නිඃශ්‍රය ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ද ඔවුනොවුන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන සකල මහා භූතයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන සහජාතනිඃශ්‍රය ප්‍රත්‍යයෙහි ද, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අරූප විපාක වර්ජිත සප්තවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන ප්‍රවෘත්තිකාලයට අයත් වූ ෂට්වස්තු සඞ්ඛ්‍යාත වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි ද අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(2) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන අධිපති ධර්‍මතුන හෝ සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ධර්‍මයන්හි ද, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ගරුකොට අරමුණු කළ යුතු වූ ච්‍යුතිචිත්තයට පූර්‍වයෙහි සතළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණාධිපතියෙහි ද අධිපති, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(3) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය අට වූ සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද, පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රියප්‍රත්‍යයෙහි ද ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(4) චිත්තජ රූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත සිත් පන්සැත්තෑව ය, චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන සහජාතවිප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි ද, පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ අරූපවිපාක වර්ජිත සප්තවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන ප්‍රවෘත්තිකාලයෙහි වූ වස්තුරූප සය වූ පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි ද විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(5) සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍මතුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ද, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් ගරුකළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි ද අධිපති, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය සතර ගැටේ.

(6) චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

මේ මිශ්‍රක ඝටනා සය ය.

(7) පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ අරූපවිපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ප්‍රවෘත්තිකාලයෙහි ෂට්වස්තු සඞ්ඛ්‍යාත පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යයෙහි පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(8) මනෝද්වාරාවර්ජනය ය, කාමජවන එකුන්තිස ය, තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් පූර්‍වයෙහි සතළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි ආරම්මණ, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(9) ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් පූර්‍වයෙහි සතළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යයෙහි ආරම්මණ, අධිපති, උපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(10) පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි පුරේජාත, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ ප්‍රකීර්‍ණක ඝටනා සතර ය.

(11) සහජාත ඝටනා දසය “ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන මහාභූතයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන මේ ධර්‍මයන්හි සහජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ” මෙසේ සහජාත ප්‍රත්‍යය ඝටනා අනුව විස්තර කරනු.