තමන් හා සම්බන්‍ධ ධර්‍මයනට තමන් අයත් කෘත්‍යයෙහි තමන් ගේ ස්වභාවය ඉක්මවන්නට නො දී තමන්ට අනුකූල කරවන්නා වූ ධර්‍මයෝ ඉන්ද්‍රිය යෝ ය. චක්‍ෂූඃප්‍රසාදය එක් ඉන්ද්‍රියයකි. එය දර්‍ශනකෘත්‍යයෙහි චක්‍ෂුර්විඥානය කෙරෙහි තමා ගේ අධිපති බව පවත්වයි. චක්‍ෂූඃප්‍රසාදය දීප්තිමත් වේ නම් එහි පිරිසිදු ලෙස රූපාරම්මණය ගන්නා චක්‍ෂුර්විඥානයෝ උපදිති. චක්‍ෂුඃප්‍රසාදය අඳුරු වුවහොත් එහි මැනවින් රූපාරම්මණය ගැනීමට නො සමත් වූ චක්‍ෂුර්විඥානයෝ උපදිති. චක්‍ෂුඃප්‍රසාදය යහපත් වන කල්හි අරමුණ වැරදි සැටියට ගන්නා චක්‍ෂුර්විඥානයෝ එහි නූපදිති. එසේ ම චක්‍ෂුඃප්‍රසාදය අඳුරු කල්හි ආරම්මණය පැහැදිලි ලෙස ගැනීමට සමත් වූ චක්‍ෂුර්විඥානයෝ එහි නූපදිති. අඳුරු වූ චක්‍ෂුඃප්‍රසාදයෙහි අරමුණ පිරිසිදු ලෙස ගන්නා චක්‍ෂුර්විඥානයන් නූපදින්නේ ද සුන්‍දර චක්‍ෂුඃප්‍රසාදයෙහි අරමුණ වරදවා ගන්නා චක්‍ෂුර් විඥානයන් නූපදින්නේ ද චක්‍ෂුර්විඥානයන්ට ප්‍රසාද රූපයේ ස්වභාවය නොඉක්මවිය හැකි බැවිනි. චක්‍ෂුර්විඥානයන්ට ප්‍රසාදයේ ස්වභාවය නොඉක්මවිය හැකි වන්නේ එය දර්‍ශනයෙහි ඊශ්වරත්‍වය පවත්වන බැවිනි. චක්‍ෂුර්විඥානය සෑම කල්හි ම එයට අනුකූල ව පැවතිය යුතු ය. ශ්‍රෝත්‍රප්‍රසාදයෙහි ඇති ඊශ්වරත්‍වය ද චක්‍ෂුඃප්‍රසාදාදිය අනුව තේරුම් ගත යුතු ය. චක්‍ෂුඃප්‍රසාදය සේ තමා ඇසුරු කරන අරූප ධර්‍මයන් තමාට අනුකූල කරවන්නා වූ ද තමන් හා එක්ව උපදනා රූපාරූප ධර්‍මයන් තමන්ට අනුකූල කර වන්නා වූ ද රූපාරූප ධර්‍මයෝ ඉන්ද්‍රියයෝ ය. රජුගේ ඊශ්වරත්‍වය රටවැසියා ගේ පැවැත්මට උපකාර වන්නාක් මෙන් ඉන්ද්‍රිය ධර්‍මයන් ගේ ඊශ්වරත්‍වය ඒවා හා සම්බන්‍ධ ධර්‍මයන් ගේ ඉපදීමට උපකාර වේ. ඉන්ද්‍රිය ප්‍රත්‍යය යි කියනු යේ ඊශ්වරත්‍වයෙන් තමන් හා සම්බන්‍ධ රූපාරූප ධර්‍මයනට උපකාරවන ධර්‍මයන්ට ය. ඉන්ද්‍රිය නාමයෙන් හඳුන්වන ධර්‍ම දෙවිස්සෙකි. දෙවිසි ඉන්ද්‍රිය ධර්‍මයන් අතුරෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යය වන්නේ ධර්‍ම විස්සකි. ස්ත්‍රින්ද්‍රිය පුරුෂින්ද්‍රිය දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍ය නො වේ.
ප්‍රත්‍යය වශයෙන් ගණන් ගනු ලබන්නෝ ජනකත්‍වය හෝ උපස්තම්භකත්‍වය හෝ අනුපාලකත්‍වය හෝ ඇත්තා වූ ධර්‍මයෝ ය. යම් ධර්‍මයක ඒ තුනෙන් එකකුදු නැත්තේ නම් ඒ ධර්‍මය ප්‍රත්‍යයක් ලෙස ගණන් ගනු නො ලැබේ. භාව රූප දෙක්හි ඒ තුනෙන් එක කුදු නැත්තේ ය. එබැවින් භාවරූප දෙක ඉන්‍ද්‍රිය වතුදු ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය නො වේ. භාවරූපයන් ගේ ඊශ්වරත්‍වය ඇත්තේ ස්ත්‍රීලිංග පුරුෂලිංගාදියට ය. මෙහි ලිංගය යි කියන ලදුයේ ස්ත්‍රීපුරුෂ ආකාරයන්ට ය. භාව රූපයෝ අන්‍යහේතුන්ගෙන් උපදනා රූපයනට ස්ත්‍රී ආාකාරාදිය ගන්වති. භාවරූපයට අනුකූල ව අන්‍ය හේතූන් ගෙන් හටගන්නා රූපයෝ ස්ත්‍රීපුරුෂ ආකාරයන් ගනිති. එ බැවින් භාවරූපයෝ ඉන්‍ද්‍රිය වෙති. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය තමා හා බැඳී උපදනා ධර්‍මයනට සැම කල්හි ප්‍රත්‍යය වන්නේ ය. එහි ප්‍රත්‍යය නො වී සිටින අවස්ථාවක් නැත්තේ ය. කලලාදි අවස්ථාවන්හි භාවරූපයක් ඇත ද එය නිසා ඇති වන ස්ත්‍රී ආකාරාදිය ඒ අවස්ථාවන්හි නැත. එ සේ නැත්තේ ඒවා ප්‍රත්‍යය නො වන ධර්‍ම නිසා ය යි ද කියති.
සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය, පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය, රූපජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යය යි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය තෙවැදෑරුම් වන බව ත්‍රිරාශියෙහි දැක්විණි. තමන් හා එකවර උපදනා ධර්‍මයන්ට ප්‍රත්‍යය වන අරූපේන්‍ද්‍රිය ධර්‍මයෝ සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය ය. තමන් පළමු ඉපිද පසු ව උපදනා පඤ්චවිඤ්ඤාණයන්ට ප්‍රත්‍යය වන ප්‍රසාද රූපයෝ පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය ය. ජීවිතින්‍ද්‍රිය රූපය රූප ජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යය ය. සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන අරූපේන්‍ද්‍රිය ධර්‍මයෝ තමන් ඉන්‍ද්‍රිය ශක්තියෙන් ප්‍රත්‍යය වන ධර්‍මයන්ට සහජාත ශක්තියෙන් ද ප්‍රත්‍යය වෙති. රූපජීවිතින්‍ද්‍රිය ඉන්‍ද්‍රියත්‍වයෙන් ප්‍රත්‍යය වන්නේ ද සහජාත රූපයනට ය. එහෙත් එය ප්‍රත්‍යය වන්නේ උත්පාදක්‍ෂණයෙහි දී නොවන ස්ථිතික්‍ෂණයෙහිදී ය යි පට්ඨාන අටුවාවෙහි කීහ. මූලටීකාවෙහි එය ප්‍රතික්‍ෂේප කර තිබේ. එ බැවින් එය වැඩි දුරට ද විමසිය යුතු ය.
ඉදති පරමිස්සරියං කරොතීති ඉන්‍ද්‍රියං, ඉදි පරමිස්සරියෙ යන ධාතුව කෙරෙන් කර්ත්‍රර්‍ථයෙහි ණ්‍ය ප්‍රත්‍යය ව ඉන්‍ද්‍රිය කියා වේ. ඊස්වරත්‍වය කරන්නේ ඉන්‍ද්‍රිය නමි. ඊසති අභිභවතී ති ඉන්‍ද්‍රියං යි ද විග්‍රහ කෙරෙති. ඊස අභිභවනෙ යන ධාතු යි. ණ්‍ය ප්‍රත්‍යය ව ඊකාරය හ්‍රස්ව ව නිරුක්ති නයින් ඉන්‍ද්‍රිය කියා වේ.
“ඉන්‍දලිඞ්ගට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍ද දෙසිතට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍ද දිට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍ද සිට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍ද ජුට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො" යි විභඞ්ගාර්‍ථකථාවෙහි ඉන්‍ද්‍රිය ශබ්දාර්‍ථය දැක් වූ පරිදි විග්‍රහ කළ යුත්තේ මෙ සේ ය:-
ඉන්‍දං ලිඞ්ගෙන්තී ති ඉන්‍ද්‍රියානි, තද්ධිත විග්‍රහයි. ඉන්‍ද ශබ්දයා කෙරෙන් ඉය ප්‍රත්‍යය ව න්‍ද යන්නට ආදේශ ව ඉන්‍ද්‍රිය කියා සිද්ධ යි. ඉන්‍ද යනු කුශලාකුශලයන්ට නමෙකි. ඉන්‍ද නම් වූ කුශලාකුශල කර්‍මය ප්‍රකාශ කෙරෙත් නුයි ඉන්‍ද්‍රිය නම් වේ.
ඉන්‍දෙන සිට්ඨානී ති ඉන්‍ද්‍රියානි. ඉන්‍ද නම් වූ කුශලාකුශල කර්‍මයෙන් නිපදවන ලද්දාහු ඉන්‍ද්‍රිය නම් වෙති. මේ වචනාර්‍ථ දෙකින් ම මුඛ්‍ය වශයෙන් කර්‍මජේන්‍ද්‍රියයෝ ගැනෙති. සෙස්සෝ සදෘශත්‍වයෙන් ගැනෙති. ඉන්‍දෙන දෙසිතානි ඉන්‍ද්‍රියානි. ඉන්‍ද යනු බුදුනටද නමෙකි. ඉන්‍ද නම් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනය කරන ලද්දාහු ය යන අර්‍ථයෙන් ද ඉන්‍ද්‍රිය නම් වෙති.
ඉන්‍දෙන දිට්ඨානි ඉන්‍ද්‍රියානි. ඉන්‍ද නම් වූ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද්දාහු නුයි ඉන්‍ද්‍රිය නම් වේ. ඉන්‍දෙන ජූට්ඨානී ති ඉන්‍ද්‍රියානි, ඉන්‍ද නම් වූ තථාගතයන් වහන්සේ විසින් සේවනය කරන ලද්දාහුනුයි ඉන්‍ද්‍රියයෝ නම් වෙති.