සමනන්තර ප්‍රත්‍යය විභඞ්ගයට අනතුරුව සහජාතප්‍රත්‍යය විභඞ්ගය වදාළ සේක. එහි කුසලපද කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. පදාර්‍ථ සුගමය, කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධ සතර අතුරෙන් එක් එක් නාමස්කන්‍ධයක් තිදෙනෙකු තිදෙනෙකු වූ නාමස්කන්‍ධයන්ටද, තිදෙනකු තිදෙනකු වූ නාමස්කන්‍ධයෝ එක් එක් නාමස්කන්‍ධයකට ද, දෙදෙනෙකු දෙදෙනකු වූ නාමස්කන්‍ධයෝ දෙදෙනකු දෙදෙනකු වූ නාමස්කන්‍ධයන්ට ද සහජාතප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙත් ය යනු එහි අදහස ය.
“කුසලො” යන කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිසය යන අවයවනාමස්කන්‍ධ වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය -පෙ- යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාත, නිස්සය, අඤ්ඤමඤ්ඤ, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් සහජාතශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි. පටිච්චවාරයෙහි විස්තර කළ පරිදි ය.
අබ්‍යාකතපදාවසාන වාරයෙහි පදාර්‍ථ:- කුසලා, කුසල්වූ, ඛන්‍ධා අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ, චිත්තසමුට්ඨානානං, සිතින් උපදවන්නා වූ, රූපානං, රූපයන්ට, අදහස මෙසේ ය. කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධයන් ගෙන් එක එකක් වූ ද, දෙක දෙකක් බැගින් වූ ද තුන බැගින් වූ ද, සතරදෙනම වූ ද නාමස්කන්‍ධයෝ චිත්තජරූපයන්ට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වෙති ය යනුයි. කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්ස ය චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක් වර ලැබෙන සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යශක්ති පස අතුරෙන් සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසිපසෙකි. සහජාතවාරය මෙනි.
කුසලාබ්‍යාකතපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිසය චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ලැබෙත්. කරණපාඨයෙන් සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති සතරෙන් සහජාත ශක්තිය ලැබේ. අකුසලපදයේ වාරතුන ද කුසලපදය අනුව විස්තර කරනු.
අබ්‍යාකතපදවාරයෙහි පදාර්‍ථ සුගම ය. ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යයවන විපාකසිත් සතිසය ක්‍රියාසිත් විස්සය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් විපාකසිත් සතිස ය, ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.
ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුවය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රතිසන්‍ධිසිත් එකුන් විස්සය චෛතසික පන්තිසය යන අවයව වූ ද සමූහ වූ ද, නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති අතුරෙන් සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය සතළිසෙකි.
ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ද ප්‍රත්‍යය වන චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජබාහිර ආහාරජ සෘතුජ අසඤ්ඤසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූත වූ ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් භූතරූප සහිත වූ උපාදායරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු සේ ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් සහජාත ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර එකසිය පසෙකි. පටිච්චවාරයෙහි මෙනි.
කුසලාබ්‍යාකතපද වාරයෙහි කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, අවයව වූ ද සමූහ වූ ද මහාභූතයෝ ය යන මොවුහු ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති සතරෙන් සහජාතශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසිපසෙකි. අකුසලාබ්‍යාකතපදවාරය සුගමය.
සහජාත විභඞ්ගවාරය නිමි.