ්චස්කන්‍ධය හා ඒ පඤ්චස්කන්‍ධය අනු ව දත යුතු වූ නිවන ය නාමගෝත්‍රාදි ප්‍රඥප්තීහුද යන ෂඩාරම්මණය ය, යථාකම්මූපග කුශලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අතීත වූ ලෞකික කුශලාකුශල කර්‍ම සඞ්ඛ්‍යාත ධර්‍මාරම්මණය ය, අනාගතංස කුශලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අනාගත වූ අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත්අසූව ය චෛතසික දෙපනසය ය රූප අටවිස්ස ය යන පඤ්චස්කන්‍ධය ය. ඒ පඤ්චස්කන්‍ධානුසාරයෙන් දතයුතු වූ නිර්‍වාණ නාමගෝත්‍රාදීහුය යන ෂඩාරම්මණය ය, රූපාවචර ප්‍රථම ධ්‍යාන කුශලයට ප්‍රත්‍යය වන කසින දශය ය, අශුභ දශය ය, ආශ්වාස ප්‍රශ්වාස ප්‍රඥප්තිය ය කේශාදි කොට්ඨාශ ප්‍රඥප්තිය ය මෙත්තා කරුණා මුදිතා යන බ්‍රහ්මවිහාරයන්ට අරමුණු වන අප්‍රමාණ සත්ත්‍ව ප්‍රඥප්තිය ය යන පස්විසි ප්‍රඥප්ති වූ ධර්‍මාරම්මණය ය, රූපාවචර ද්විතීයධ්‍යාන තෘතීයධ්‍යාන චතුර්‍ථධ්‍යාන කුශලයන්ට ප්‍රත්‍යය වන කසිණ දශය ය ආශ්වාස ප්‍රශ්වාස ය මෙත්තා කරුණා මුදිතා යන බ්‍රහ්මවිහාරයන්ට අරමුණු වන අප්‍රමාණ සත්ත්‍ව ප්‍රඥප්තිය ය යන ප්‍රඥප්ති තුදුස වූ ධර්‍මාරම්මණය ය, රූපාවචර පඤ්චමධ්‍යාන කුශලයට ප්‍රත්‍යය වන කසිණ දශය ය ආශ්වාස ප්‍රශ්වාස ප්‍රඥප්තිය ය උපේක්‍ෂා බ්‍රහ්මවිහාරයට අරමුණු වන අප්‍රමාණ සත්ත්‍ව ප්‍රඥප්ති ය යන ප්‍රඥප්ති දොළොස වූ ධර්‍මාරම්මණය ය, ආකාසානඤ්චායතන කුසලයට අරමුණු වන කිසුණු උගුළා ලබන ආකාශප්‍රඥප්තිය වූ ධර්‍මාරම්මණය ය, විඤ්ඤාණඤ්චායතන කුසලයට ප්‍රත්‍යය වන වර්‍තමාන භවයේ ද අතීත භවයේ ද ස්වසන්තානයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුසලය වූ ධර්‍මාරම්මණය ය, ආකිඤ්චඤ්ඤායතන කුසලයට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසලා ගේ නාස්තිභාව ප්‍රඥප්තිය වූ ධර්‍මාරම්මණය ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලයට ප්‍රත්‍යය වන වර්‍තමාන අතීත භවයන්හි ස්වසන්තානයෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසලය වූ ධර්‍මාරම්මණය ය, ලෝකෝත්තර මාර්‍ග සිත් සතරට ප්‍රත්‍යය වන නිර්‍වාණ සඞ්ඛ්‍යාත ධර්‍මාරම්මණය ය යන මොවුන් ගේ ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය ‘ආරම්මණ පච්චයා’ යන හේතු පාඨයෙන් ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි. (හේතුප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු.)

කුසලපද වාරයට අනතුරු ව අකුසලපද වාරය වදාළ සේක. විභාග කරන, “අකුසලං ධම්මං -පෙ- ඛන්‍ධා” අකුසලො ධම්මො යන කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන නාමස්කන්‍ධයෝ ලැබෙත්, ආරම්මණපච්චයා යන හේතුපාඨයෙන් ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණ ධර්‍මයන් ගේ ආරම්මණ ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අකුසල පදවාරයට අනතුරු ව අව්‍යාකත පද වාරය වදාළ සේක. විභාග කරනු. “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- ඛන්‍ධා”

අභිධෙයාර්‍ථ

ප්‍රවෘත්ති කාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් විපාකසිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අට තිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විපාක සිත් සතිස ය ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ලැබෙත්. ආරම්මණපච්චයා යන හේතුපාඨයෙන් විපාකසිත් සතිසට හා ක්‍රියා සිත් විස්සට ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තයය චෛතසික දෙපනස ය අටවිසි රූපය ය නිවන ය ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණයන් ගේ ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

විස්තර වශයෙන් මෙසේ ය, චක්‍ෂුර් විඥානද්වයට ප්‍රත්‍යය වන වර්‍තමාන රූපාරම්මණය ය, ශ්‍රෝත විඥාන -පෙ- වර්‍තමාන ශබ්දාරම්මණය ය, -පෙ- මනෝධාතුත්‍රිකයට ප්‍රත්‍යය වන වර්‍තමාන පඤ්චාරම්මණය ය, තදාරම්මණ එකොළොසට හා හසිතෝත්පාද චිත්තයට ප්‍රත්‍යය වන කාමසිත් සිවුපනස ය, චෛතසික දෙපනසය අටවිසි රූපය ය යන ෂඩාරම්මණය ය, මහාක්‍රියා ඥානවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ලෞකික සිත් එක්අසූව ය, චෙතෙසික දෙපනස ය රූප අටවිස්ස ය ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණය ය, මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට හා මනෝද්වාරාවර්ජනයට ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය අටවිසි රූපය ය නිවනය ය ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණය ය, (දිබ්බචක්ඛු දිබ්බසෝත ක්‍රියා අභිඤ්ඤාවල අරමුණු ඉහත කී පරිදි ම ය, ඉද්ධිවිධ ක්‍රියා අභිඤ්ඤාවට පාදක වූ රූපාවචර ක්‍රියා පඤ්චමධ්‍යානයද චෙතෝපරිය ක්‍රියා අභිඤ්ඤාවට එකුන් අනූ චිත්තය ම ද අරමුණු වශයෙන් කිය යුතු ය. පුබ්බෙනිවාසානුස්සති අනාගතංස ක්‍රියා අභිඤ්ඤාවලට ද එ සේ ම එකුන් අනූ චිත්තය ගත යුතු ය. යථාකම්මූපග ක්‍රියා අභිඤ්ඤාවට කුශලා කුශල සියල්ල ම කිය යුතු ය. රූපාවචර විපාක ක්‍රියා චිත්තයන්ගේ අරමුණු ද කුශලයෙහි මෙනි. සම්පූර්‍ණ කර කියනු.) ආකාසානඤ්චායතන විපාක ක්‍රියාවන්ට ප්‍රත්‍යය වන කසිණ උගුළා ලබන ආකාශ ප්‍රඥප්තිය වූ ධර්‍මාරම්මණය ය, විඤ්ඤාණඤ්චායතන විපාකයට ප්‍රත්‍යය වන අතීතභවයෙහි උපන් ආකාසානඤ්චායතන කුශලය වූ ධර්‍මාරම්මණය ය, විඤ්ඤාණඤ්චායතන ක්‍රියාවට අරමුණු වන වර්‍තමාන අතීත භවයන්හි ආධ්‍යාත්මික සන්තානයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුශලක්‍රියා දෙක වූ ධර්‍මාරම්මණය ය, ආකිඤ්චඤ්ඤායතනවිපාක ක්‍රියා දෙකට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුශල ක්‍රියා දෙක්හි අභාවය වූ නාස්තිභාව ප්‍රඥප්තිය වූ ධර්‍මාරම්මණය ය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන විපාක සිතට ප්‍රත්‍යය වන අතීත භවයෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසලය වූ ධර්‍මාරම්මණය ය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ක්‍රියා සිතට ප්‍රත්‍යය වන වර්‍තමාන අතීත භවයන්හි ඒ සන්තානයෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසල ක්‍රියා දෙසිත වූ ධර්‍මාරම්මණය ය, ඵලසිත් සතරට ප්‍රත්‍යය වන නිර්‍වාණය වූ ධර්‍මාරම්මණය ය, යන මොවුන් ගේ ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය “ආරම්මණ පච්චයා” යන හේතුපදයෙන් ලැබේ.

ප්‍රතිසන්‍ධිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද නිසා උපදනා වූ ප්‍රතිසන්‍ධිසිත් එකුන්විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද, සමූහ වූ ද, නාමස්කන්‍ධයෝ ලැබෙත්. (නාමස්කන්‍ධයන් නිසා ඉපදීම කියන කල්හි අවයව නාමස්කන්‍ධ ලැබේ. හෘදයවස්තුව නිසා ඉපදීම කියන කල්හි නාමස්කන්‍ධ සතර ම ලැබේ. අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ යයි කියන ලදුයේ එහෙයිනි.) ආරම්මණපච්චයා යන හේතුපාඨයෙන් කර්‍මය කර්‍මනිමිත්තය ගති නිමිත්තය යන ආරම්මණයාගේ ආරම්මණශක්තිය ලැබේ. නොහොත් කාමප්‍රතිසන්‍ධි දශයට ප්‍රත්‍යය වන ෂට්ද්වාරික මරණාසන්න ජවනයෙන් ගන්නා ලද වර්‍තමාන වූ ද අතීත වූ ද කාමසිත් සිවුපනස ය, චෛතසික දෙ පනසය, රූප අටවිස්ස ය යන ධර්‍මයෝ ය, රූපාවචර ප්‍රතිසන්‍ධි පසට ප්‍රත්‍යය වන කසිණාදි පඤ්ඤත්තීහු ය, ආකාසානඤ්චායතන ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වන ආකාශ ප්‍රඥප්තිය ය, විඤ්ඤාණඤ්චායතන ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වන අතීත භවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසලය ය, ආකිඤ්චඤ්ඤායතන ප්‍රතිසන්‍දියට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුශලයා ගේ අභාවය වූ නාස්තිභාව ප්‍රඥප්තිය ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අතීතභවයෙහි උපන් ආකාසානඤ්චායතන කුශලය ය ආකිඤ්චඤ්ඤායතන ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසලයා ගේ අභාවය වූ නාස්තිභාව ප්‍රඥප්තිය ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අතීතභවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන කුසලය යන මේ කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තය යි කියනු ලබන ෂඩාරම්මණ ධර්‍මයන් ගේ ආරම්මණ ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර එකුන් තිසකි. අවයව නාමස්කන්‍ධයන්හි වාර තුදුසෙකි. හෘදයවස්තුවෙහි වාර පසළොසෙකි.

ආරම්මණප්‍රත්‍යය විභඞ්ගවාරය නිමි.