6. සහජාත ප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

සමනන්තර ප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව සහජාතප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. (පෙර පරිදි විභාග කරනු.)

පදාර්‍ථ:

චත්තාරො, සතරදෙනෙකු වූ; අරූපිනො, අරූපී වූ; ඛන්‍ධා, ස්කන්‍ධයෝ: අඤ්ඤමඤ්ඤං, ඔවුනොවුන්ට: සහජාත පච්චයෙන, සහජාත ප්‍රත්‍යය ශක්තියෙන්: පච්චයො, උපකාරක වේ. චත්තාරො, සතර දෙනෙකු වූ: මහාභූතා, මහාභූතයෝ: අඤ්ඤමඤ්ඤං, ඔවුනොවුන්ට -පෙ- ඔක්කන්තික්ඛණෙ, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි: නාමරූපං, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහු: අඤ්ඤමඤ්ඤං -පෙ- චිත්තචෙතසිකා, චිත්ත චෛතසික වූ: ධම්මා, අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත පන්සැත්තෑ චිත්තය ය චෛතසික දෙපනස ය යන නාමස්කන්‍ධයෝ: චිත්තසමුට්ඨානානං, සිත නිසා උපදනා වූ: රූපානං, චිත්තජ රූපයන්ට නොහොත් චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට: සහජාත පච්චයෙන පච්චයො. මහාභූතා, මහාභූතයෝ: උපාදායරූපානං, උපාදාය රූපයන්ට: -පෙ- රූපිනො, රූපී වූ: ධම්මා, හෘදයවස්තු සඞ්ඛ්‍යාත ධර්‍මයෝ: අරූපීනං, අරූපී වූ: ධම්මානං, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට: කිඤ්චිකාලෙ, ප්‍රතිසන්‍ධි කාලයෙහි: සහජාත පච්චයෙන පච්චයො. කිඤ්චිකාලෙ, ප්‍රවෘත්ති කාලයෙහි: න සහජාත පච්චයෙන පච්චයො.

අභිධෙයාර්‍ථ:

ඒ නිදර්‍ශනාකාර පාඨයෙහි “චත්තාරො අරූපිනො ඛන්‍ධා” යන පාඨයෙන් තුනක් තුනක් වූ නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක එකක් වූ නාමස්කන්‍ධයෝය, එක් එක් වූ නාමස්කන්‍ධයකට ප්‍රත්‍යය වන තුනක් තුනක් වූ නාමස්කන්‍ධයෝ ය, දෙකක් දෙකක් වූ නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දෙකක් දෙකක් වූ නාමස්කන්‍ධයෝය යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. ‘අඤ්ඤමඤ්ඤ’ යන සම්ප්‍රදාන පාඨයෙන් තුනක් තුනක් වූ ද, එක එකක් වූ ද, දෙකක් දෙකක් වූ ද නාමස්කන්‍ධයන් වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක් වූ සේක.

‘සහජාත පච්චයෙන’ යන කරණපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ වෙත් නම් සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්ප්‍රයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- වීමද, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ වෙත් නම් විපාක ප්‍රත්‍ය්‍ය ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සත අතරෙන් -පෙ- වීම ද දැක් වූ සේක.

“චත්තාරො මහා භූතා” යන පාඨයෙන් තුනක් තුනක් වූ භූතයන්ට ප්‍රත්‍යය වන එකඑකක් වූ මහාභූතයෝ ය එක එකක් වූ මහාභූතයන්ට ප්‍රත්‍යය වන තුනක් තුනක් වූ මහාභූතයෝ ය, දෙකක් දෙකක් වූ මහාභූතයන්ය ප්‍රත්‍යය වන දෙකක් දෙකක් වූ මහාභූතයෝ ය යන ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක.

“අඤ්ඤමඤ්ඤං” යන සම්ප්‍රදාන පාඨයෙන් තුනක් තුනක් වූ මහාභූතයෝ ය, එකඑකක් වූ මහාභූතයෝ ය, දෙකක් දෙකක් වූ මහාභූතයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක.

“සහජාත පච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් -පෙ- දැක්වූ සේක.

“ඔක්කන්තික්ඛණෙ නාමරූපං” යන පාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව වූ ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. ‘අඤ්ඤමඤ්ඤ’ යන පාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක. ‘සහජාත පච්චයෙන’ යන පාඨයෙන් එක්වර ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සහ අතුරෙන් -පෙ- වීම ද, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ වෙත් නම් විපාක ප්‍රත්‍යය ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් සහජාත සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාරවීම ද දැක් වූ සේක.

‘චිත්තචෙතසිකා ධම්මා’ යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත සිත් පන්සැත්තෑවය, චෛතසික දෙපනසය යන ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක. ‘චිත්තසමුට්ඨානානං රූපානං’ යන පාඨයෙන් චිත්තජරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක්වූ සේක. නොහොත් චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.

“සහජාත පච්චයෙන” යන කරණ පාඨයෙන් චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හනච්‍යුති වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ වෙත් නම් සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් -පෙ- වීම ද, චිත්තජ රූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අරූපවිපාක ද්විපඤ්ච විඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත පඤ්චවෝකාර විපාක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ වෙත් නම් විපාක ප්‍රත්‍ය්‍ය ශක්තිය ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද දැක්වූ සේක.

“මහාභූතා” යන කර්‍තෘපාඨයෙන් මහාභූතසතර වූ ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක. “උපාදායරූපානං” යන සම්ප්‍රදානපාඨයෙන් උපාදායරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්නය දැක් වූ සේක. “සහජාත පච්චයෙන” යන කරණ පාඨයෙන් එකවර ලැබෙන සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති සතර අතුරෙන් -පෙ- දැක්වූ සේක.

“රූපිනො ධම්මා” යන කර්‍තෘපාඨයෙන් හෘදයවස්තු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය දැක් වූ සේක. “අරූපීනං ධම්මානං” යන සම්ප්‍රදානපාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්නයන් දැක් වූ සේක. “කිඤ්චිකාලෙ සහජාතපච්චයෙන” යන පාඨයෙන් ප්‍රතිසන්‍ධිකාලයෙහි සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වීම දැක් වූ සේක. “කිඤ්චිකාලෙ න සහජාතපච්චයෙන” යන පාඨයෙන් ප්‍රවෘත්තිකාලයෙහි සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය නො වීම දැක් වූ සේක. (චිත්තචෙතසිකා ති පවත්තියං චත්තාරො ඛන්‍ධා යන අටුවාව යි.)