මුල් කොන් එකිනෙකට මදක් දුර කොට තබා අක් කොන් එකිනෙකට හේත්තු කොට නැගිටුවා තබන ලද දඬු තුන නො පෙරළී සිටීමට ඔවුනොවුන්ට උපකාර වන්නාක් මෙන් ඒකාබද්ධ ව උපදනා රූපාරූප ධර්‍මරාශීන්හි ඔවුනොවුන්ට උපකාර වන ස්වභාවයක් ඇත්තේ ය. අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ය යනු ඔවුනොවුන්ට උපකාර වන්නා වූ ඒ රූපාරූප ධර්‍මයෝ ය. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වීම ය හෙවත් ඔවුනොවුන්ට උපකාර වීම ය යනු තමා අනෙක් ධර්‍මයකට උපකාර වෙමින් ඒ තමා උපකාර වන ධර්‍මයෙන් තමාත් උපකාර ලැබීම ය. එය අනුන්ට උපකාර වීම ය, අනුන්ගෙන් උපකාර ලැබීම ය යන මොවුන් ගේ වශයෙන් ශක්ති දෙකක් සේ පෙනෙන නුමුත් ශක්ති දෙකක් නො වේ. එය එකම ශක්තියක් බව ඉහත කී ත්‍රිදණ්ජෝපමාවෙන් ම තේරුම් ගත හැකි ය. එකිනෙකට හේත්තු වී තිබෙන දඬු තුනෙහි එක් දණ්ඩක ඉතිරි දෙකට බරවීම නමැති එක ම ක්‍රියාව ඉතිරි දඬු දෙකට උපකාර වීම ද, ඒ දඬු දෙකින් තමා උපකාර ගැනීම ද වෙයි. එමෙන් එක්ව උපදනා අරූපධර්‍මපිණ්ඩයක එක් ධර්‍මයක් විසින් කරන ඉතිරි ධර්‍මයන් වැළඳ ගැනීම ඒ ධර්‍මයන් ගේ ඉපදීමට හා පැවැත්මට උපකාර වීම ද තමා ගේ ඉපදීමට හා පැවැත්මට උපකාර ගැනීම ද වේ. අරූප ධර්‍ම රාශීන් හා උපදනා චිත්තජ රූප ඒ අරූප ධර්‍මයන් නිසා ඒවා හා එක වරම උපදනේ වී නමුත් චිත්තචෛතසිකයන්ගේ චිත්තජරූපයන් වැළඳගන්නා ස්වභාවයක් නැති නිසා චිත්ත චෛතසිකයෝ චිත්තජරූපයන්ට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වෙති. අන්‍යෝන්‍ය ශක්තියෙන් ප්‍රත්‍යය නො වෙති. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යය වන ධර්‍මයෝ ඒ ධර්‍මයන්ට සහජාත වශයෙන් ද ප්‍රත්‍යය වෙති. සහජාත වශයෙන් ප්‍රත්‍යය වන ධර්‍ම සියල්ල ම ඒ ඒ ධර්‍මයනට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යය නො වේ. සහජාත අන්‍යෝන්‍ය ශක්ති දෙකේ වෙනස තේරුම් ගත හැකි වීමට ඉහත කී අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ශක්තිය මැනවින් තේරුම් ගත යුතු ය. මෙය තරමක් ගැඹුරු කරුණෙකි.
“අඤ්ඤමඤ්ඤපච්චයො” යන මෙහි අඤ්ඤ යනු සර්‍වනාම ශබ්දයක් බැවින් විග්‍රහ නොකළ යුතු ය. එය අපාදානාපේක්ෂක ශබ්දයෙකි. මෙහි ඇති අඤ්ඤ ශබ්ද දෙකින් එකකින් ප්‍රත්‍යයෝත්පන්නයෙන් අන්‍ය වූ ප්‍රත්‍යය ගත යුතු ය. ඉතිරි අඤ්ඤ ශබ්දයෙන්, ප්‍රත්‍යයෙන් අන්‍ය වූ ප්‍රත්‍යයෝත්පන්නය ගත යුතුය. අඤ්ඤො ච අඤ්ඤො ච අඤ්ඤ ච අඤ්ඤො ව අඤ්ඤමඤ්ඤො, ද්වන්‍දසමාස විග්‍රහ යි. අඤ්ඤඤ්ඤො යි විය යුතු තැන පද දෙක අතරට සන්‍ධි ක්‍රමයෙන් මකාරයක් පැමිණීමෙන් අඤ්ඤමඤ්ඤ ක්‍රියා වේ. මෙහි අඤ්ඤමඤ්ඤ යනුවෙන් කියැවෙන්නේ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න දෙකය. අඤ්ඤමඤ්ඤො ච සො පච්චයො චාති අඤ්ඤමඤ්ඤ පච්චයො යනාදීන් පෙර කී නයින් පච්චය යන්න හා යොදා විග්‍රහ කරනු. මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙහි ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න දෙක ම ප්‍රත්‍යය ද වේ. ප්‍රත්‍යයෝත්පන්න ද වේ.