[පඤ්හාවාරයේ ශුද්ධසඞ්ඛ්‍යාවාර] සන්නය

star_outline

විභඞ්ගවාරයට අනතුරු ව සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එද ශුද්ධසඞ්ඛ්‍යාවාර මිශ්‍රක සඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එද හේතුප්‍රත්‍යය ශුද්ධ සඞ්ඛ්‍යාවාරය ආරම්මණ ප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරාදි වශයෙන් සූවිසි වැදෑරුම් වේ. එයින් හේතුප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූපයන්ට ද සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන හේතු ෂට්කය හේතුප්‍රත්‍යය වන ධම්යෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමසඞ්ඛ්‍යාවාරයෙහි නයයට අනුව ද වාරයට අනුව ද ත්‍රිකපදයට අනුව ද කර්‍තෘසම්ප්‍රදානයන්ට අනුව ද “හෙතුයා සත්ත” යි වදාරන ලදහ. හේතුප්‍රත්‍යයෙහි විසර්ජනාවාර සතක් ලැබේය යනු එහි අර්‍ථය ය. ‘සත්ත’ යනු කුසලො කුසලස්ස යනාදි ය, කුසලො කුසලස්ස යන්නෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍ය්‍ය වන එක්විසි කුසලචිත්තයන් ගේ ද්විහේතුකචිත්තයන්හි ඇති අලෝභ අදෝස දෙක ය, ත්‍රිහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝස අමෝහ තුනය යන හේතු ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් හේතුශක්තිය ලැබේ. එබැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය ‘කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො, කුසලා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං හෙතුපච්චයෙන පච්චයො’ යි උදුළ යුතුය. මෙසේ ඉතිරිවාර සය ද අභිධෙය දක්වා වීථිවිභඞ්ගයන් උදුරමින් විස්තර කරනු.

ආරම්මණශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි කාමසිත් සිවුපනස ය විඤ්ඤාණඤ්චායතන සිත් තුන ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත් තුන ය, අභිඤ්ඤා දෙසිත ය, ලෝකෝත්තර සිත් අටය යන මොවුන්ට ප්‍රත්‍යය වන එකුන් අනූචිත්තය ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය යන මොවුහු ආරම්මණ ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමවාරයෙහි -පෙ- “ආරම්මණෙ නව” යි වදාරන ලදහ. “නව” යනු කුසලො කුසලස්ස යනාදිය ය. කුසලො කුසලස්ස යන වාරයෙහි කර්‍තෘ පාඨයෙන් අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් එක්විස්ස වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් මහාකුසල් අට ය, විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලයෝ ය, ඉද්ධිවිධ චේතෝපරිය පුබ්බෙනිවාසානුස්සති යථාකම්මූපග අනාගතංස කුසලාභිඤ්ඤාය විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණශක්තිය ලැබේ. එ බැවින් ධර්‍මයන්ගේ වීථිවිභඞ්ගය “කුසලො ධම්මො කුසලස්ස -පෙ- දානං දත්‍වා සීලං සමාදියිත්‍වා -පෙ- පච්චයො”යි උදුළ යුතු ය. මෙසේ වාර සියල්ල විස්තර කරනු.

අධිපති ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අට ය, මහාකුසල් සිත් අට ය, මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස ය ද්වේෂමූල මෝහමූල දුඃඛසහගතකායවිඥාන වර්ජිත සිත් සූ අසූවය ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික සත් සාළිස ය නිර්‍වාණය ය යන ආරම්මණාධිපති ප්‍රත්‍යය ය, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම වූ සහජාතාධිපතිප්‍රත්‍යය යන මොවුහු අධිපතිප්‍රත්‍යය ධර්‍මයෝ ය. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමවාරයෙහි -පෙ- ‘අධිපතියා දස’ යි වදාරන ලදහ. ‘දස’ යනු කුසලො කුසලස්ස යනාදිය ය. කුසලො කුසලස්ස යනාදි වාරයෙහි අධිපතිප්‍රත්‍යය ආරම්මණාධිපති සහජාතාධිපති වශයෙන් දෙවැදෑරුම් වේ. ආරම්මණාධිපති වශයෙන් කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාකුශල ඥානවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ලෞකික කුසල්සිත් සතොළොස ය, ගරු කොට අරමුණු කරන මහා කුශලඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාකුසල් සිත් අට ලැබේ. සහජාතාධිපති වශයෙන් කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍ය්‍ය වන අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අටය, සැම කල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුසලයෝ ය, චෛතසික අටතිස ය යන මොවුන් ගේ එක් එක් චිත්තතක්‍ෂණයක ඇති අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අධිපති වන ධර්‍මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්තස්කන්‍ධයෝ ලැබෙත්. කරණ පාඨයෙන් සහජාතාධිපතිශක්තිය ලැබේ. එ බැවින් ඒ ධර්‍මයන්ගේ වීථිවිභඞ්ගය “කුසලො” ධම්මො -පෙ- ආරම්මණාධිපති, සහජාතාධිපති, ආරම්මණාධිපති, දානං දත්‍වා -පෙ- පච්චයො” යි උදුළ යුතු ය. සියල්ල මෙ සේ විස්තර කරනු.

අනන්තර ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍වපූර්‍ව නාමස්කන්‍ධයෝ අනන්තර ප්‍රත්‍යය ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමසඞ්ඛ්‍යාවාරයෙහි -පෙ- “අනන්තරෙ සත්ත” යි වදාරන ලදහ. “සත්ත” යනු කුසලො කුසලස්ස යනාදිය ය. කුසලො කුසලස්ස යනාදි වාරයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යවන අන්තිමජවන වර්ජිත පූර්‍ව පූර්‍ව ලෞකික කුශල නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම එක්විසි කුශලනාමස්කන්‍ධයෝ ලැබෙත්. කරණ පාඨයෙන් අනන්තරශක්තිය ලැබේ. එබැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො පුරිමා පුරිමා -පෙ- පච්චයො” යි උදුළ යුතු ය. ඉතිරි වාර විභඞ්ගයෙහි දැක්වුණු පරිදි අභිධෙය ගනිමින් විස්තර කරනු. සමනන්තර විභඞ්ගය අනන්තරවිභඞ්ගය මෙනි.

සහජාතශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ඔවුනොවුන්ට ද අන්‍යෝන්‍ය වශයෙන් නාමස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ද ප්‍රත්‍යය වන චිත්තජප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන මොවුහු සහජාතප්‍රත්‍යය ධර්‍මයෝ ය. ඒ ධර්‍මයෝ මේ අනුලෝමසඞ්ඛ්‍යාවාරයෙහි -පෙ- “සහජාතෙ නව” යි වදාරන ලදහ. “නව” යනු කුසලො කුසලස්ස යන ආදිය ය. කුසලො කුසලස්ස යනාදිවාරයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්ස හා චෛතසික අටතිස ද වූ නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් සහජාත ශක්තිය ලැබේ. එබැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ග කුසලො -පෙ- සහජාත පච්චයෙන පච්චයො යි උදුළ යුතු ය. ඉතිරි වාර විස්තර කරනු.

අන්‍යෝන්‍යශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, මහාභූතයෝ ය පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හෘදයවස්තූහුය යන මොවුහු අන්‍යෝන්‍යප්‍රත්‍යය ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ -පෙ- “අඤ්ඤමඤ්ඤ තීණි” යි වදාරන ලදහ. “තීණි” කුසලො කුසලස්ස යනාදිය ය. වුක්තානුසාරයෙන් විස්තර කරනු.

නිඃශ්‍රයශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සහජාතනිඃශ්‍රය සහජාතය මෙනි. පඤ්චවෝකාරභූමියෙහි අරූපවිපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තූහු වස්තුපුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ -පෙ- “නිස්සයෙ තෙරස” යි වදාරන ලදහ. විභඞ්ගවාරයෙහි මෙන් අභිධෙය ගෙන විස්තර කරනු.

උපනිස්සයශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ආරම්මණෝපනිඃශ්‍රය ආරම්මණාධිපතිය මෙන් ද අනන්තරෝපනිඃශ්‍රය අනන්තරය මෙන් ද විස්තර කරනු. එකුන් අනූචිත්තය ද චෛතසික දෙපනස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන බලවත් වූ එකුන්අනූචිත්තය ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය යන මොවුහු ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ ය. එ බැවින් ඒ ධර්‍මයෝ -පෙ- “උපනිස්සයෙ නව” යි වදාරන ලදහ. විභඞ්ග වාරයෙහි මෙන් විස්තර කරනු.

පුරේජාතශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි කාමසිත් සිවුපනසට හා දිබ්බචක්ඛු දිබ්බසෝත අභිඤ්ඤා දෙකට ද ප්‍රත්‍යය වන නිෂ්පන්න රූප අටළොස වූ ආරම්මණපුරේජාත ප්‍රත්‍යය ය, පඤ්චවෝකාර භූමියෙහි අරූපවිපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තුසඞ්ඛ්‍යාත වස්තුපුරේජාතප්‍රත්‍යය වන මොවුහු පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ -පෙ- “පුරෙජාතෙ තීණි” යි වදාරන ලදහ. විභඞ්ගවාරයෙහි මෙන් විස්තර කරනු.

පශ්චාජ්ජාතශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණි ඒකජ ද්විජ තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත ප්‍රථම භවාඞ්ගාදි පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයෝ පශ්චාජ්ජාත ප්‍රත්‍යය ධර්‍මයෝ ය. එ බැවින් ඒ ධර්‍මයෝ -පෙ- “පච්ඡාජාතෙ තීණි” යි වදාරන ලදහ. විස්තර කරනු.

ආසේවන ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ප්‍රථමජවන ඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම එක්පනස් ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවන වර්ජිත පූර්‍ව පූර්‍ව වූ ලෞකික ජවන සත්සාළිස ආසේවන ප්‍රත්‍යය ධර්‍මයෝ ය. “ආසේවනෙ තීණි” විස්තර කරනු.

කර්‍මශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන එකුන්අනූචිත්තයෙහි ඇති චේතනා එකුන් අනූව වූ සහජාතකර්‍මප්‍රත්‍යය ය, විපාකනාමස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත්රූපයන්ට ප්‍රත්‍යය වන කුශලාකුශල චේතනා සඞ්ඛ්‍යාත නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය යන මේ ධර්‍මයෝ කර්‍මප්‍රත්‍යය ධර්‍මයෝය, “කම්මෙ සත්ත” විස්තර කරනු.

විපාක ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන සකලවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යය ධර්‍මයෝ ය. “විපාකෙ එකං” විස්තර කරනු.

ආහාරශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන ඵස්ස චේතනා විඤ්ඤාණ යන නාමාහාර ප්‍රත්‍යය ය චතුසමුට්ඨානික රූපයන්ට ප්‍රත්‍යය වන ඕජාව වූ රූපාහාරප්‍රත්‍යය යන මොවුහු ආහාරප්‍රත්‍යය වන ධර්‍මයෝ ය, “ආහාරෙ සත්ත” විස්තර කරනු.

ඉන්‍ද්‍රියශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය, පඤ්චවිඥානයන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය, කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන රූප ජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය යන මොවුහු ඉන්‍ද්‍රියප්‍රත්‍යය ධර්‍මයෝ ය. “ඉන්‍ද්‍රියෙ සත්ත”

ධ්‍යානශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විතක්ක විචාර පීති ඒකග්ගතා වේදනා යන ධ්‍යානාඞ්ගයෝ ධ්‍යානප්‍රත්‍යය ධර්‍මයෝ ය. “ඣානෙ සත්ත” විස්තර කරනු.

මාර්‍ගශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන පඤ්ඤා විතක්ක විරති විරිය සති ඒකග්ගතා දිට්ඨි යන මාර්‍ගාඞ්ගයෝ නව දෙන මාර්‍ගප්‍රත්‍යය ධර්‍මයෝ ය, “මග්ගෙ සත්ත.” විස්තර කරනු.

සම්ප්‍රයුක්තශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ සම්ප්‍රයුක්තප්‍රත්‍යය ධර්‍මයෝ ය. “සම්පයුත්තෙ තීණි” විස්තර කරනු.

විප්‍රයුක්තශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහුය යන සහජාත විප්‍රයුක්තප්‍රත්‍යය ය, පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තුසඞ්ඛ්‍යාත පුරේජාත විප්‍රයුක්තප්‍රත්‍යය ය, පශ්චාජ්ජාතවිප්‍රයුක්තප්‍රත්‍යය යන මොවුහු විප්‍රයුක්තප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. “විප්පයුත්තෙ පඤ්ච” විස්තර කරනු.

අස්තිශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සහජාතාස්තිය සහජාතය මෙන් ද පුරේජාතාස්තිය පුරේජාත ප්‍රත්‍යය මෙන් ද පශ්චාජ්ජාතාස්තිය පශ්චාජ්ජාත ප්‍රත්‍යය මෙන් ද ආහාරාස්තිය රූපාහාරප්‍රත්‍යය මෙන් ද ඉන්‍ද්‍රියාස්තිය රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය මෙන් ද දත යුතු. “අත්‍ථියා තෙරස” විස්තර කරනු. නත්‍ථි විගතවාර දෙක අනන්තරය මෙනි. අවිගතවාරය අත්‍ථිය මෙනි.

ශුද්ධසඞ්ඛ්‍යාවාරය නිමි.